රෝස දියමන්තිය ඩොලර් මිලියන 50කට වෙන්දේසියේ | සිළුමිණ

රෝස දියමන්තිය ඩොලර් මිලියන 50කට වෙන්දේසියේ

ඉතාමත් දුර්ලභ ගණයේ රෝස දියමන්තියක් ඇමෙරිකා ඩොලර් මිලියන 50.3කට පසුගිය දා අලෙවි කෙරිණ. "පින්ක් ලෙජසි" (Pink Legacy) යනුවෙන් නම් කර තිබුණු මේ රෝස දියමන්තිය එම මිලට අලෙවි වුණේ ජිනීවා නුවර පැවැති මැණික් හා ස්වර්ණාභරණ වෙන්දේසියකදී ය. දියමන්තිය මිලදී ගත්තේ ඇමෙරිකාවේ හැරී වින්ස්ටන් සමාගමයි. මිලදී ගැනීම සිදු වූ වහාම දියමන්තියේ නම "වින්ස්ටන් පින්ක් ලෙජසි" (Winston Pink Legacy) යනුවෙන් වෙනස් කෙරිණ.

විශ්වාස කළ නොහැකි තරමට ඉහළ වර්ණ තීව්‍රතාවකින් හෙබි මේ දියමන්තිය කැරට් 19කින් යුක්තය. දියමන්ති කැණීම් කෙරෙන පතල්වලින් රෝස දියමන්ති හමුවන නමුත් ඒවා සාමාන්‍යයෙන් කැරට් එකකට වඩා අඩු බරක් සහිත බව සඳහන් වේ. කැරට් දහය, පහළොව ආදී වශයෙන් වන රෝස දියමන්ති හමුවී තිබෙන්නේ ඉතා කලාතුරකිනි. එසේ හමු වූ රෝස දියමන්තිවල දම්, තැඹිලි හෝ දුඹුරු හෝ පැහැයන් මුසුව තිබෙනු දක්නට පුළුවන. එහෙත් "පින්ක් ලෙජසි" දියමන්තියේ වෙනත් කවර ආකාරයක හෝ රසායනිකයක් අන්තර්ගතව නැත. ලොව අනෙක් රෝස දියමන්තියකට නැති තරමේ පාරදෘෂ්‍යය සහ කාන්තිමත් බවක් එනිසාම මේ දියමන්තියට ලැබී ඇත.

දකුණු අප්‍රිකාවේ පතලකින් "පින්ක් ලෙජසි" දියමන්තිය සොයා ගැනුණේ මෙයට වසර සියයකට පමණ ඉහතදීය. 1920දී පමණ එම රෝස දියමන්තිය කපා ඔප මට්ටම් කර ඇත. ඉන්මතු මේ දියමන්තිය කිසිදු ආකාරයේ වෙනස් කිරීමකට භාජනය නොකෙරුණු බවත් සඳහන් වේ. එහෙත් රෝස දියමන්තියේ හිමිකාරීත්වය කලින් කලට විවිධ ධනවතුන් අතට පත්විණ. දියමන්ති පතල් කැණීම් කර්මාන්තයේ නිරත ලෝක ප්‍රකට සමාගමක් වන "ඩී බියර්ස්" සමාගම කලක් පවත්වාගෙන ගිය ඔපෙන්හේමර් පවුලත් මේ දියමන්තියේ අයිතිය එක්තරා කාලයකදී දැරූවේය. කෙසේ වුවත් "පින්ක් ලෙජසි" දියමන්තිය ජිනීවා වෙන්දේසියට මෙවර රැගෙන ආවේ කවරකුදැයි කියන කාරණය අනාවරණය නොවේ.

මංජුලා විජයරත්න

Comments