
මියගිය කාන්තාවකගෙන් ලබා ගත් ගර්භාෂය බද්ධ කෙරුණු කාන්තාවක් බිහි කළ දරුවා, සිය පළමු උපන් දිනය සමරන්නට සූදානම් වෙයි. මියගිය කතකගේ ගර්භාෂය බද්ධ කිරීමෙන් උපත ලද පළමු දරුවා ද එම දරුවා බව සඳහන් වේ. දරුවා ගැහැණු දරුවෙකි. ගර්භාෂ බද්ධය 2016 වසරේදී සිදු කෙරුණේ තිස් දෙහැවිරිදි වියේ පසු වූ බ්‍රසීල කාන්තාවකටය. ඈ උපතින්ම ගර්භාෂයක් අහිමි කාන්තාවක බව සඳහන් වේ. බද්ධය සඳහා අවයව ලබාගත හැකි මට්ටමෙන් මියගිය කාන්තාවකගෙන් ලබාගත් ගර්භාෂය පැය 10ක පමණ ශල්‍යකර්මයකින් පසු පළමුව කී කාන්තාවට බද්ධ කරන ලදී. එම බද්ධය සිදු කෙරුණේ බ්‍රසීලයේ සාවෝ පවුලෝ වෛද්‍ය විද්‍යාලයේදී ය.
ගර්භාෂය දානය කළ කාන්තාව තිදරු මවක වී යැයි සඳහන් වේ. වයස අවුරුදු හතළිස් ගණන් මැද භාගයේදී ඈ මියගොස් තිබුණේ මොළයේ රුධිර වහනයක් හේතුවෙනි. ගර්භාෂය බද්ධ කෙරුණු කාන්තාවට උපතින්ම ගර්භාෂයක් අහිමිව වුවත් ඩිම්බ කෝෂ පිහිටා තිබිණ. ඇගෙන් ලබා ගත් ඩිම්බ බැහැරදී සංසේචනය කර සංරක්ෂණය කෙරුණ බව දැක්වේ. ගර්භාෂ බද්ධයෙන් මාස හයකට පමණ පසුව එම කාන්තාවගේ ආර්තව චක්‍රය ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේ යැයි වෛද්‍යවරු පවසති. සංසේචිත ඩිම්බ, බද්ධ කළ ගර්භාෂය තුළ තැන්පත් කෙරුණේ ශල්‍යකර්මයෙන් හත්වන මාසයේදී පමණය. තැන්පත් කෙරුණු කළලය හොඳින් වර්ධනය වන බව වෛද්‍යවරුන්ට තහවුරුව තිබේ. කෙසේ වුවත් දරුවා සහ මව සම්බන්ධයෙන් ඉතා විමසිල්ලෙන් සිටීමට ශල්‍යකර්මයට දායක වූ වෛද්‍යවරු පියවර ගත්හ. බද්ධ කළ ගර්භාෂය තුළ සති 35කුත් දින තුනක් තිස්සේ වැඩුණු දරුවාට පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ 15 වැනිදා උපත ලබා දී තිබෙන්නේ සීසර් සැත්කමකිනි. උපත ලබන විට දරුවා කිලෝ ග්‍රෑම් 2.5ක බරකින් පසු වූ බව දැක්වේ.
මියගිය කතුන්ගේ ගර්භාෂ බද්ධ කරමින් දරුවන් ලබා ගැනීම සඳහා වෛද්‍යවරු අවස්ථා කිහිපයකදී උත්සාහ ගත්හ. එසේ වුවත් ඒවා අසාර්ථක වූ බව සඳහන් වේ. එනිසා මෙය මානව අවයව බද්ධ ඉතිහාසයේ ස්වර්ණමය සන්ධි ස්ථානයක් බව වෛද්‍යවරු පවසති. ගර්භාෂයේ විවිධ ගැටලු සහගත තත්ත්ව හේතුවෙන් දරුවන් ලබන්නට හැකියාව නැති කාන්තාවන්ට මෙය සුබ ආරංචියක් වනු ඇත.