විස්සයි 20 ලෝක ශූරියෝ අද කිරුළු දරති | සිළුමිණ

විස්සයි 20 ලෝක ශූරියෝ අද කිරුළු දරති

ජාත්‍යන්තර බොක්සිං සංගමය මෙහෙයවූ 2018 කාන්තා ලෝක බොක්සිං ශූරතාවලිය පැවැත්ව‍ුයේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදීය. ඊට විවිධ රටවලින් සුපිරිතම ක්‍රීඩිකාවෝ රැසක්ම සහභාගි වූහ.

ශ්‍රී ලංකාවෙන් මෙම ශුරතාවලියට සහභාගි වුයේ අනුෂා කොඩිතුවක්කු පමණි. අනුෂා 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළේ ලෝකඩ පදක්කම්ලාභිනියකි. එමෙන්ම ඇය 2016 දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ රිදී පදක්කම්ලාභිනියත් වුවාය.

සාමාන්‍යයෙන් ප්‍රධාන ක්‍රීඩා උලෙ‍ළක් හෝ ශුරතාවලියකදී දැඩි අවධානයක් ඊ‍ට යොමු වන්නේ එය පැවැත්වෙන විටදීය. නමුත් මෙවර කාන්තා ලෝක බොක්සිං ශුරතාවලිය ඊ‍ට වඩා වෙනස් වුයේය.

ඒ එම ශුරතාවලිය ඇරඹීමට පෙර සිටම ලෝක අවධානය ඊට යොමු වී තිබුණු බැවිනි. ඊට හේතු වුයේ නවදිල්ලියේ පැවැති වායු දුෂණයයි. නවදිල්ලිය ලොව වායු දූෂිත ප්‍රධානතම නගරය ලෙසට සැළකෙයි.

මේ පිළිබඳ ක්‍රීඩා ලොව අවධානය යොමු වුයේ මෙවර ලෝක ශුරතාවලිය ඇරඹීමට පෙර පුහුණුවීම්වල නිරත වූ ක්‍රීඩිකාවන් ඒ ගැන සිය අදහස් දැක්වීමත් සමඟින්ය.

එහිදී ඇතැම් ක්‍රීඩිකාවන් පුහුණුවීම් කටයුතු සිදු කළේ නාස් සහ මුඛ ආවරණ සහිතවයි. ඒ එම ප්‍රදේශයට ඉහළ වායුගෝලය තුළ පවතින විෂ වායුවක් ආඝ්‍රාණය වන බව පවසමිනි.

“මගේ පවුල කනස්සල්ලෙන්. අපි දන්නවා ඒක අපේ ශරීරයට ‍හොඳ නැහැ කියලා.”

මෙසේ අදහස් දැක්වූයේ බල්ගේරියාවේ ස්ටැනිමිරා පෙට්‍රෝවාය.

පෙට්‍රෝවා 27 හැවිරිදිය. ඇය 2014 කාන්තා ලෝක ශුරතාවලියේ බැන්ටම්වේට් බර පංතියේ කිලෝග්‍රෑම් 54 ශූරියයි. “එය අමාරුයි. මම මුහුණට ඉහළින් සළුවක් බැඳගෙන සිටියේ. අපිට හුස්ම ගැනීමේ අපහසුවක් තිබුණා. මේ තත්ත්වය යටතේ පුහුණු වෙන්න හරිම අමාරු වුණා.” ඇය වැඩි දුරටත් පැවසුවාය.

මෙම වායු දුෂණය මැඩ පැවැත්වීම සඳහා විශේෂ ක්‍රියා මාර්ගයක් ඉකුත් දිනවලදී ක්‍රියාත්මක විය. ඒ නාගරික පාලනාධිකාරිය විසින් විශාල වාහන නගරයට ඇතුළුවීම තහනම් කිරීමයි. එමෙන්ම ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට (දුහුවිලි පාලනයට) නියෝග කිරීමයි.

කෙසේ වෙතත් යුරෝපීය බොක්සිං ක්‍රීඩිකාවන් 07 ක්ම ඔවුන්ගේ දෑස් අවහිරයට පත්ව ඇතැයි පැමිණිලි කරන ලදහ. ඔවුන්ගේ පුහුණුකරුවන් පවසා තිබු‍ෙණ් එසේ පැමිණිලි කර තිබියදීත් සංවිධායකයන් කිසිඳු ආරක්ෂක ආවරණයක් තමන් වෙත ලබා දුන්නේ නැති බවයි.

ඉවතලන වාහන අපද්‍රව්‍ය සහ ඉවතලන ආහාරමය අපද්‍රව්‍ය ගිනි තැබීම නිසා නවදිල්ලියේ වායු දුෂණය ඉහළ මට්ටමක පවතියි. තවද ඉකුත් දිනවල සුළං හමන ස්වභාවයක් ද නොතිබිණි. ඒ නිසා විෂ වායු නගරයෙන් ඉවතට නොගියේය.

මෙවර කාන්තා ලෝක බොක්සිං ශුරතාවලියට රටවල් 73 ක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවෝ 333ක් සහභාගි වුහ. මෙම ශුරතාවලිය ඇරඹීමට දෙදිනකට පෙර දිල්ලියේ වායු තත්ත්වය ගැන හෙළි විය. එමඟින් වාර්තා වුයේ ආරක්ෂක සීමාවටත් වඩා අට ගුණයකින් වායු දුෂණය පවතින බවයි.

මෙවර ලෝක ශූරතාවලියට සහභාගී වූ ප්‍රංසපුහුණුකරුවකු වන ඇන්තනි වෙනියාන්ට් වායු දුෂණය ගැන මෙසේ සිය අදහස් දැක්වුයේ ය.

“මට තේරුණා වායු තත්ත්වය හොඳ නැහැ කියලා. සමහර ක්‍රීඩිකාවන්ගේ මවුපියන් මේ ගැන කනස්සල්ලට පත් වුණා. මේ තරගාවලිය දිල්ලියෙන් ඉවත් කරන්න කියලා මම සංවිධායකයන්ගෙන් ඉල්ලීම් කළා. ඒ වුණත් මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා. මේ නිසා අපි අපේ ක්‍රීඩිකාවන්ට පිටතට යෑම සීමා කළා.”

මෑතකදී නවදිල්ලියේ වායු දුෂණය ජාත්‍යන්තර ක්‍රීඩාවට බලපෑ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2017 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේදීත් මෙවැනි සිදුවීමක් වාර්තා විය.

එහිදී දෙරට අතර තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුයේ දිල්ලියේ ෆෙරොෂ් ෂාහ් කොට්ලා ක්‍රීඩාංගණයේදීය. තරගයේ දෙවන දිනයේදී දිල්ලි නුවර දුමෙන් වැසී තිබුණි. එම නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුඛවාඩම් පැලඳගෙන සිටියහ. එමෙන්ම ඇතැම් ක්‍රීඩකයන් විවිධ රෝගාබාධයන්ට ලක්වුහ.

එසේ වුවත් ඉන්දීය ඇතැම් මාධ්‍ය සහ ක්‍රීඩා ලෝලීන් ද එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ව විවේචනයට ලක් කළහ. කෙසේ වෙතත් පසුව ඇතැම් ඉන්දීය ක්‍රීඩකයන් ද රෝගාබාධයන්ට ලක් වුහ. තරගය නිමා වූ විට දෙපිලම මෙම තරගය දිල්ලියේ පැවැත්වීම ගැන විවේචනය කළහ.

ඉන්දියාවේ අගනුවර වන්නේ ද නවදිල්ලියයි. එහි මිලියන 18 කට වැඩි ජනගහනයක් ජීවත් වෙති. ඒ අතර නිවාස අහිමි විශාල පිරිසකුත් සිටිති. එහි වායු දුෂණය ගැන ප්‍රධාන ක්‍රීඩා තරග පැවැත්වෙන විට දැඩි අවධානයක් යොමු වෙයි. එහෙත් ඊට ස්ථීර විසඳුමක් නැත.

Comments