එල්ලේ ක්‍රීඩාවට සලකන්නේ නැති ක්‍රීඩා අමාත්‍යාංශයක් රටට මොකටද? | සිළුමිණ

එල්ලේ ක්‍රීඩාවට සලකන්නේ නැති ක්‍රීඩා අමාත්‍යාංශයක් රටට මොකටද?

අද අපේ රටේ එල්ලේ ක්‍රීඩාව ඔබ දකින්නේ කොහොමද?

අදටත් හැම තැනින්ම කුඩම්මාගේ සැලකලි තමයි එල්ලේ ක්‍රීඩාවට තියෙන්නේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි සංගම් සම්මේලන 60 කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අද එල්ලේ ක්‍රීඩාව සඳහා අමාත්‍යාංශයෙන් වාර්ෂිකව වෙන් වෙන මුදලවත් වෙන් කරලා දීලා නෑ. ඒ වූණාට ඒ අයගේ වාර්ෂික ක්‍රීඩා සැලසුමේ තියෙනවා ජාතික මට්ටමේ කාන්තා සහ පිරිමි තරගාවලි 2 ක් පවත්වන්න කියලා.

අපි ගිහින් ජාතික ශූරතාවලියට මුදල් ඉල්ලන කොට දෙන්න මුදල් නෑ. මේ දුප්පත් අහිංසක ක්‍රීඩකයන්ගෙන් එකතු කරගන්නා පුංචි මුදලක් තමයි තිබුණේ එල්ලේ සම්මේලනයේ. අද වන කොට ඒ මුදල්වලින් තමයි ජාතික තරගාවලියේ වට තුනක් පවත්වලා තිබෙනවා. ඉතිරි තරගත් පවත්වනවා. මගේ පෞද්ගලික මුදල් ප්‍රතිපාදන පවා මේ තරගාවලියට යොදවලා තියෙනවා.

ඇත්තට ම කණගාටුයි, අනිත් ක්‍රීඩාවන් ජාතික වගේම ජාත්‍යන්තර තරගාවලි පවා විශාල මුදල් ප්‍රමාණයක් යට කරනවා. හැබැයි ජාතියත් එක්ක බද්ධ වෙලා තියෙන මේ එල්ලේ ක්‍රීඩාවට අද වෙන කොට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියලක් වත් වෙන් කරලා නෑ. අතිරේක ලේකම්තුමිය පවා අපට කියනවා, ඔයගොල්ලන්ට හැමදාම කුඩම්මාගේ සැලකිලි නේද කියලා.

ඔබ සභාපති වෙන්න කලින් එල්ලේ ක්‍රීඩාව සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද තිබ්බේ?

මම ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය බාර ගන්න කොට අපට ව්‍යවස්ථාවක් හරියට තිබුණේ නැ. හැම දෙයක් ම කොළ 2කට සීමා වෙලා තිබුණේ. එල්ලේ ක්‍රීඩාව සම්බන්ධයෙන් පැහැදිලි නීතියක් තිබුණේ නෑ. නීති රීති ගණනාවක් එක්ක පොත් නම් විශාල ගණනක් තිබුණා. විනිසුරුවරුන් එල්ලේ සම්මේලනය එක්ක කටයුතු කරන කොට හැමදාම ගැටලු මතු වුණා. විනිසුරුවන් ක්‍රීඩකයන් අතර ගැටලු මතු වුණා. විනිසුරුවන් එක පිට්ටනියක දෙන තීරණ එහා පිට්ටනියට යන කොට වෙනස්.

මේ විදියට විනිසුරු සංගමය පවා තුන හතරට කැඩිලා විසිරිලා එල්ලේ ක්‍රීඩාව විනාශ වෙමින් තිබුණේ. එවන් වෙලාවක තමයි නිතරගයෙන් එල්ලේ සම්මේලනයට මාව රට පුරා විසිරි සිටින කණ්ඩායම් එකතු වෙලා පත් කරගත්තේ. අද වෙන කොට ව්‍යවස්ථාවක් හදලා තියෙනවා. එක නීති පොතක් හදලා කණ්ඩායම්වලට ලබා දීලා විනිසුරුවන්ට පුහුණුව ලබා දීලා, විනිසුරුවරුන් එකම නීතියට වැඩ කරන පිළිවෙළක් හැදුවා. එල්ලේ ක්‍රීඩාවට ගීතයක් තිබුණේ නෑ. ඒක හැදුවා. අපට කොඩියක් තිබුණේ නෑ. ඒක හැදුවා. අද වෙන කොට ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා ජාත්‍යන්තරයට මේ ක්‍රීඩාව ගෙන යන්න අපට වගේම එල්ලේ ක්‍රීඩාවට ආදරය කරන අයට තියෙනවා.

ඒ කියන්නේ ජාතික ශූරතාව පවත්වන්නවත් එල්ලේ සම්මේලනයට ශක්තියක් තිබුණේ නෑ?

ඇත්තට ම ඔව්. මුදල් ප්‍රතිපාදන වෙන් වෙන්නේ නෑ. වෙන් කරලා නෑ. එහෙම තත්වයක් තියෙන කොට ජාතික ශුරතාවලිය තියෙන්නේ. කොහොමද ? අනුග්‍රහයක් හොයා ගෙන කරන්න කිව්වට එහෙම කරන්න බෑ.

එල්ලේ සම්මේලනය කියන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අවුරුදු 50කට වඩා පරණ ලියාපදිංචි වෙච්ච සංගමයක්. හැබැයි අපට රුපියලක්වත් වෙන් වෙන්නේ නැති, ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය කොහොමද ජාතික ශූරතාවලියක් කරන්නේ. අපි ආයතන අතර, ජාතික කාන්තා සහ පිරිමි ශුරතා තුනම කරන්න ඕනෑ. දිස්ත්‍රික් - පළාත් තරගාවලි අතහැරියත් අඩුම තරමේ මේ තරගාවලි තුනවත් කරන්න ඕනෑ. ඒකටත් අමාත්‍යාංශය මුදල් ප්‍රතිපාදන වෙන් කරලා නෑ, අඩුම තරමේ ජාතික ශූරතාවලිය කරන්නවත් මේ අවුරුද්ද ඉවර වේගනත් එනවා. හැබැයි රුපියලක් වත් දීලා නෑ.

එල්ලේ සම්මේලනයේ සභාපතිවරයෝ පොල් තෙල් පහන දල්වන්නට හරි තරගයක මංගල පන්දු පහර ගහන්න හරි ගිහින් ක්‍රීඩාවක් දියුණු කරන්න බැහැනේ. අවුරුදු 50ක ඉතිහාසයක් තියෙන අපේ රටේ එල්ලේ ක්‍රීඩාවේ පසුගිය කාලවල පත් වෙච්ච නිලධාරි ඇත්තටම මොනවද කරලා තිබෙන්නේ?

ඉතිහාසයේ ඉඳලාම රාජ්‍ය අනුග්‍රහය ලැබිලම නෑ. පසුගිය කාල වකවානුවල බැලුවොත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාල වකවානුවේ තමයි එල්ලේ ක්‍රීඩාවට පණක් ලැබුණේ. ඒ කාලයේ තමයි හොඳම විදියට ජාතික ශූරතාවලිය පවත්වලා විශාල තෑගි මුදල් පවා දීලා තියෙන්නේ.

ඊට කලින්වත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විශේෂ දෙයක් කෙරිලා නෑ. ඒ නිසාම එල්ලේ ක්‍රී‍ඩාව එහෙම පසු බැහැලා ගියා. අපි මේ තෑගි භෝගවලින් නෙවෙයි ක්‍රීඩාව උඩට ගන්න ඕනෑ. ක්‍රීඩකයන්ගේ විනය ආකල්ප සහ විනය එක්ක ජාත්‍යන්තරයට ගෙන යන්න අපි මොනවද කරන්න ඕනෑ කියලා වැඩ කරන්න ඕනෑ.

අපේ රටේ එල්ලේ ක්‍රීඩාවේ දියුණු යුගයක් තිබුණාද?

එල්ලේ ක්‍රීඩාවේ දියුණු යුගයක් ඉතිහාසයේ තිබිලා ති‍යෙනවා. ඒ වගේම එල්ලේ ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව කරන්න කියලා ලොකු ඉල්ලීමක් තියෙනවානේ. හැබැයි තාමත් ඒකට සුදුසු වැඩ පිළිවෙළක් නෑ. ඒකට හේතුව තමයි ව්‍යවස්ථාවක් නැති ක්‍රීඩාවකට - ක්‍රීඩා සංගමයකට පුළුවන්ද ජාතික ක්‍රීඩාව කරන්න. අද වෙන කොට අපි මේ සඳහා අත්තිවාරම දාලා තියෙන්නේ. එල්ලේ ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව කරන්න කියන යෝජනාව පළාත් සභා නවයටම ගෙනල්ලා, ඒ හරහා පාර්ලිමේන්තුවට ගෙනත් ඒ දේ කරන්න පුළුවන්.

ජාතික ක්‍රීඩාව විදියට අද වොලිබෝල් තිබ්බට ඒක හරියට ගැසට් වෙලා නෑ. ඒ නිසා අපි පැහැදිලිවම එල්ලේ ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව කරන්න කියන වැඩ සටහන ඉදිරියට කරගෙන යනවා. ‍

එල්ලේ ක්‍රීඩාව මේ තරම් ම කඩාගෙන වැටුණේ කොහොමද?

අපේ රටේ එල්ලේ ක්‍රීඩාවට ඉතිහාසය පුරාම හරි නායකත්වයක් ලැබිලා නෑ කියලා තමයි මම නම් හිතන්නේ. තරගාවලි විතරක් තියලා එල්ලේ ක්‍රීඩාව දියුණු කරන්න බෑ. එල්ලේ ක්‍රීඩාව දියුණු කරන්න නම් ක්‍රීඩාවේ සහ ක්‍රීඩකයන් ව්‍යවස්ථානුකූලව ඉදිරියට ගෙන යාමේ වුවමනාවක් තියෙනවා. අද වෙන කොට ක්‍රීඩකයන් විනිසුරුවන්ට ගරු කරන තත්වයට හදලා තියෙනවා. ව්‍යවස්ථාවට ගරු කරන තැනට පත් කරලා තියෙනවා. ඒ වගේම එල්ලේ නීතියට ගරු කරන තත්ත්වයකට පත් කරලා තියෙනවා.

ඒ නිසා මේ වන කොට ජාතික ශූරතාවලියේ වට තුනක් යන කොටත් ගැටුම් අඩුයි. ප්‍රශ්නයක් ඇති වුණොත් ලිඛිතව ලබා දෙන්න විනය කමිටු පත් කරලා. අද නීතිගරුක එල්ලේ ක්‍රීඩාවක් පවත්වා ගෙන යනවා.

ක්‍රීඩාවක් ඉදිරියට ගන්න නම් මාධ්‍ය සහ මුදල් දෙකම ඕනෑ. එහෙම බලන කොට එල්ලේ ක්‍රීඩාවේ තත්ත්වය මොකක්ද?

ඇත්තටම මුදල් වගේම තමයි මාධ්‍ය අනුග්‍රහයත් ලැබිලම නෑ. එල්ලේ ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් කියලා මාධ්‍ය පවා මේ ගැන මහා ලොකුවට කතා කරන්නේ නෑ. මේක දුප්පත් ක්‍රීඩාවක් නිසා.

මේ ආකාරයට හරි අපට කතා කරන්න අවස්ථාවක් දෙන එක ගැන අප ඔබට ගරු කරනවා. එල්ලේ කියන්නේ ජව සම්පන්න ක්‍රීඩාවක්. අපේ රටේ තියෙන ජව සම්පන්නම ක්‍රීඩාවක් තමයි එල්ලේ කි‍යන්නේ. බැඩ්මින්ටන් ගත්තොත් ගෘහස්ථ ක්‍රීඩාගාරයක ක්‍රීඩා කරන්නේ. ක්‍රිකට් ගත්තොත් සුපිරිම ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරන්නේ. හැබැයි එල්ලේ එහෙම නෙවෙයි ගල් බොරලු තියෙන ක්‍රීඩා පිටිවල අඩු තරමේ සපත්තු දෙකක් පාවිච්චි කරන්නේ නෑ.

මේ ජව සම්පන්න තරුණයන්ට මාධ්‍යයෙන් මීට වඩා ලොකු සේවයක් කරන්න පුළුවන්. සමාජ අපයෝජනවලින් වළක්වා ගැනීමට මේ හරහා වැඩ සටහන් හදන්න පුළුවන්. ඒ වගේ ක්‍රීඩාවකට අත හිත දෙනවා කියන්නේ ම සමාජ වගකීමක් විදියට දකිනවා.

ජාතික එල්ලේ සම්මේලනයේ ලියාපදිංචි කණ්ඩායම් කීයක් තිබෙනවාද?

178 ක් ලියාපදිංචි වෙලා ඉන්නවා. මේ 178 ම ජාතික ශූරතාවලියට එකතු වෙලා ඉන්නවා. සැලසුම් හදලා මේ වන කොට තරග පවත්වාගෙන යනවා. එල්ලේ සම්මේලන භාණ්ඩාගාරයේ ම තිබුණේ රුපියල් 520,000/- යි. දැන් ලොකු ම ප්‍රශ්නයත් ඒක තමයි. එක වටයක තරග තියන්නත් ලක්ෂ හතකට වඩා යනවා. දැනට වට තුනක් පවත්වලා තියෙනවා. ඇත්තට ම අපි ගරු කරන්න ඕනෑ අපේ විනිසුරු සංගමයට. මම ඔවුන්ගෙන් ඉල්ලීමක් කළා ගාස්තුවක් ලබා ගන්නේ නැතුව උදව් කරන්න කියලා. තරගයකට දවසකට රුපියල් 2500ක් දෙන්න ඕනෑ.

මේ ඉල්ලීම ඉතාමත් කැමැත්තෙන් භාර අරගෙන සල්ලි ගන්නේ නැතුව අපට ක්‍රීඩාව ගැන හිතලා වැඩ කරනවා. අමාත්‍යාංශයෙන් මුදල් ප්‍රතිපාදන ලැබුණොත් ලබා දෙනවා. අපේ ඉල්ලීමට ගරු කරලා ඔවුන් කටයුතු කරන නිසා තමයි තරගාවලිය මේ තරම් දුරට පවත්වාගෙන එන්න පුළුවන් වුනේ. අනෙක් සුළු සුළු වියදම් මම කරගෙන යන්නේ. විනිසුරු මණ්ඩලයේ 100කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඉදිරියේදි විනිසුරුවරුන් ශ්‍රේණිගත කිරීමක් කරනවා.

විනිසුරු ශ්‍රේණිගත කිරීම් වගේ ම ක්‍රීඩකයන්, කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් කරනවාද?

ඔව්, අද වන විට ඔට්ටු ඇල්ලීම වසංගතයක් විදියට එල්ලේ ක්‍රීඩාවටත් බලපාලා තියෙනවා. ශ්‍රේණිගත කිරීම් කළාට පස්සේ අපි හිතනවා තරග පාවාදීම් වගේ දේවල් අඩුවෙයි කියලා. තරග පාවාදීලා පරාජය වෙන කොට ඔවුන්ගේ කණ්ඩායම පහළට යනවා. මේ දේට ක්‍රීඩකයන් වගේ ම කණ්ඩායම් කැමැති නෑ.

ඒ නිසා ජාතික ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.

එල්ලේ ක්‍රීඩාවේ සූදුවත් දැනට පොඩියට වුණත් අඩුවක් නැතුව කෙරීගෙන යනවා නේද?

ඔව්. දැනට සුළු ප්‍රමාණයෙන් තමයි මෙය කෙරීගෙන යන්නේ. වැඩි හරියක් දුප්පත් ක්‍රීඩකයෝ ඉන්නේ. කීයක් හරි දෙන්නම් කියලා මේ ක්‍රීඩාව විනාශ කරන්න හදනවා.

අපි මෙයට විරුද්ධව ගන්න පුළුවන් උපරිම ක්‍රියා මාර්ග ගන්නවා. අපේ සම්මේලනයේ අනුමැතිය, විනිසුරුවන් නැතුව පවත්වන කිසිම තරගයක් අපි පිළිගන්නේ නෑ. අපි ඒ සම්බන්ධයෙන් වග කියන්නේ නෑ.

ජාතික ශූරතාවලියේ කො‍ෙහාමද මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ?

ජාතික ශූරතාවලියේ එහෙම තරග පාවාදීමක් වාර්තා වුණොත්, අපට ලිඛිත පැමිණිල්ලක් ලැබුණොත්, විනය මණ්ඩලයකින් වැරැදිකරුවන් වුණොත් කණ්ඩායම හෝ ක්‍රීඩකයාව තරග තහනමකට ලක් කරනවා.

එල්ලේ සම්මේලනයේ ගැටලු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කරලා තියෙනවාද?

හැමදාම ඉල්ලීම් කරනවා. වාර්ෂික සැලසුම්වල තියෙනවා. අපි ඇස්තමේන්තු ලබා දීලා තියෙනවා. ඒ වුණාට ප්‍රතිපාදන කිසිම දෙයක් ලැබෙන්නේ නෑ. ඔවුන් කියන්නේ අපිට කිසිම දෙයක් ලැබිලා නෑ කියලයි. ඒ වුණාට එල්ලේ සම්මේලනයේ ඉන්න හැම කණ්ඩායමක්ම ජාතික ශූරතාව ඉල්ලනවා. ජාතික ශූරතාව පවත්වන්න බැරි නම් එල්ලේ සම්මේලනයෙන් වැඩක් නෑ. ජාතික ශූරතාවලියට අඩුම තරමේ තෑගි ටිකවත්, පන්දුවලට ක්‍රීඩාංගණවලට, විනිසුරුවරුන්ට යන වියදම් තියා අද රුපියලක්වත් ලබාදීලා නෑ.

රටේ ජාතික ක්‍රීඩාව එල්ලේ ද? වොලිබෝල් ද?

ඇත්තට ම අද මහර ගම්පහ ගත්තොත් එල්ලේ කණ්ඩායම් 600 ක් විතර තියෙනවා. වොලිබෝල් තරගාවලියක් සංවිධානය කළා ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ටීම් 30 ක් හොයා ගන්න බෑ. පාසල් එල්ලේ ක්‍රීඩාවෙන් පස්සේ ජාතික එල්ලේ ක්‍රීඩාවට අපේ දරුවෝ එන්නේ නැත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය, රජය මේ සඳහා දක්වන සහයෝගය මදි නිසයි. ඒ තුළින් රැකියාවක් හොයා ගන්න පුළුවන් නම්, ජාත්‍යන්තරයට යන්න පුළුවන් නම්, විශාල පිරිසක් මේ වටා එකතු වෙනවා.

අපි දැන් බලාපොරොත්තු වෙනවා ලංකාවේ සත්කාරකත්වයෙන් පවත්වන ඊළඟ සාග් තරගාවලියේ එල්ලේ හඳුන්වා දෙන්න. ඒ සත්කාරක රටේ වාසිය අරගෙන අලුත් ක්‍රීඩාවක් හඳුන්වා දෙන්න පුළුවන්. අපි පවතින රජයට, ජනාධිපතිවරයාගෙන් සහ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලනවා ඊළඟ සාග් තරගාවලියට එල්ලේ ක්‍රීඩාව හඳුන්වා දෙන්න කියලා.

එල්ලේ සම්මේලනයට මේ පවතින ක්‍රමය වෙනස් කරන්න හැකියාවක් වැඩපිළිවෙළක් නැද්ද?

අපි මුලින් ම කරන්න ඕනෑ දේ තමයි අපේ සුදුසුකම් ටික හදාගෙන ඉන්න එක. අපිට ව්‍යවස්ථාවක්, නීතියක් තියෙන්න ඕනෑ. මේ වගේ අපේ වැඩ ටික හදාගෙන යනවා. ඊට පස්සේ පළාත් සභාවලට මේ ටික ඇතුළු කරලා, පාර්ලිමේන්තු දක්වා ම ගෙනියනවා. ඒ වගේ ම අපිට ඉන්න තැනක් නෑ, එල්ලේ ක්‍රීඩාවේ නවාතැන වෙන්නේ පත්වන සභාපතිවරයාගේ ගෙදර. මේ තත්ත්වය වෙනස් වෙන්න ඕනෑ. අපේ ගොඩක් ලිපි ලේඛන තියෙනවා. මේවා හරියට තියා ගන්න තැනක් නෑ.

අපි ක්‍රීඩා අමාත්‍යාංශයෙන් තැනක් ඉල්ලුවා. අද වෙනතුරු දීලා නෑ. අමාත්‍යාංශය තම සංගම් සම්මේලනවලට පුංචි ඉඩක් හරි හදලා දෙන්න ඕනෑ. එහෙම දෙයක් වෙන්නේ නෑ. ඇත්තට ම ක්‍රීඩා අමාත්‍යාංශය ගැන කණගාටු වෙනවා. ඇත්තට ම ක්‍රීඩා අමාත්‍යාංශය රටේ ක්‍රීඩාවට මෙහෙමද වැඩ කරන්නේ කියලා හිතා ගන්න බෑ. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වෙන්න ඕනෑ කිසිම දෙයක් වෙන්නේ නෑ.

පළාත් සභා ක්‍රීඩා අමාත්‍යාංශය මීට වඩා ගොඩක් උඩින් තියෙනවානේ. පළාත් සභා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කරන දේවල් දකින කොට මේ අමාත්‍යාංශය මොනවාද කරන්නේ කියලා හිතෙනවා. පළාත් සභා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ එල්ලේ සම්මේලනය තිබුණා නම් මේ ක්‍රීඩාව බබළවන්නට තිබුණා. මධ්‍යම රජය යටතේ තිබෙන නිසා සත පහක මුදලක් දෙන්නේ නෑ. ඇත්තට ම අපි ඒ ගැන කනගාටු වෙනවා.

ඔබේ වැඩපිළිවෙළ මොකක්ද?

මගේ අදහස් සහ යෝජනා වැඩපිළිවෙළ අනුව තමයි ව්‍යවස්ථාව අලුත් කරලා, මහා සභාවෙන් අනුමත කර ගත්තේ. නීතිය, ක්‍රීඩකයන්ගේ විනය ආරක්ෂා කරන වැඩ පිළිවෙළට ගියේ.

එල්ලේ සඳහා හතරවන විනිසුරුවරුවකුගේ සහාය ලබා ගන්න වැඩපිළිවෙළකට යන්න බලනවා. අලුත් තාක්ෂණයත් එක්ක ලෝකය ඉදිරියට යන්නේ. දැනට විනිසුරුවන් තුන් දෙනකුගේ සේවය තමයි ලබා ගන්නේ.

එල්ලේ ක්‍රීඩකයෝ හුඟක් දුප්පත්. ගෙයක් දොරක් නෑ. ළමයින්ට උගන්වන්නට විදියක් නෑ. බඩගින්නට වේලක් කාලා ඉන්න තත්ත්වයක් තියෙන්නේ. හැබැයි මේ මොන දේ නැති වුණත් පරම්පරාගතව එල්ලේ ක්‍රීඩාව ආරක්ෂා කර ගෙන ඇවිත් තියෙනවා. ඒ නිසා මේ වන විට බස්නාහිර පළාතේ නිවාස 26 ක් හදනවා ගම්පහ දිස්ත්‍රික්කය මූලික කරගෙන. ඊළඟට පුත්තලම, කුරුණෑගල පළාත් සභා හරහා ඉල්ලීම් කරලා දිස්ත්‍රික්ක සංගම් හරහා කරන්න බලාපොරොත්තු වෙනවා. ‍‍‍‍

එල්ලේ ක්‍රීඩකයන් දිහා අමාත්‍යාංශය ඇහැක් ඇරලා බලන තත්ත්වයක් නෑ. මම දැනට බලන‍්නේ ජාතික ශූරතාව දිහා. කණ්ඩායම පුංචි රටකට හරි විදේශ සංචාරයක් යවන්න බලනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. මේ සඳහා එල්ලේ ක්‍රීඩාවට ආදරය කරන අය ඉන්නවා නම් අපට අනුග්‍රහය දක්වන්න කියලා ඉල්ලීමක් කරනවා. ජාතික ශූරතාව පවත්වා ගන්න, තෑගි ටික දෙන්න පුළුවන් උදව්වක් කරන්න කියලා ඉල්ලනවා.

ජාතික ශූරතාව දෙසැම්බර් 16 අවසන් තරගය තියන්න බලාපොරොත්තු වෙනවා, සුගතදාස ක්‍රීඩා පිටියේ. දැනට අපි ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. තවම උත්තරයක් නැහැ. එහෙම බැරි වුණොත් අපිට තියෙන වෙනත් ක්‍රීඩා පිටියක දිවා රාත්‍රී තරගයක් විදියට පවත්වනවා.

Comments