පළමුවැනි ලෝක යුද්ධය අවසන්ව අවුරුදු සීයයි | සිළුමිණ

පළමුවැනි ලෝක යුද්ධය අවසන්ව අවුරුදු සීයයි

"අවසන් යුද්ධය නිම වූ විට ජයග්‍රාහකයෝ සහ පරාජිතයෝ වූහ. පරාජිතයන් අතර පොදු ජනයා හාමතින් සිටි අතර ජයග්‍රාහකයන් අතර ද පොදු ජනයා සිටියේ හාමතිනි. යුද්ධයේ ආදීනව එසේ ය"

 බර්ටෝල් බ්‍රෙෂ්ට්

පළමුවැනි ලෝක යුද්ධය නිම වී වසර සියයක් ගතව යද් දී තවමත් ලොව පුරා ඒ කොන මේ කොන යුද ගිනි දැල්වෙමින් පවතී.

එකිනෙකාට අභියෝග කළ හැකි අන්දමේ එකිනෙකාට නොදෙවැනි බලයක් හිමි කරගෙන සිටි රටවල්, තම බලය ප්‍රදර්ශනය කිරීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලය ලෙස පළමුවැනි ලෝක යුද්ධය නිර්මාණය විය.

1914 සිට 1918 දක්වා දිව ගිය සංග්‍රාමය සඳහා පසුබිම 19 වැනි සියවසේ සිටම සකස් වෙමින් පැවතිණි. ඊට ඔටෝ වොන් බිස්මාර්ක්ගේ ප්‍රතිපත්ති, ඇල්සාස් ලෝරේන් සඳහා වු ප්‍රශ්න, යුරෝපීය රටවල් යටත්විජිත සඳහා තරග වැදී සිටීම, ජර්මනියේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය, ජර්මනියේ මෙන්ම බ්‍රිතාන්‍යයේ ආර්ථික ප්‍රතිපත්ති, යුරෝපය දෙපිලකට බෙ දී සිටිම, යුද අවි පිළිබඳ වු තරගය, බෝල්කන් ප්‍රශ්න, සරයේවෝ සිද්ධිය ආදිය එක් වී තිබිණි.

කෙසේ වුවත් ලෝකය බෙදා ගැනීම සඳහා යුරෝපා ජාතින් අතර කලක් තිස්සේ පැවැති නිහඬ තරගය ලෝක යුද්ධයකට ප්‍රමුඛතම සාධකය වූ බව සාවද්‍ය නොවේ.

එසේම එකිනෙකා අබිබවමින් උසස් නිෂ්පාදන සොයා ගැනීම හෝ නිපදවීමේ තරගය අතර යුරෝපයේ බලවතා ලෙස ජර්මනිය ද ලෝක බලවතා ලෙස බ්‍රිතාන්‍ය ද නැ‍ඟී සිටියේය. යුද අවි පිළිබඳ දෙපාර්ශ්වයේම පැවැති පිපාසය හමුවේ එතෙක් භාවිත නොවූ සබ්මැරීන් යාත්‍රා, යුද ටැංකි, විෂ වායු කෙරෙහි සියලු ජාතීන් ගේ අවධානය යොමු වී තිබිණි. සියලු රටවල් ගැටුමකට සූදානම් වූ බවට ‍මේවා කදිම උදාහරණ වේ.

ඇසට ඇඟිල්ලෙන් අනින තුරු බලා සිටි බලවතුන්ට අවස්ථාව හිමි කර දෙමින් 1914 ජූනි 28 වන ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමාරයා වූ ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් කුමාරයා සහ ඔහුගේ බිරිය සර්බියාවේ සරයේවෝ නුවර දී බ්ලැක් හෑන්ඩ්ස් නම් සංවිධානය විසින් ඝාතනය කරනු ලැබූහ.

මෙය සර්බියන් රජයේ අනුදැනුම මත වූ ක්‍රියාවක් නොව රහස් තරුණ සංවිධානයක ක්‍රියාවක් පමණක් වුව ද සර්බියාවට එරෙහිව යුද වැදීමට සූදානමින් සිටි ඔස්ට්‍රියාව පැය 48 කට පෙර පිළිතුරු ලබා දෙන්නැයි කියමින් අවසාන නිවේදනයක් නිකුත් කළේය. ඊට සාධාරණ ලෙස ලබා දුන් පිළිතුරු නිෂ්ඵල වූ අතර ඔස්ට්‍රියාව යුද වැදිණි. මේ අවස්ථාවේ දී සර්බියාව ආධාර අපේක්ෂා කළේ රුසියාවෙනි.

එහෙත් බෙල්ජියම ආක්‍රමණය නොකරන ලෙස බ්‍රිතාන්‍යය බලවත් වූ ජර්මනියෙන් ඉල්ලා සිටියේය. බ්‍රිතාන්‍යය මධ්‍යස්ථ වියයුතු බව පැවසූ ජර්මනිය තමන්ගේ පූර්වකාලීන සතුරා වූ ප්‍රංසය තනි කිරීම අපේක්ෂා කළේය. එහෙත් බ්‍රිතාන්‍යය ඊට එකඟ වූයේ නැත. අවසන අගෝස්තු 4 වන දා වන විට ප්‍රංසය රුසියන් සහායකයින් සමඟ ඔස්ට්‍රියා ජර්මන් පිලට එරෙහිව යුද වැදී සිටියේය.

වසර 4 ක් පුරා යුරෝපය අවුළුවාලූ යුද්ධයට සම්බන්ධ සෑම රටකම හා සම්බන්ධ නොවූ සෑම රටකටම වාගේ ආර්ථීක සමාජීය මෙන්ම දේශපාලනික හානි සිදු විය. යුද්ධය අවසන් වුයේ බ්‍රිතාන්‍යය ප්‍රමුඛ මිත්‍ර පිලට ජය අත්කර දෙමිනි.

එපමණක් නොව ජීවිත මිලියන 20ක් අහිමි කරමිනි. මිලියන 21 කට තුවාල සිදු කරමිනි. මිය ගිය සංඛ්‍යාව අතරට හමුදා සාමාජිකයින් මිලියන 9.7ක් ඇතුළත් වන අතර සිවිල් වැසියන් මිලියන 10ක් ඇතුළත් ය.

නොසිතූ විරූ මිනිස් හා දේපළ හානියක් මතින් ගොඩනැගුණු පළමුවැනි ලෝක යුද්ධය ලෝක ඉතිහාසයේ විශේෂ සන්ධිස්ථානයක් බව නැවතත් පවසමි. නැවතත් මෙවන් යුද්ධයක් ඇති වීමේ ඉඩ ප්‍රස්ථා නැති කිරීමට නම් අන්තර්ජාතික ඒකාබද්ධ නීතියක අවශ්‍යතාව දැඩි සේ මතු විය. ඊට පෙර ද ජාතීන් අතර ඇති වන ගැටලු නිරාකරණය සඳහා ජගත් සංවිධානයක අවශ්‍යතාව පැන නැ‍ඟී තිබුණි. යුද්ධය අවසානයේ සාම ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා 1919 ජනවාරි මාසයේ දී ප්‍රංශයේ පැරිස් නුවර පවත්වන ලද සාකච්ඡාවලට රටවල් ගණනාවක ම නියෝජිතයෝ සහභාගි වූහ.

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති වුඩ්රෝ විල්සන්, බ්‍රිතාන්‍ය අගමැති ලොයිඩ් ජෝර්ජ්, ප්‍රංශ අගමැති, ක්ලේමන් ෂෝ, ඉතාලියේ අගමැති විටෝරියෝ ඔලැන්ඩෝ මීට සහභාගි වූ නායකයෝ ය. මේ සාම සාකච්ඡාවල ප්‍රතිඵල වශයෙන් පරාජිත පාර්ශ්ව සමඟ ගිවිසුම් කිහිපයක් ඇති කර ගැනුණි.

මේ අතර ජර්මනිය සමඟ අත්සන් කළ වර්සෙල්ස් ගිවිසුම ද වේ. යුද්ධයේ චූදිතයා වශයෙන් ජර්මනියට වර්සෙල්ස් ගිවිසුමෙන් දැඩි දඬුවම් පැමිණ විය.

ජයග්‍රාහී රටවලට විශාල වන්දි මුදලක් ගෙවීමට ජර්මනියට සිදු වූ අතර හමුදා තබා ගැනීම හා අවි ආයුධ නිෂ්පාදනය සඳහා ජර්මනියට සීමා පමුණුවනු ලැබීය.

ජර්මනිය ප්‍රංසයෙන් අල්ලාගෙන තිබූ ඇල්සාස් හා ලොරේන් ප්‍රදේශ යළි ප්‍රංසයට පවරා දී යුරෝපයෙන් පිටත ජර්මනිය සතු වූ යටත් විජිත ජයග්‍රාහී ජාතීන් අතර බෙදා ගැනීම ද සිදු විය.

පළමුවන ලෝක යුද්ධය නිසා ජර්මන් අධිරාජ්‍ය, ඔස්ටි‍්‍රයා හංගේරියා අධිරාජ්‍ය, තුර්කි අධිරාජ්‍ය වැනි ඒකාධිපති රාජාණ්ඩු බිඳ වැටිණි. එහි ප්‍රතිඵල ලෙස විවිධ ජන වර්ග පදනම් කරගෙන ෆින්ලන්තය, පෝලන්තය, චෙකොස්ලෝවැකියාව, හංගේරියාව වැනි නිදහස් රාජ්‍ය කිහිපයක් මේ ප්‍රදේශවල ඇති විය.

සමස්ත යුරෝපය ම ආර්ථික අතින් බිඳ වැටී නිෂ්පාදන ශක්තිය දුර්වල වීමෙන් හා භාණ්ඩවල මිල ඉහළ යෑමෙන් ආර්ථික පරිහානියකට මුහුණ පෑවේ ය. යුද්ධය අවසානයේ අමෙරිකා එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය ලෝක බලවතුන් ලෙස කැපී පෙනුණි. බ්‍රිතාන්‍ය නාවික හමුදා ශක්තිය ඉස්මතු වූ අතර ඔවුන්ට අයත් යටත් විජිත සංඛ්‍යාව ද වැඩි විය.

ජාතීන්ගේ සංගමය 1919 පැවැත්වූ, පැරිස් සාම සාකච්ඡාවල දී, ලෝක සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීම හා නැවත මෙබඳු යුද්ධයක් ඇති වීම වළක්වා ගැනීම පිණිස අන්තර්ජාතික සංවිධානයක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වුඞ්රෝ විල්සන් මහතා ඒ සඳහා මුල් වී ක්‍රියා කළේ ය. 1920. 01. 10 දින ජාතීන්ගේ සංගමය බිහි වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ආරම්භයේ දී මේ සංවිධානයට රටවල් 42 ක් සම්බන්ධ විය.

ජාතින්ගේ සංගමය පිහිටුවීමෙන් පසු වසර 20ක් පමණ කාලයක් යුද්ධ ඇතිවීම වළක්වා ගැනීමට එම සංගමය සමත් විය. සංගමය පිහිටවු මුල් කාලයේ දී කුඩා රාජ්‍යයන් මෙන්ම විශාල රාජ්‍යයන් ද සිය අර්බුද විසඳීමේ දී, ජාතීන්ගේ සංගමය ගනු ලැබූ තීරණවලට ගෞරවනීය ලෙස අවනත වීම එයට හේතු විය.

එදා මෙදාතුර ලෝකයේ බිහි වූ බොහෝ දේශපාලන දර්ශන අතර ප්‍රජාතන්ත්‍රවාදයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.

එසේම පශ්චාත් යුද සමය ෆැසිස්ට්වාදයට සැබෑ ක්‍රියාකාරී උපත ලබා දුන් බව ද සැබෑය. රාජ්‍යය හා ජාතිය සියලු දේට වඩා උසස් බවත්, පුරවැසියා යනු එහි එක් අවශ්‍යතාවක් පමණක් බවත් මෙයින් පෙන්වා දෙනු ලැබීය.

පළමු ලෝක යුද්ධය අදට සාපේක්ෂව ද නොතකා හැරිය යුතු නොවේ. කොටින්ම කියත හොත් දෙවන ලෝක යුද්ධයට මග පෙන්වන ලද්දේ ද පළමු ලෝක යුද්ධයයි.

Comments