හිතන්න දෙයක් නෑ වේගය එක; අවදානම දෙක | සිළුමිණ

හිතන්න දෙයක් නෑ වේගය එක; අවදානම දෙක

දශක අටකට වැඩි මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ ගමන් මගේ අප පිවිස ‍සිටින්නේ ස්වර්ණමය යුගය වෙතටයි. එදා මෙරට යටත් විජිතයක්ව පැවැති යුගයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් හුදෙක් තම විනෝදාංශයක් ලෙස ඇරැඹි මෝටර් රථ ක්‍රීඩාව ක්‍රමක් ක්‍රමයෙන් මෙරට ප්‍රමුඛතම ක්‍රීඩාවක් ලෙස ස්ථාපිත විය.

පසුගිය දසක පහ කාළය තුල මෝටර් රථ ක්‍රිඩාව උදෙසා ක්‍රීයාකාරී සංගම් ගණනාවක්ම බිහිවිය. එම සංගම් තම උපරිම ශක්තිය යොදවා මෝටර් රථ ක්‍රීඩාවේ උන්නතියට සුවිශාල කාර්යභාරයක් ස්වෙච්චාවෙන් සිදුකළේය. නුවරඑළිය ප්‍රධාන කොට ගෙන ඇරැඹුණු මෝටර් රථ ක්‍රිඩාවේ ප්‍රගමන හා සුවිශාල හැරවුම් ලක්ෂ්‍යය ලෙස ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් හැදිවිය හැකිය.

එදා දේශීය තරගකරුවන් ලෙස එඩ්වඩ් මේසන්, ස්ටැන්ලි සොයිසා,රේඩී කොස්තා, ජේ.පී. ඔබේසේකර, ජේ.සුභීයි වැනි අයගේ දක්ෂතාවයන්ගෙන් ඔප් නැන්වුණු මෝටර් රථ ක්‍රීඩාව උපාලි පෙරේරා, නිහාල් ජිනදාස, ප්‍රියා මුණසිංහ, ලෙස්ලි එන්.එස්. සිල්වා ලලිත් අබේවර්ධන, මානා ජයවර්ධන, ආනන්ද අල්විස්, වැනි ප්‍රවීණයන් පසුකරමින් රොඩ්නි මේෂන්, ඩේවිඩ් පීරීස්, සුමනදාස මාන්නප්පේරුම, ටී. විතාන, මහේෂ් ගම්මන්පිල, ඉග්නේෂන් සෙනෙවිරත්න, ඉක්බාල්, ප්‍රී පොන්නම්බලම් වැනි ක්‍රීඩකයන්ගෙන් පෝෂණය වී පැමිණියේය. එසේ පැමිණි මෝටර් රථ ක්‍රීඩාවේ පශ්චාත් නුතන යුගය ඇරැඹෙන්නේ සුරංජිත් ප්‍රේමදාස, යෝගා පෙරේරා, රොහාන් ඩී. සිල්වා වැනි අයගෙනි. එසේ ඇරැඹී පස්චාත් නුතන අවධිය අරවින්ද ප්‍රේමදාස, දිනේෂ් දෙහෙරගොඩ, පසිදු පිරිස්, උපුල්වන් සේරසිංහ, දිනේෂ් සේනානායක වැනි ක්‍රීඩකයන්ගෙන් පෝෂණය විය. වඩාත් හැඩ වැඩ විය. ඒ හැඩ වැඩ වු මෝටර් රථ ක්‍රීඩාවේ වත්මන් යුග පුරුෂයා අශාන් සිල්වායි.

2017 -18 දෙවර්ෂයේම තම කීර්ති නාමය ධාවන පථය සිසාරා පතුරුවාලූ අශාන් සිල්වා වසර දෙකේදීම ශ්‍රී ලංකා සුපර් සීරීස් තරග මාලාවෙන් ප්‍රදානය කළ මෝටර් රථ දෙකේම හිමිකරුවා විය. මේ වසරේ පැවැති මෝටර් රථ තරගාවලි 12න්ම ජයගෙන වසරේ විශිෂ්‍ටයා ලෙස කිසිවෙකුට කිසි ලෙසක බිඳහෙළිය නොහැකි වාර්තාවකට හිමිකම් කියන අශාන් සිල්වා අන්තර්ජාතික ධාවන පථය ද ජයගත් මෝටර් රථ ධාවන ශූර‍ෙයකී. අද අප ඔබ හමුවට ගෙන එන්නේ ධාවන ශූර අශාන් සිල්වායි.

අශාන්, පසුගිය දා අවසන් වූ ස්ලාඩාර් සම්මාන රාත්‍රියේදී ඔබ දෙවන වරටත් මෝටර් රථයක් දිනා ගත්තා. ඒ පිළිබඳ ඔබ තෘප්තිමත් ද?

ඇත්තෙන්ම ගොඩක් සතුටුයි. මම මුලින්ම රේස් වලට එනකොට මගේ අම්මා තමයි මට රේස් පදින්න කාර් එකක් අර‍‍ගන දුන්නේ. නමුත් කැමැත්තෙකින් නෙමෙයි. මගේ ආශාව නිසා ඒ දේ කළා. මම 2016 වසරේදී මම ලංකාවේ රේස් පදින එක නැවැත්තුවා. මොකද ඒ වෙන කොට මම දිගටම ජයගත්තා. මට වුවමනා වුණා. අන්තර්ජාතික ධාවන පථයට පිවිසිමත් සමග ලංකාවේ රේස්වලින් තාවකාලිකව සමුගන්න. මොකද අන්තර්ජාතික ධාවන පථයට වැඩි ඉඩන් ලබාදීමේ අරමුණ ඇතිවයි. නමුත් 2017 වසරේදී ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR - ස්ලාඩාර්) ශ්‍රී ලංකා සුපර් සීරීස් තරගමාලාවට මෝටර් රථයක් ප්‍රධානය කරන බව නිවේදන කිරීමත් සමග මට හිතුනා නැවතත් දේශිය තරගාවලියට එක් වන්න. මොකද? එදා මට අකමැත්ත මත වුවත් මගේ ආශාවට ඉඩදී මට මෝටර් රථ ක්‍රීඩාවේ නියැළෙන්නට මා දිරිමත් කළ මගේ මවට එම තරගාවලිය ජයගෙන ඒ දිනන මෝටර් රථය ලබාදීමට හැකි වුවහොත් එය මා පැමිණි ගමනේ ජයග්‍රාහණයක් ලෙස මට හැඟී ගියා. ඒ නිසා මම ලංකාවේ රේස් වලට එක් වුණා. ඒ වසරේදී මට ඒ දේ කළ හැකි වුණා.

ඔබ පැමිණි කෙටි ගමන ගැන ආපසු හැරී බැලුවොත් ඔබ තෘප්තිමත් ද?

රේසිංවලින් මගේ ජිවිතය සම්පූර්ණයෙන් වෙනස්ම වුණා කීවෝත් එය නිවැරදියි. මොක ද මට අලුත්ම ජිවිතයක් රේසිං නිසා හමු වුණා. විශාල පිරිසක් හදුනාගැනිමට ඒ තුළින් හැකි වුණා. ඒ වගේම යාළුවන් හමුවුණා. අන්තර්ජාතික මට්ටම කරා යෑමට හැකි වුණා. මාව මගේ මවු බිමේ පිරිස හදුනා ගත්තේ රේසිං ධාවකයෙකු ලෙස. ඒ නිසා මගේ ජිවන තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ම මගකට යොමු වුණා. ඒ නිසා මම මගේ ක්‍රීඩා දිවිය ගැන තෘප්තිමත්.

ඔබේ පාසල් අවධිය හා අධ්‍යාපනයේ ගමන කෙසේ ද?

මම අධ්‍යාපනය ලැබුවේ කොළඹ මහානාම විද්‍යාලයේ. සාමාන්‍ය පරිදි අධ්‍යාපනය කරගෙන ගියා. උසස් අධ්‍යාපනයට යොමු වෙමින් සිටින විට තමයි මා 2005දි ‍මෝටර් රථ ක්‍රීඩාවට යොමු වන්නේ. මගේ පාසල් දිවියත් වැඩි හරියක් ගෙවුණේ මෝටර් රථ සමගයි. මා ඇත්තේම මෝටර් රථ ලෝලියෙක් ලෙස තමයි එතකොටත් ක්‍රියාකෙළේ. මෝටර් රථ වල කාර්මික පැත්ත මෙන්ම නවතම සොයාගැනීම් ගැන මම පාසල් අවදියේත් නිතර වෙහෙසුණා.

ඔබ මුලින්ම ධාවන පථයට පිවිසි දිනය මතකද?

මම මුලින්ම ධාවන පථයට පිවිසියේ ගෝකාට් ධාවන පථයෙන්. ඒ මගේ අසල් වැසියා වු ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර රොඩ්නි මේසන් මහතා නිසා. මොකද? මගේ අයියා තමයි නලීන් සිල්වා. ඔහු 80 ගණන් වල අග භාගයේ ගෝකාට් ධාවන පථයේ තරග කළ ක්‍රීඩකයෙක්. ඔහු පළමු තරගයෙන්ම ජයගත්තා. ඔහුව ධාවන පථයට යෙමු ක‍ළේත් රොඩ්නි අන්කල්. නමුත් ඔහුට දිගටම මෝටර් රථ ක්‍රීඩාවේ නියැළෙන්නට නොහැකි වුණා. තරගයක් අතර තුර සිදුවු අනතුරක් නිසා මගේ පිය, සිරිපාල සිල්වා අයියාට මෝටර් රථ ක්‍රීඩාවේ නියැළෙන්නට ඉඩදුන්නේ නෑ. දැඩි විරෝධයක් පැවා. මක් නිසාද ඔහු අපට අසීමිත ලෙස ආදරය කළ නිසා. අයියාට දිගටම ධාවන පථයේ රැදී සිටින්නට නොහැකි වුණා. මමයි අයියයි අතර වසර 12ක පරතරයක් තියෙනවා. අයියා රේස් පදිනකොට මා ඉතාමත් කුඩායි. නමුත් අයියා දිනාගත් කුසලානය අපේ ගෙදර තිබුණා. මට එයත් ධාවන පථයට පිවිසෙන්න විශාල උනන්දුවක් ඇති කළා නමුත් අවාසනාවකට අද මම ජයමාවතේ පිය නගිනකොට මගේ පියා ජිවතුන් අතර නෑ. ඔහු මිට වසර 14කට පෙර අපගෙන් සමුගත්. මා හැමවිටම විශ්වාස කරනවා ඔහු අදෘශ්‍යමාන බලවේගයක් ලෙස මා පිටුපස සිටින බව.

මේ වේගවත් ක්‍රීඩාව තෝරා ගැනිමට විශේෂ හේතුවක් තියෙනවාද?

රේසිං තරග ගැනම නෙමෙයි. නමුත් පාසල් අවදියේ සිටම මට මෝටර් රථයක ක්‍රියාකාරීත්වය පිළිබද විශාල උනන්දුවක් තිබුණා. කාර්මික අංශය මෙන්ම තාක්ෂණික පැත්ත ගැනත් මගේ අවධානය යොමු වුණා. මේ ගැන ඉතාමත් උනන්දුවක් තිබුණු නිසාමයි මා මෝටර් රථ ක්‍රීඩාවට යොමු වුණේ. මම වේගයෙන් මෝටර් රථ ධාවනය කරන්න වගේම මෝටර් රථ වල නවින උපාංග භාවිතා කරමින් නවිකරණය කරන්න උනන්දු වුණා. වේගය ගැන මෙන්ම අවදානම ගැන ඒ තරම් අවදානයක් යොමු කළේ නෑ.

මෙම ක්‍රීඩාව වියදම් අධික අවදානම් ක්‍රීඩාවක් එය තොරා ගත් මොහොතේ ඔබගේ දෙමාපියන් දැරුවේ මොන වගේ අදහසක්ද?

මුලින් මම මගේ අදාස මගේ අම්මාට කිව්වම අම්මා නාලනී සිල්වා ඇයගේ විරෝධය එල්ල කළා. ඒකට හේතුව එදා මගේ පියා අයියාට එල්ලකළ විරෝධය. මේ ක්‍රීඩාවේ තිබෙන අවදානම ඒ වගේම අධික වියදම නමුත් මගේ කැමැත්තට අකමැත්තෙන් හෝ අම්මා කැමැත්ත දුන්නා. මට වුවමනා වුණේ එක් තරගයක් දෙකක් ක්‍රීඩා කරන්නයි. නමුත් ජයග්‍රහණය මා ධාවන පථය තුළ රැදෙව්වා. මට ධාවන පථයට පිවිසිමට මෝටර් රථය ගැනීමට මෙන්ම එය මෝටර් රේසිං තරගයට උචිත ලෙස නිති රීති අනුව නිර්මාණය කරගැනීමට අම්මා තමයි වියහියදම් දැරුවේ.

මේ පැමිණි ගමනේදී බාධක දුෂ්කරතා ඇතිවන්නට ඇති. ඒ ගැන ආවර්ජනය කළොත්

2013 මම දිගටම තරග ජයගනිද්දී විරෝධතා ඇතිවුණා. එවකට සිටිය ප්‍රවිණයන් මට විරෝධය පෑවා. මගේ රේසිං ජිවිතය නතර කරන්නාට නොයෙකුත් දෙනා නොයෙකුත් බාධක ගෙනාවා. මගේ මෝටර් රථයේ තාක්ෂණික කාරණා ගැනද විරෝධය පැවා. නමුත් කිසිවෙකුට මගේ මෝටර් රථය ප්‍රමිතියෙන් තොරයි කියා ප්‍රත්‍යක්ෂ කළ නොහැකි වුණා. ඒ වගේම මා එස්.එල්./ජී.ටී. තරග ඉසව්ව නියෝජනය කළේ තරග අංක 74 යටතේ. නමුත් විවිධ බලපැම් නිසා මට අංක 13 යටතේද තරග කරන්නට සිදුවුණා. එදාත් මම ජයගත්තා. ඒ දේ කළේ මගේ මානසිකත්වය දුර්වල කරන්න. නමුත් එය කළ හැකි දෙයක් වුණේ නෑ. දැනටත් මම තරග කරන්නේ තරග අංක 74 යටතේ.

හචි ශ්‍රී ලංකා සුපර් සීරීස් තරග මාලාව අතරේදී එස්.එල්./ජී.ටී. තරග කරුවන් කිහිපදෙනෙක් තරගාවලිය අතර මැද යම් අඩහැරයක් පැවානේ ද?

ඔව්. ඒ දෙවන වරටත් මෝටර් රථයක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා සුපර් සීරීස් සංවිධානය කළ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) කටයුතු කිරීමත් සමග තරගයක් දීමට නොහැකි වු කිහිපදෙනෙකු තරගමාලාවේ තරගාවලි කිහිපයකින් පසු එවැනි විරෝධයක් පැවා. නමුත් තරගමාලාව සංවිධානය කළ සංවිධායකයින් එය ඔවුන්ගේ කාර්යක් ලෙස එයට ඉතා හොඳින් මුහුණ දී එය සමතයකට පත් කළා. හැම ක්‍රීඩකයෙකුටම තිබෙනවා තම අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න.

ඔබට අභියෝගයක් ලෙස දකින ක්‍රීඩකයන් කවුරුද?

ඇත්තෙන්ම මටත් දැන් තනියම තරග කරලා හරි වෙහෙසයි. ඇයි මට හොඳ අභියෝගයක් නැති නිසා. මට ධාවන පථයේ තරග කිරීමට සිදුව තිබෙන්නේ තනිවම නමුත් මා සිතනවා එදිරියේදී ඒ දේ වෙනසකට භාජනය වෙයි කියා. කුෂාන් පීරිස් ඉතාමත් හොඳින් මේ වන විට තරග කරමින් සිටිනවා. මම ඔහුට මට හැකි උපරිමයෙන් උපකාර කළා උඩවලව මෙන්ම ගජබා ධාවන පථයේදීත් ඔහුට පුහුණු කිරීම්වල නිරත වුණා. ඔහු දක්ෂයි. හරි මග හරියාකාරව ගියොත් ඔහුට හොඳ අනාගතයක් තියෙනවා. ඔහු එන වසරේ තරගමාලාවන්වලදී මට අභියෝගයක් වෙයි. මා එයට කැමැතියි. නැතිනම් ඒකාකාරී තරග රටාවක තමයි තරග කරන්නට සිදුව තිබෙන්නේ. යම් කිසි වෙනසක් සිදු වනවා නම් මා කැමැතියි. එය නරඹන්නන්ට ද හොඳ අවස්ථාවක් වෙයි. නැතිනම් තරග නරඹන්නන්ටද මෝටර් රථ ක්‍රීඩාව කම්මැළි ක්‍රීඩා‍වක් වෙනවා.

වර්තමාන මෝටර් රථ ක්‍රීඩාව ගමන් කරමින් සිටින්නේ උඩුගම් බලාද?

වර්තමානයේ මෝටර් රථ ක්‍රීඩාව බාධක මැදින් හොඳ ගමනක් පැමිණ තිබෙනවා. තවත් දියුණු විය යුතු කාරණා ගණනාවක් තිබෙනවා. ලෝකයේ තිබෙන ඉතාමත් හොඳ ග්‍රැවල් ධාවන පථ තියෙන්නේ අපේ රටේ. මගේ අදහසනම් එය ‍තෙරුම්ගෙන සංගම් ලෙස කණ්ඩායම් ලෙස බෙදී නොසිට ජාත්‍යන්තර තරගාවලි ලංකාව තුළ සංවිධානය කළ යුතුයි. එ වගේම ශ්‍රී ලංකා යුද හමුදාව සතු ධාවන පථ තුල මෝටර් රථ රියදුරන්ට මෙන්ම යතුරුපැදි ධාවකයන්ටද පහසුකම් වැඩි දියුණු කර දෙනාවානම් හොඳයි. පුහුණු විම් වල නියැළෙන විටදී හෝ තරගයකට එක්වන මොහොතකදී හෝ තම මෝටර් රථය හෝ යතුරුපැදිය හා අනෙකුත් අම්පන්න කාර්මික උපකරණ රදවා තබා ගැනිමට විදේශීය ධාවන පථ වල වගේ පහසුකම් සලසා දෙනවානම් (පිට් ලයින් - පිට් රූම්)ඉතා හොඳයි. ඒ අනුව නව වැඩපිළිවෙළක් සැකසිය යුතුව තිබේනවා.

ධාවන පථයට පිවිසෙන විට ඔබගේ මානසිකත්වය කොහොම ද?

ධාවන පථයට එනකොට මොන දේ තිබුණත් මගේ මානසිකත්වය තරග සඳහා පමණක් යොමුකරනවා. මොනතරම් මානසිකත්වය බිදී ගියත් මගේ මෝටර් රථයට ගොඩ වුණාම මගේ මානසිකත්වය සහ මුලින්ම තරගය සඳහා පමණක්ම යොමුකරනවා. සාමාන්‍යයෙන් මට නිතරම වගේ හෙම්බිරිස්සාව ඇතිවනවා. නමුත් මෝටර් රථයට ගොඩවී තරගය ආරම්භක ස්ථානයට එනකොට ඒ සියලු රෝග දුරුවෙනවා. මම හිතන්නේ මගේ ආශාව ඒ සියලු දේ යටපත් කරනවා කිය.

දේශීය ධාවන පථවලින් කැමැතිම ධාවන පථය කුමක්ද?

එහෙම විශේෂත්වයක් නෑ. නමුත් කමාන්ඩෝ ධාවන පථය අපට ලැබිච්ච වෙනස්ම ධාවන පථයක්. එම ධාවන පථයේ ජෝකර් ලැප්එකක් තියෙනවා ඒ වගේම වේගවත් හා දිගින් වැඩිම ධාවන පථය. ඒ නිසා කමාන්ඩෝ ධාවන පථයේ වෙනසක් තිබෙනවා. ෆොක්ස්හිල් ධාවන පථය වේගවත් වංගු සහිතයි. එම නිසා අනෙකුත් ධාවන පථයන් හා සසදන විට මේ දෙකේ වෙනසක් මා දකිනවා.

ඔබ දෙවන මෝටර් රථයත් පසුගිය දා හිමි කර ගත්තා. ඒ මෝටර් රථයත් පරිත්‍යාග කළා ද?

මම සිතුවා පළමු මෝටර් රථය මගේ මවට දුන් නිසා දෙවන මෝටර් රථය මගේ බිරි‍ඳගේ මවට පරිත්‍යග කරන්න. ඒ අනුව මම පසුගිය දා මට හිමි වු දෙවන මෝටර් රථය මගේ බිරිදගේ මවට පරිත්‍යාග කළා. ඇයත් මට දෙවන අම්මා කෙනෙක් වගේ හැම දාමත් මට ආදරෙන් සැලැකුවා. දැන් මට අම්මලා දෙන්නෙක් සිටිනවා.

ඇයි බිරිඳ මෝටර් රථ පැදිමට ආශාවක් නැද්ද?

එයා ලක්මිණි යාපා. සාමාන්‍යයෙන් එදිනෙදා අවශ්‍යතා උදෙසා මෝටර් රථයක් භාවිතා කළත් මෝටර් රථ තරගයන්ට සහභාගී විමට කැමැත්තක් නෑ. නමුත් ඇය ගෝකාට් තරගයක් තරග කර තිබෙනවා. මම යෝජනා කළා ඉදිරියේදී ගෝකාට් තරගයකට හරි තරග කරමු කියා නමුත් ඇගේ වැඩි කැමැත්තක් නෑ. මේ දිනවල කුලුදුලේ දරු උපතක් බලාපොරොත්තු වන නිසා ඉදිරියේදී ඒ පිළිබඳව බලමු.

ඔබගේ බිරිඳ මේ වේගවත් හා අවදානම් සහිත ක්‍රීඩාවට ඇලුම් කරනවාද?

මගේ බිරිඳ මට හමු වුයේ මෝටර් රථ ක්‍රීඩාවට යොමු විමටත් කලින්. ඇය අපගේ අසල් වැසියෙක් ලෙසයි ජිවත් වුණේ. අපි පොඩි කාගේ සිට එකට හැදිච්චි අය. එදා ඒ ආදරය තමයි අදත් තියෙන්නේ. ඇයට අවදානම ගැන අවබෝධයෙන් ඇති. නමුත් මට ඇයගේ කැමැත්ත අකමැත්ත ගැන බලපැමක් ඇතිවෙලා නෑ. මගේ ආස දේ නිසා මට කරගෙන යන්න අවසර දිලා තියෙනවා. හැම විටම මට උදව් කරමින් මා දිරි ගන්වනවා.

අනාගත සැලැසුම් කවරේද?

මම හරි කැමැතියි අන්තර්ජාතික තරග ජයගෙන රටට කීර්තියක් ගෙනඑන්න. නමුත් අධික වියදම නිසා තමයි මදක් පසුගාමී වි සිටින්නේ නමුත් 2019දි මම සැලැසුම් කර තිබෙනවා. අන්තර්ජාතික තරගාවලියකට යොමු වන්න ඒ සියලු දේ රඳා පවතින්නේ එන වසරේ ශ්‍රී ලංකා රේසිං දින දර්ශනය අනුවයි. මගේ රට නියෝජනය කර රටට කීර්තියක් රැගෙන ඒම තමයි මගේ ඊ ළග අරමුණ. ඒ වගේම මගේ අත්දැකීම් නවකයින් සමග බෙදා හදා ගන්න මම කැමැතියි. රේසිං තරගවලදි මෝටර් රථයේ හැසිරවීම ගැන මෙන්ම තාක්ෂණික කරුණු ගැනද අනෙකුත් ධාවකයන් දැනුවත් කිරිමට මම කැමැතියි. මගෙන් ඒ පිළිබඳව විමසන ඕනෑම කෙනෙකුට මා නිර්ලෝභීව ඒ පිළිබඳ දැනුම දැනටත් ලබා දෙනවා! ඉදිරියේදීත් ලබාදෙන්න මම කැමැතියි.

මෙරට පැවැත්වෙන මෝටර් රථ තරගාවලි හෝ තරගමාලා ගැන ඔබගේ අදහස කවරේද?

තරගමාලා සංවිධාන කරමින් චැම්පියශිප් තරග පැවැත් වෙන එක හරි හොඳයි. තව තවත් තරගමාලා ඇතිවිය යුතුයි. ඒ වගේම ජයග්‍රහකයන්ට දිරියක් වන ත්‍යාග මුදල් හෝ වේවා භෞතික සම්පත් හෝ වේවා ප්‍රදානය කළ යුතුයි. මේ වසරේදී මෝටර් රථ දෙකක් හා යතුරුපැදි දෙකක් ප්‍රදානය ඉතාමත් හොඳයි. එය අනෙකුත් තරග ඉසව් වලටද සිදුවිය යුතුව තිබෙනවා. ඒ වගේම තරගාවලියකදී ඇතිවෙන රිය අනතුරු හෝ විරෝධ තාවයන් මාස ගණන් ඇදියාමට නොදී තරගයෙන් තරගය එය විසඳිය යුතුයි.

විදේශ තරග අත්දැකීම් කෙසේද?

ඉන්දියා, මැලේසියා, ඩුබායි, අබුඩාබි, ජර්මනිය, බෙල්ජියම හා ඉතාලිය වැනි රටවල තරගාවලි මම නියෝජනය කරලා තියෙනවා. ඒ හැම ධාවන පථයක්ම කිලෝමීටර් 5ට වැඩියි. ඒ තමයි ෆෝමියුලා වන් ධාවනපථයක අවම දුර ඒ හැම ධාවන පථයකම වේගවත් වංගු තියෙන්නේ. අවම වශයෙන් පැයට කිලෝමීටර් 100 -150 ක අතර වේගයක් රඳවා ගත යුතුයි ඒ වංගුවක. පස්වන ජියර් එකේ පවා ඒ වංගුවක ධාවනය කළ හැකියි.

ශ්‍රී ලංකා නම මෝටර් රථ ක්‍රීඩාවෙන් අන්තර්ජාතිකව ගෙන ගියේ ඩිලන්ත මාලගමුව. ඔබ ඔහුව දකින්නේ කොහොමද?

ඩිලන්ත මාලගමුව කියන්නේ වෙනස්ම චරිතයක් එයාගේ. ජිවිතයම රේස් රේස් තමයි එයාගේ. නොම්බර් 1 ඒකටම කැපකරලා තියෙන්නේ එයාගේ ජිවිතය මට හිතාගන්නවත් බෑ. ඔහුගේ ධ්‍යෛර්ය පිළිබඳව ෆොමියුලා වන් තරගයකට සහාභාගිවන්නට අඩුම තරමින් රුපියල් ලක්ෂ 60ක් වත් උවමනා කරනවා. සමහරක් වෙලාවට ටයර් ගන්නවත් මුදල් අතේ නෑ නමුත් ඒ තියෙන දේ කළමනාකරණය කරගෙන සොයාගැනීමට පුළුවන් වු මුදලින් කෙසේ හෝ තරගයට යොමුවෙනවා. ඒ නැතිනම් පරණ ටයර් වලින් හරි තරග කරලා ජයගැනීම තම ඔහුගේ අරමුණ. දැන්නම් ඔවුට අනුග්‍රාහකයන් සිටිනවා. හැබැයි අදහාගන්නත් බෑ ඒ දිරිය. ඔහුට ඒ දේ කරන්න පුළුවන් වෙනවා. කෙසේ හෝ ඔහු තරගාවලි නියෝජනය කරමින් හැකි හැම විටම ජයග්‍රාහණත් හිමිකරගන්නවා. ඔහුට තිබෙන්නේ විශ්වාස කළ නොහැකි ආත්ම විශ්වාසයක් හා ධ්‍යෛර්යක්. ඇත්තෙන්ම ගෞරව කළයුතු චරිතයක්. ක්‍රිඩකයෙකුට ආදර්ශමත් චරිතයක් ඩිලන්ත මාලගමුව කියන්නේ.

ඩිලන්ත සමග එක්ව අන්තර්ජාතිකව තරග නියෝජනය කිරිමට බලාපොරොත්තුවක් ආශාවක් නැද්ද?

ඇයි නැත්තේ. ඩිලන්ත අයියා මට යෝජනා කර තිබෙනවා. 2019 වසරේදී පැවැත්වීමට නියමිත ෆොමියුලා වන් තරගයකට ඔවුත් සමග සහභාගි වෙමුයි කියාලා. මගේත් කැමැත්තක් තියෙනවා තරග කිරීමට. නමුත් 2019 වසරේ ලංකාවේ රේසිං දින දර්ශනය අනුව එම වැඩපිළිවෙළ සකසා ගතයුතුයි. ඩිලන්ත මාලගමුව කියන්නේ අත්දැකිම් බහුල ඒ වගේම දැනුම් සම්භාරයක් ඇති ක්‍රිඩකයෙක්. ඔහුත් එක්ක තරග කිරීමට ලැබීම අත්දැකීමත් වෙයි.

රේසිං කියන්නේ ජිවතය වුණාට ඔබ වෘත්තීය මට්ටමින් රේසිං රියැදුරේක් ලෙස ක්‍රියා කරන්නේ නෑ ඔබේ වෘතීය මට්ටමින් නියැළී සිටින්නේ කවර කාර්යකද?

මම අපේ ව්‍යාපාරයක් කරගෙන යනවා. මුද්‍රණ යන්ත්‍ර තීන්ත නිපදවන ආයතනයක්. දේශීය කර්මාන්තයක් ලෙස එය ගොඩනගාගෙන යනවා. ඊට අමතරව ඩුබායි මෝටර් රේසිං මෝටර් රථ සුසර කිරීමේ නියැලෙමින් සිටිනවා. රේසිං වැඩමුළු සංවිධානය කරන අතර තම මෝටර් රථයේ ඇති ඩයිනමෝ මිටර් හෙඩිපර් මැකැනිසම් වැඩපොළක්ද පවත්වාගෙන යනවා.

ඔබගේ කණ්ඩායම ගැන සඳහන් ‍කළොත්

මට ඉතාමත් හොද අවංක කණ්ඩායමක් සිටිනවා. ඔවුන් කලාවක් වෙලාවක් නොබලා තම කර්යය ‍ඉතා හොඳන් ඉටුකරමින් සිටිනවා. ඒ වගේම මමත් හැම විටම ඔවුන් දිරිමත් කරමින් ඔවුන්ගේ දැනුම වැඩිදියණු කරගැනීමට කටයුතු කරනවා. ඔවුන්ට පිට රට පුහුණු වීම් පවා ලබා දි තිබෙනවා. අනෙක ලංකාවේ මෝටර් රථ ක්‍රිඩාවට යොමු කළ මෝටර් රථ 200ක් පමණ තිබෙනවා.

නමුත් නිසියාකාරව මෝටර් රථයක් සුසර කළ හැකි කාර්මිකයන් ඇත්තේ සීමිත පිරිසක්. ඒ නිසා නිසිදැනුමක් ඇති කාර්මික ශීල්පීන් බිහිවිය යුතුයි. එතකොට මේ ක්‍රීඩාවේ අභියෝග තවතවත් තීව්‍ර වෙනවා.

Comments