‘මහවැලි‘ ගීත නාටකයේ ප්‍රධාන චරිතය රඟපෑ ප්‍රවීණ නර්තන ශිල්පිනී
ඇය අද ජීවිතයේ සැඳෑ සමය විඳින්නීය. එහෙත් මීට දශක කිහිපයකට පෙර ඇය වේදිකාව දෙවනත් වන සේ නර්තනයේ යෙදුණාය. අදත් ඇයගේ සිරුරෙන් ඒ ජව සම්පන්න රූපශ්‍රීය වියැකී ගොස් නැත. එදා ඇයගේ නර්තනයට පෙම් බැන්ද ශ්‍රී ලාංකික සුවහසක් රසික රසිකාවෝ බොහෝ වෙති. පසුගිය දිනෙක ඇය පත්තර මහගෙදරට පැමිණ 'රසඳුන'කර්තෘ මණ්ඩලය සොයාගෙන පැමිණියාය. කතාබහ ආරම්භයේදීම ' අපි තව ටික දවසයිනේ ජීවත් වන්නේ. ඊට කලින් අපි ගැන රට දැනගන්නවා නම් හොඳයි. ඒ නිසා මගේ ගැන විස්තර ටිකක් දාගන්න පුළුවන්ද' යනුවෙන් ඇය මගෙන් ඇසුවේ නිහතමානීවය. අපේ කතානායිකාව නර්තනය සඳහා විශ්වාභිනන්දන සම්මානයෙන් පිදුම් ලැබූ වී.ඒ. මානෙල් දමයන්ති බොතේජුය.
'මම පාසල් ජීවිතය ආරම්භ කළේ කොළඹ හාවඩ් බාලිකා විදුහලෙන්.කුඩා කාලයේ සිටම නර්තනයට දක්ෂ වූ නිසාම මගේ මවුපියන් මාව විමල් ජී. අබේසිරි මහතා පවත්වාගෙන පැමිණි හෙළ කලා පිල නැමැති කලායතනයට ඇතුළත් කළා'
ඉන් පසුව ඔබේ නර්තන ආචාර්යවරුන් වූයේ මෙරට නම ගිය නර්තන ශිල්පීන්...
'ඉඹුල්ගොඩ ගුරුතුමා, කිරි ගණිත ගුරුන්නාන්සේ, විමල් අහුගොඩ ගුරුතුමා, ආදි මෙරට නැටුම් පරම්පරාවන්ගෙන් පැවත ආ ගුරුවරුන් යටතේ උඩරට නැටුම් හදාරන්නට අවස්ථාව ලැබුණා. එපමණක් නොවෙයි ඉන්දියානු කථකලි නැටුම් සම්ප්‍රදාය පිළිබඳව දැනුම ලබා ගත්තේ ජී.බී.විමලනාථ බොතේජු මහතාගෙන්. ඔහු කේරළ කලා මණ්ඩලයේ කථකලී නැටුම් පිළිබඳව සහතික ලත් ගුරුවරයෙක්'
ගුරුවරයා පසු කාලීනව ඔබගේ සැමියා බවට පත් වුණා...
'ඔහු යටතේ මම වසර ගණනාවක්ම කථකලී නැටුම් පිළිබඳව හැදෑරුවා. ඔය කාලෙදි අපි අතර ඇති වු දැනහැඳුනුම්කම මත මවුපියන්ගේ ආශීර්වාද ලබාගෙන විවාහ වුණා. ඔහු කථකලී නර්ථනාචාර්යවරයකුට අමතරව කොළඹ කලායතනයේ චිත්‍ර කර්මය පිළිබඳව උපාධියක් ලබා රජයේ පාසලක චිත්‍ර ගුරුවරයකු ලෙසත් සේවය කළ අයෙක්. ඔහු සමග විවාහ වුවාට පසුවයි මගේ නර්තන හැකියාව රටටම පෙන්වීමට අවස්ථාව උදාවූයේ. එයට මගේ සැමියා විමලනාථ බොතේජු ට ස්තූතිවන්ත විය යුතුයි'!
සැමියාගෙන් ලද සහය නිසා වඩවඩාත් නර්තනය දෙසට යොමුවූ ඇය මුද්‍රා නාට්‍ය ගණනාවකම ප්‍රධාන චරිත රඟපෑමට තරම් වාසනාවන්ත වුණා.
'ජන්ම පාපය, වෙසමුණි භවන, අපට වෙච්ච දේ, මේ අසරණ දෑත් හා ගුත්තිල මූසිල වැනි නාට්‍ය ගණනාවකම මුද්‍රා නර්තන රඟදැක්වූවා.
1970 පෙබරවාරි හතර වැනිදා නිදහස් උත්සවය වෙනුවෙන් මහවැලි සංවර්ධන ව්‍යාපාරය විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණා. එය මගේ නර්තන ජීවිතයේ සන්ධිස්ථානයක් වු අවස්ථාවක්. ඒ නිමිත්තෙන් පැවැත්වුණු මහවැලි ගීත නාටකයේ මහවැලි ගඟ ලෙස ප්‍රධාන චරිතය රඟපෑමට අවස්ථාව ලැබුණේ මටයි. මහවැලි බැලේ මුද්‍රා නාට්‍යයේ නර්තනය සකස් කළේ එස්.පණීභාරත මහතා. එතුමාට ඕනෑ වුණා ගඟක් ලෙස නර්තනය සකස් කරන්න. ඒ සඳහා දක්ෂ නර්තන ශිල්පිනියන් කිහිප දෙනෙක්ම සම්බන්ධ කරගත්තත් ඒ කිසිවකුගේ නර්තනයෙන් ඔහු සෑහීමට පත්ව තිබුණේ නෑ. පසුව මට පණිවිඩයක් ලැබුණා එතුමාව හමුවන්න එන්න කියා. එතුමාගේ උපදෙස් මත වරෙක මහවැලි ගඟ වගේ, තවත් වරෙක දිය සුළි වගේ මා කළ නර්තනය ඔහුගේ සිත්ගත්තා. ඉන් පසුව නැට්ටුවෝ එකසිය ගණනක් සමග, මහින්ද ඩයස් මහතා සකස් කළ වේදිකා තුනක් මත මහවැලි සංවර්ධන ව්‍යාපාරය විවෘත කළ දා මහවැලි මුද්‍රා නාට්‍යය රඟ දැක්වීමට අවස්ථාව මට හිමි වුණා. එදා ලැබූ එම අද්දැකීම ඉතාම මිහිරියි.'
1973 මැයි 17 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව විවෘත කිරීමේ උත්සවයද මානෙල්ගේ ජීවිතයේ තවත් සුවිශේෂ සිදුවීමකි. ඇය රඟ දැක්වූ 'ජනවේගය' මුද්‍රා නාටකයේ ලංකා මාතාව ලෙස රඟදක්වන්නේද ඇයයි. එස්. පණීභාරතයන්ගේ සහ වසන්ත කුමාරයන්ගේ ගුරුහරුකම් මැද රඟ දැක්වූ ‘ජනවේගය‘ මුද්‍රා නාටකයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවිය. එදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව විවෘත කරන ආරාධනා පත්‍රය සකස් කර ඇත්තේද ඇගේ රුවෙනි.
'1974 සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් රඟදැක්වූ ප්‍රාර්ථනා මුද්‍රා නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟ පෑවේත් මමයි. සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් රාජ්‍ය නැටුම් ශිල්පිනියක වශයෙන් අපේ රට නියෝජනය කිරීමට රුසියාව, පාකිස්ථානය, වැනි රටවලටද සංචාරය සඳහා මට අවස්ථාව උදාකර දුන්නා. එම අවස්ථාවල් මගේ ජීවිතයට සුවිශේෂ අද්දැකීම් රාශියක් එක් කළා'
1978 වසරේ රටවල් 60ක් සඳහා පාටා සම්මන්ත්‍රණයට පැමිණි නියෝජිතයන් වෙනුවෙන් පෙන්වු 'සීගිරි ගී' මුද්‍රා නාටකයේ කාශයප බිසව වූයේද ඇයයි. ඒ පිළිබඳව ඇය පවසන්නේ වර්තමාන නර්තන ශිල්පිනියන්ට ආදර්ශයක්ද සපයමිනි.
'එදා අද වගේ ඇඟ පේන්න ඇඳුම් ඇඳලා නර්ථනයේ යෙදෙන්නට අපේ ගුරුවරුන්ගෙන් කිසිම අවස්ථාවක ඉඩක් ලැබුණේ නෑ. සීගිරි කාශ්‍යප බිසව ලෙස රඟ දැක්වීමට වුණත් සිරුර පේන ඇඳුම් අඳින්න දුන්නේ නෑ. හැම වෙලේම අපේ ඇඳුම් නිර්මාණය කෙරුණේ ඇඟ වැහෙන්න. එවිටයි කාන්තා ලාලිත්‍යය සුන්දරව පෙනෙන්නේ කියා එදා ගුරුවරු හිතුවේ කාන්තාවගේ ගෞරවය පිළිබඳව සිතමින්. නමුත් අද ඇඳුම් බාගයක්ම නැතිවයි නර්තනයේ යෙදෙන්නේ. ඒකෙන් එම ශිල්පිනියන්ගේ ලැජ්ජාව බය දෙකම නැතිව යනවා. ඒ වගේම අපි කවදාවත් මුදල් බලාගෙන වැඩ කළෙත් නෑ. අපි කලාවෙන් මුදල් හම්බ නොකළාට විශාල සතුටක් ලැබුවා. අපේ අම්මා තාත්තා නිතරම කීවේ හෙවණැල්ල වරද්ද ගන්න එපා කියලා විතරයි. ඊට එහා ඔවුන් අපිට අවවාද කළේ නැත්තේ අපි හරි මාර්ගයේ ගමන් කරන බව විශ්වාස කළ නිසයි. ඒ වගේම චිත්‍රසේන, පණීභාරත වැනි ප්‍රවීණයන්ගෙන් ලැබුණු ගරුහරුකම් නිසා තමයි නර්තනයෙන් ජාත්‍යන්තරයට පවා යන්න අවස්ථාව ලැබුණේ'
1971දී වැල්ලවත්ත සාන්ත ලෝරන්ස් විදුහලේ නර්තන ආචාර්යවරියක ලෙස පත්වීමක් ලබා එම පාසලේ සිසුවියන්ට වසර තිස් හතරක්ම නර්තනය පිළිබඳව දැනුම ලබාදුන් දමයන්ති වරෙක එම සිසුවියන් සහභාගි කරවාගෙන 'හංස විල' නැමැති මුද්‍රා නාට්‍යයක්ද එළි දැක්වුවාය. වසර තිස් හතරක සේවා කාලයෙන් පසුව 2005 වසරේදී විශ්‍රාම යෑමෙන් අනතුරුව සැමියාවන විමලනාථ බොතේජු සමග එක්වී 'ශ්‍රී දමයන්ති කලා රංග පීඨය' නමින් කලායතනයක් පවත්වාගෙන යන ලදි.
'මගෙන් උඩරට නැටුම් හා කථකලී නැටුම් හැදෑරු විශාල සිසු පිරිසක් මේ වන විට සිටිනවා. ඔවුන් අතරින් කිහිප දෙනෙක් නර්තන ආචාර්යවරියන් ලෙස සේවය කරනවා. මගේ නර්තන හැකියාව අගය කර කිහිප අවස්ථාවකදීම විවිධ සම්මාන සහ ගරු බුහුමන් ලැබුණා. පසුගිය කාලයේ විශ්වාභිනන්දන සම්මානයත්, රංගාභිමානී සම්මානය, සාහිත්‍යාභිවන්දනා උපහාර සම්මානය, කලා භූෂණ සම්මානය කලාකරු සුවඳම් ප්‍රණාම සම්මාන හිමිවුණා. දැනටත් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සම්බන්ධ වැඩිහිටි බලමණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා නර්තනය පුරුදු පුහුණු කරනවා. මගේ දූ වරු දෙදෙනාත් පුතාත් නර්තනය පිළිබඳව හැදෑරුවත් එය වැඩිදුරටත් හැදෑරුවේ එක් දියණියක් පමණයි. ඇය ජී.බී. ලක්ෂණා ගංගාදරී බොතේජු. දක්ෂ නර්තන ශිල්පිනියක වන අතර ඇය රජයේ පාසලක නර්තන ආචාර්ය වරියක ලෙස සේවය කරනවා. මගේ මිනිපිරියන්ද නර්තනයට දක්ෂතා පෙන්වමින් මගේ අඩිපාරේ ගමන් කරන අයුරු දැකීම පුදුමාකාර සතුටක්'!
නර්තන කලාවට කතුන්ගේ දායකත්වය අඩුවෙන් පැවැති කාලයක ශ්‍රී ලාංකේය මුද්‍රා නාට්‍ය කලාවට ඇයගෙන් වු සේවය අගය කළ යුතුය. දමයන්ති බොතේජු නර්තන ශිල්පිනියට තවත් දශක ගණනාවක් නර්තන කලාව වෙනුවෙන් මෙහෙවර කිරීමට ශක්තිය ලැබේවායි පතමු.