අවසන් සටනට කවුරුද තීරණය අද... | සිළුමිණ

අවසන් සටනට කවුරුද තීරණය අද...

එෆ්:ඒ: කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග අද සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. පසුගිය දෙවතාවෙදිම අඛණ්ඩව එෆ්:ඒ: කුසලාන ශූරයන් වූ යුද හමුදාව පළමු අවසන් පූර්ව තරගයේදි පොලිස් ක්‍රීඩා සමාජය සමඟ තරග වදින අතර, දෙවැනි අවසන් පූර්ව තරගයේදි සෝන්ඩර්ස් සහ කොළඹ ක්‍රීඩා සමාජය තරග කරයි.

පනස් හයවැනි වරට පැවැත්වෙන මෙවර තරගාවලියට කණ්ඩායම් 715ක් එක් විය. සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය 15 වතාවක් එෆ්:ඒ: කුසලානය දිනාගෙන ඇති අතර, පසුගිය දෙවසරේ ම ශූරයන් වූ යුද හමුදාව පස්වතාවක් ශූරයන් වී තිබේ.

යුද හමුදා කණ්ඩායම - එස්:එල්:ටි: බී කණ්ඩායම ද, පොලිස් ක්‍රීඩා සමාජය - රිනවුන් ද, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය - බන්ධනාගාර ක්‍රීඩා සමාජය ද - කොළඹ ක්‍රීඩා සමාජය - නිව්යංග්ස් ක්‍රීඩා සමාජය ද පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

පසුගිය සැප්තැම්බරයේදී ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ගැනීමත් සමග 15 වැනි ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම, මේවන විට ලබන වසරේ ජූලි 12 සිට 21 දක්වා පැවැත්වෙන එම තරගාවලියට සූදානම් වෙමින් සිටිති. ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, උතුරු අයර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව ඒ කාණ්ඩයේ තරග කරයි.

අපේ කණ්ඩායමට ලැබෙන තරග අවස්ථා අඩුයි. තරග අවස්ථා වැඩි කර ගැනීමට පියවර ගත යුතුයි.

තිලකා ජිනදාස, ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනිය කියයි.

පසුගිය ජූනි 30 වැනිදාට යාවත්කාලීන කිරීම් අනුව ලෝක දැල් පන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ, 26 වන ස්ථානයේය. ප්‍රථම ස්ථානය ඔස්ට්‍රේලියාව, දෙවැනි තෙවැනි ස්ථානවල එංගලන්තය නවසීලන්තය පසුවෙයි.

එහෙත්, සැප්තැම්බරයේ ආසියානු කුසලානය දිනා ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම "ඊට වඩා ඉහළට" යා යුතු බව තිලකා ජිනදාස සඳහන් කළාය.

"මම සිහින ලෝකයක නෙවෙයි ඉන්නේ. ඒ නිසා මම කියන්නෙ නෑ ලෝක ශූරතා තරගාවලියේ පළමු ස්ථානය ගන්නවා කියලා. මීට කලින් ඒ තරගාවලියේ කණ්ඩායම් 16 න් අපි හිමිකර ගත්තේ 14 හෝ 15 වෙනි තැන."

"ඒත් මේ පාර අපි බලාපොරොත්තු වෙනවා හොඳ ම 10 අතරට එන්න," තිලකා ජිනදාස පැවසීය.

අවසන්වරට 2015 පැවැති ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක ඔස්ට්‍රේලියාව රන්, නවසීලන්තය රිදී සහ එංගලන්තය ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකාවට එම තරගාවලියේ හිමිවූයේ අවසන් ස්ථානය එනම් 16 වැනි ස්ථානයයි. ශ්‍රී ලංකාව මූලික වටයේ තරග තුනකට ඉදිරිපත්වූ අතර එහිදී තරග තුනම පරාජය විය. මේ තරගාවලිය ආරම්භ වී ඇත්තේ 1963 දීය ශ්‍රී ලංකාව මුල්වරට තරග කර ඇත්තේ 1983 දීය.

හොඳ ම 10ට එන්නේ කොහොම ද?

ලෝකයේ හොඳ ම කණ්ඩායම් 10 අතරට පැමිණීම සඳහා තිලකා ජිනදාස මේ වන විට සැලසුම් රැසක් කෙරෙහි අවධානය යොමු කර සිටීයි.

"අපි මේ වෙනකොට කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩිකාවන් 12 දෙනාට අමතරව ලංකාවෙ ම ක්‍රීඩිකාවන් අතරින් දක්ෂයන් සෙවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරල තියෙනවා."

"ආසියානු කුසලාන ජයග්‍රහණයත් එක්ක අපිට හිටිය දක්ෂ පරණ ක්‍රීඩිකාවන් අායෙත් ක්‍රීඩාවට අවතීර්ණ වෙලා තියෙනවා. ඒ පළපුරුදු ක්‍රීඩිකාවන් එක්වන එක ලොකු වාසියක්. ඒ වගේ ම ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ කණ්ඩායම් මෙරටට ගෙනල්ලා පුහුණු තරග පවත්වන්න සැලසුම් කරලා තියෙනවා."

තර්ජිණී ශිවලිංගම්ට විකල්ප තියෙනවා ද?

ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ ජයග්‍රහණවලට විශාල වශයෙන් දායක වූ ක්‍රීඩිකාවක ලෙස පිළිගැනෙන්නේ, තර්ජිණී ශිවලිංගම්ය.

ඇය විශ්‍රාම ගත් විට එම අඩුව පිරවීම සඳහා විකල්ප ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඔවුන් පුහුණු කරවමින් සිටින බව තිලකා ජිනදාස සඳහන් කළාය.

"තර්ජිණීගේ උස නිසා එයාට පහසුයි ප්‍රතිවාදී කණ්ඩායම් සමග ක්‍රීඩා කරන්න. ඒත් ලෝකයේ දක්ෂතම කණ්ඩායම්වල ක්‍රීඩිකාවෝ ඉන්නවා එයාගේ උසට වඩා පනින්න හැකි ක්‍රීඩිකාවන්. ඒ නිසා ඔවුන් සමග ක්‍රීඩා කිරීමට මනා පුහුණුවක් අවශ්‍යයි."

ලෝකයෙන් 'එක' වෙන්න බැරි ඇයි?

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක දැල් පන්දු කණ්ඩායම් අතර පළමු ස්ථානයට ළඟා වීමට අපහසු වීම සඳහා ගැටලු කිහිපයක් බලපා ඇතැයි තිලකා ජිනදාස පෙන්වා දුන්නාය.

"අපේ කණ්ඩායමට ලැබෙන තරග අවස්ථා අඩුයි. තරග අවස්ථා වැඩි කර ගැනීමට පියවර ගත යුතුයි"

ඇය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකයේ හොඳ ම කණ්ඩායම් 10 අතරට පැමිණියහොත් වැඩි තරග අවස්ථා හිමි වනු ඇති බවය.

ඊට අමතරව, විදෙස් කණ්ඩායම් ශ්‍රී ලංකාවට ගෙන්වා තරගාවලි පැවැත්වීමට ද සැලසුම් කරන බව ඇය පැවසුවාය.

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 16 වන්නේ, නවසීලන්තය, මලාවි, බාබඩෝස්, සිංගප්පූරුව, ජැමෙයිකාව, දකුණු අප්‍රිකාව, ට්‍රිනිඩෑඩ් සහ ‍ෙටාබැගෝ, ෆීජි, එංගලන්තය, උගන්ඩාව, ස්කොට්ලන්තය, සමෝවා, සිම්බාබ්වේ, ඔස්ට්‍රේලියාව, උතුරු අයර්ලන්තය සහ ශ්‍රී ලංකාවයි.

 

Comments