විදෙස් ණය ගෙවීමටත් රජයේ වියදම් සඳහාත් ආණ්ඩුවට ශක්තිය තිබෙනවා | Page 3 | සිළුමිණ

විදෙස් ණය ගෙවීමටත් රජයේ වියදම් සඳහාත් ආණ්ඩුවට ශක්තිය තිබෙනවා

විදෙස් ණය හා පොලී වාරික ආපසු ගෙවීම සහ රජයේ වියදම් කිසිම ප්‍රමාදයක් හෝ නොමැතිව සිදු කිරීමට ආණ්ඩුවට ශක්තිය ඇතැයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයත් මහ බැංකුවත් අවධාරණය කර සිටී.

මේ වසරේ හා ලබන වසරේ (2019) රජයේ මූල්‍ය වගකීම් ඉටු කරන්නට ආණ්ඩුවට නොහැකි වන බවට විපක්ෂය නඟන චෝදනා මුළුමනින් ම බැහැර කරමින් අමාත්‍යාංශය මේ බව පවසයි.

2019 ජනවාරි හා අප්‍රේල් මාස වනවිට ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 1500 ක් ණය හා වාරික ලෙස විදේශයන්ට ගෙවීමට ඇති අතර එම මුදල් සියල්ල ගෙවීමට සියලු සැලැසුම් හා වැඩපිළිවෙළ ආණ්ඩුවට තිබෙන බව මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසා සිටී‍.

විදේශ ණය සේවාකරණයන්ට අවශ්‍ය මුදලටත් වඩා මුදලක් එනම් ඩොලර් බිලියන 02 ක් මේ කාලය තුළ රටට සොයා ගත හැකි සැලසුම් සූදානම් කොට ඇති බව ද අධිපතිවරයා පවසයි. ඊට අමතරව රාජ්‍ය සේවක වැටුප්, ජනතා සුබසාධක, සංවර්ධන වියදම් දැරීමට ආණ්ඩුවට කිසිදු බාධාවක් නැති බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පෙන්වා දෙයි. වසර 2018 සඳහා රජයේ වියදම් සියල්ලටම 2018 අයවැය මඟින් පාර්ලිමේන්තුවේ මුදල් අනුමත වී ඇත. එහෙයින් 2018 දෙසැම්බර් 31 තෙක් වියදම්වලට කිසිදු ප්‍රශ්නයක් නොමැති බව ද ආටිගල මහතා කීය.

 

Comments