රියැලිටි වැඩසටහන් විශ්වාස කරන්න බෑ | සිළුමිණ

රියැලිටි වැඩසටහන් විශ්වාස කරන්න බෑ

කෝටිපතියෝ හි 'අරුණි' නම කී සැණෙකින්ම ඇයගේ රුව ඔබේ මතකයට නැගෙනවා නිසැකයි. ඒ තරමටම අරුණිට ආදරය කරන රසික රසිකාවන් පිරිසක් මෙරට සිටිනවා. අද රසඳුන 'හිත පිරෙන හීන' විශේෂාංගයෙන් ඔබ හමුවට එන මේ අරුණි කවුද කියා රටම හඳුනනවා. ඇය තමයි රංගන, නර්තන ශිල්පිනී නිරෝෂා තලගල. නිරෝෂා මේ දවස්වල ටිකක් නිහඬ වෙලා. ඒ ගැන සොයා බලන්නට ඇයට කතා කළා.

කො‍හොමද නිරෝෂා?

හොඳින් ඉන්නවා.

අරුණි දැන් නිරෝෂාට වඩා ජනප්‍රියයි වගේ?

ඔව්. මඟ තොටේදිත් ගොඩක් අය නිරෝෂා නොකියා අරුණි කියන අවස්ථා තිබෙනවා. ඒකට ස්තූතිවන්ත වෙන්න ඕනෑ කෝටිපතියෝ අධ්‍යක්ෂවරයා ඇතුළු එයට සම්බන්ධ සියලුම දෙනාට.

මොනවද අලුතෙන් සම්බන්ධ වු නිර්මාණ..

අලුතෙන් කිසිම ‍නිර්මාණයක් භාර ගත්තේ නෑ. 'හරස්පාර' ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරගෙන යනවා.

නිරෝෂා පසුගිය සම්මාන උලෙළකදී හොඳම සහාය නිළිය ලෙස සම්මාන ලැබුවා..

සුමති සම්මාන උලෙළේදි හොඳම සහාය නිළිය ලෙස සම්මාන ලැබුණා. මම දැන් කලාවට පැමිණ වසර දහයක්. මා සමග කලාවට පැමිණි ගොඩක් අය හැළුණත් මම ඉතිරි වුණා. දැන් මම ටෙලි නාට්‍ය පමණක් නෙවෙයි 'ආලෝකෝ උදපාදි', 'කුසල්', 'හැට හතර මායම්', 'නිදහසේ පියා' යන චිත්‍රපටවල රඟපා තිබෙනවා. අද වන විට මා චරිතාංග නිළියක ලෙස බොහෝ පිරිසක් හඳුන්වනවා. එහි ගෞරවය හිමි විය යුත්තේ මගේ මවුපියන්ටයි.

ඔබ නර්තන ශිල්පිනියක්ද? රංගන ශිල්පිනියක්ද?

මම නර්තන ශිල්පිනියක්. කලාවට එන්නේ නර්තනයෙන්. මේ වනවිට නර්තනය, රංගනය දෙකම වෘත්තිය ලෙස කරගෙන යනවා.

නර්තනයෙන් කොහොමද රංගනයට ප්‍රවිෂ්ට වෙන්නේ..

ප්‍රදීපා ආරියවංශ මහත්මිය මගේ නර්තන ගුරුවරිය. 2013 වසර දක්වාම ඇයගේ නර්තන කණ්ඩායමේ සාමාජිකාවක්ව සිටියා. මගේ සැමියා අසේල ප්‍රියදර්ශන එවකට මගේ පෙම්වතා මාව 2011දි රූපවාහිනී වෙළෙඳ දැන්වීමකට සම්බන්ධ කළා. ඉන් පසු 'පබා' ටෙලිනාට්‍යයේ රඟ පාන්න අවස්ථාව ලැබුණා. එතැන් සිට නර්තනය අතහැර රංගනයට යොමුවුණා.

නැවතත් නර්තනයට එන්න සිතුණේ ඇයි?

මගේ ළඟම හිතවතුන්ගෙන් බේරුමක් නැතිව ගියා උගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්න කියලා. ඒ නිසා 2014දි 'නිරෝෂා තලගල විත් යූ ඩාන්සර් 'නර්තන කණ්ඩායම ආරම්භ කළා. කියන්න සතුටුයි වසර හතරක් ඇතුළත අපි ප්‍රසංග වේදිකාවේ නර්තන කණ්ඩායම් අතර පළමු තැනට ආවා.

නර්තන කණ්ඩායම මෙතරම් ජනප්‍රිය ඔබ රංගන ශිල්පිනියක වීම නිසාද?

මම රංගන ශිල්පිනියක් වීම මගේ නර්තන කණ්ඩායම ප්‍රසිද්ධ වීමට හේතුවක් වුණා. එහෙත් මම කැමැති නෑ ස්ටේජ් එකට නැග්ගට පස්සෙ මාව රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වනවට. එම අවස්ථාවේදි මම නර්තන ශිල්පිනියක් විතරයි.

කොහොමද මේ වෘත්තීන් දෙකම කරගෙන යන්නේ..

ටිකක් අමාරු වැඩක්. නමුත් දෙකම ආරක්ෂා කරගත යුතු නිසා වැඩිපුරම ප්‍රසංග පැවැත්වෙන්නේ දෙසැම්බර්, අප්‍රේල්, මැයි මාසවලදී අඩුවෙන් රූගත කිරීම් දා ගන්නවා.

නර්තනයට ඔය තරම් දක්ෂ නම් ඇයි රියැලිටි වැඩසටහන්වලට සහභාගි නොවෙන්නේ..

පසුගිය කාලෙ දැකපු රියැලිටි වැඩසටහන් එක්ක මගේ හිතට එකඟව එම වැඩ සටහන්වලට සහභාගි වෙන්නට හිත දුන්නේ නෑ. බොහෝ රියැලිටිවල විනිශ්චය මණ්ඩලවලට සහභාගි වන්නේ ඒ ඒ විෂයන් සඳහා ප්‍රවීණයන් නෙමෙයි. එවැන්නකුගේ විනිශ්චයකින් හිත රිදුණොත් එම අවස්ථාවේදි මොනවා කියැවෙයිද දන්නෙ නෑ. ඒ නිසා ඉගෙනගත් කලාව හෑල්ලු නොකර පාඩුවේ ඉන්නවා.

නිරෝෂාට දැන් නැටුවා ඇති කියල හිතෙන්නෙ නැද්ද?

එහෙම නම් කවදාවත් හිතෙන එකක් නෑ. දැන් නම් මට නටන්න බැරිවුණත් හිතට දුකක් නෑ. මගෙන් ඉගෙන ගත් පිරිසක් ක්ෂේත්‍රයේ ඉන්නවනේ කියලා හිත හදාගත හැකියි.

ඒ කියන්නෙ නිරෝෂා නැටුමට විරාමයක් දෙන්නයි ලෑස්තිය..

මම මෙහෙම කියන්නම්කෝ. හැමදාම නට නට ඉඳලත් බෑ. සැමියා කාලයක් රට හිටියා. මමත් නැටුමෙන් කාලය ගත කළා. දැන් අපි දරුවෙක් ගැනත් හිතන්න ඕන කාලය ඇවිත්.

Comments