ඉම්රාන් ඛාන්ගේ අභියෝග පහ | සිළුමිණ

ඉම්රාන් ඛාන්ගේ අභියෝග පහ

"අගමැති ඛාන් ඉකුත් සතියේදී චීන සංචාරයකද නිරත විය. ගෙවුම්ශේෂ අර්බුදයෙන් ගොඩඒමට උපකාරී වීමට එහිදී චීනය පොරොන්දු වූ බව පාකිස්තාන මුදල් අමාත්‍යවරයා පවසා සිටියේය. අමෙරිකානු ඩොලර් බිලියන 12ක් වන එම පරතරයෙන් ඩොලර් බිලියන 6ක් පියවා ගැනීමට සවුදි අරාබියද, ඉතිරි අඩ පියවා ගැනීමටචීනයද ඉදිරිපත් වී ඇතැයි ඇමතිවරයා පවසා තිබේ"

වෙනසක් කරන බව පවසමින් පාකිස්තානයේ බලයට පත් හිටපු ක්‍රිකට් නායක හා තරික් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන්ගේ පාලනයේ පළමු දින සියය ගෙවී යෑමට තවත් ඇත්තේ දින 10ක කාලයක් පමණි. ඕනෑම පාලකයකුගේ පාලනයක් සම්බන්ධයෙන් පළමු දින 100 යනු ඉදිරිය පිළිබඳ කිවහැකි දර්ශනයක් බඳුය.

පාකිස්තානයේ නව අගමැතිවරයා ඉදිරිපිට ඇති ප්‍රමුඛ අභියෝග පහ ගැන අවධානය යොමුකරන දේශපාලන විශ්ලේෂකයෝ පළමුව දකින්නේ ආර්ථික අභියෝගයයි. එය කොපමණද යත් අගමැති නිල නිවසේ ඇතිකළ වටිනා කිරි ගවයන් කිහිපදෙනෙකු පවා විකුණා දැමීමට අගමැති ඉම්රාන් ගත් තීරණයෙන් පැහැදිලි වේ. සෙසු අභියෝග අන්තවාදය, ජනගහන වර්ධනය, ජල හිඟය, සිවිල් පාලනය යනාදිය වේ. ඒ සියල්ල පළමු අභියෝගය සමග සම්බන්ධව පවතින්නේය.

විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ අන්තවාදයට හේතු වූ මූලයන් පකිස්තානය තවමත් මුලින් උපුටා දමා නැති බවකි. එබැවින් වරින්වර තවමත් ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට මුහුණ දීමටද පකිස්තානයට සිදුවී තිබේ. මැතිවරණ සමයේ දී එරට ඉතිහාසයේ දෙවැනි දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරයද වාර්තා විය. එම වකවානුවේදී වාර්තා වූ ජීවිත හානි 200 ඉක්මවීය.

පාකිස්තානය යනු කලාපයේ වැඩිම උපත් අනුපාතයක් වාර්තා වන රටකි. මේ වන විට ජනගහනය මිලියන 207ක් පමණ වේ. එරට ස්වාභාවික සම්පත් වර්ධනය වන ජනගහනයට ප්‍රමාණවත් නොමැති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

වසර 2025වනවිට එරටට උග්‍ර ජල හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇතැයිද මත පළවී තිබේ. දැනටමත් ජල හිඟය ප්‍රබල ප්‍රශ්නයක් වී තිබේ. ඊට මුහුණ දීමට ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේ යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබේ. ‘ගස් බිලියනයේ සුනාමිය‘ යනුවෙන් නම් කර ඇති රුක් රෝපණ වැඩසටහන ඒ අතරින් එකකි.

නිදහසින් පසු ගෙවී ගිය වකවානුවෙන් අඩක්ම පාකිස්තානය ගත කර ඇත්තේ හමුදා පාලනය යටතේය. එය වසර 71ක් පමණ වේ. පළමු වරට ප්‍රජාතන්ත්‍රවාදීමය බල වෙනසක් සිදුවූයේ 2013 තරම් මෑතදීය. ඉන් පසුවද කුමන්ත්‍රණ ප්‍රයත්න වාර්තා වී තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇති පැකේජය පිළිබඳව මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතී. එම සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ අගමැති ඛාන් කැබිනට් මණ්ඩලය දැනුම්වත් කළේ මීට දින කිහිපයකට ඉහතදීය. ජනතාව මුහුණ පා සිටින දුශ්කරතාවන්ට පිළියම් යෙදීම සඳහා ක්‍රියාත්මක විය යුතු බවට එහිදී අගමැතිවරයා සිය පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු සාමාජිකත්වයෙන් ඉල්ලා සිටි බව සඳහන් විය.

අන්තර්ජාතික සබඳතා ශක්තිමත් කර ගැනීම ගැන අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුව තිබියදී පකිස්තානයට ආර්ථික ආධාර ලබාදීමට සූදානම් බව චීනය ප්‍රකාශ කර ඇත. අගමැති ඛාන් ඉකුත් සතියේදී චීන සංචාරයකද නිරත විය. ගෙවුම්ශේෂ අර්බුදයෙන් ගොඩඒමට උපකාරී වීමට එහිදී චීනය පොරොන්දු වූ බව පාකිස්තාන මුදල් අමාත්‍යවරයා පවසා සිටියේය. අමෙරිකානු ඩොලර් බිලියන 12ක් වන එම පරතරයෙන් ඩොලර් බිලියන 6ක් පියවා ගැනීමට සවුදි අරාබියද, ඉතිරි අඩ පියවා ගැනීමට චීනයද ඉදිරිපත් වී ඇතැයි ඇමතිවරයා පවසා තිබේ. අගමැති ඛාන් ඉකුත් මාසයේදී සෞදි අරාබියේ සංචාරයක නිරත වූයේය. මේ ආධාරවලට අමතරව සිය දිගුකාලීන ආර්ථික සැලසුම් සාක්ෂාත් කර ගැනීම සඳහා රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂා කරන බව පාකිස්තාන මුදල් අමාත්‍යංශය සඳහන් කර තිබේ. ඉකුත් බදාදා අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් එරටට ළඟාවූ අතර ඉදිරි ක්‍රියාදාමය ගැන ඔවුහු සලකා බලමින් සිටිති.

උද්දමනය විශාල ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක ජනතාවගෙන් එල්ල විය හැකි පීඩනය සමනය කර ගැනීමටද අගමැති ඛාන්ට සිදුවනු ඇත. ගෙවුම් ශේෂය පියවා ගැනීමට අමතරව චීනය දැනටමත් යටිතල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතියක් සඳහා අමෙරිකා ඩොලර් බිලියන ගණනක් ලබා දී ඇත.

ඉස්ලාමාබාද් නුවර කේන්ද්‍ර කර ගනිමින් නව සංවර්ධන සැලැස්මක් ක්‍රියාවට නැංවීමටද පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. නගරය සැලසුම් කෙරුණේ ලක්ෂ 6කට පහසුකම් ප්‍රමාණවත් පරිදි වුවද දැනට එහි ලක්ෂ 20ක් සිටින බව ඔහු විසින් පෙන්වා දී ඇත. ගතවූ දශක දෙක තිස්සේම විධිමත් සැලැස්මක් ඔස්සේ නගරය සංවර්ධනය වී නොමැත.

මේ අතර හිටපු ක්‍රිකට් නායකයකු වන සහීඩ් අෆ්රිඩිද පාකිස්තානයේ වත්මන් තත්ත්වය පිළිබඳ ලෝකයේ අවධානය යොමුවන අන්දමේ ප්‍රකාශයක් සිදුකර ඇත. ඔහු සඳහන් කරන්නේ සිය ප්‍රාන්ත හතරවත් නිසි අන්දමින් කළමනාකරණය කර ගැනීමට අසීරු පාකිස්ථානයට කාශ්මීරය අවශ්‍ය නැති බවයි. අෆ්රිඩි කළ මේ ප්‍රකාශය ආන්දෝලනයට තුඩු දී ඇත. පසුව තමන් පැවසූ දේ පිළිබඳ පැහැදිලි කිරීමට ට්වීටර් පණිවිඩයක් තැබීමටද අෆ්රිඩිට සිදුවිය.

කෙසේ වුවද ඉම්රාන් ඛාන්ට ගොඩනැගීමට සිදුවන්නේ අමෙරිකාව ඇතුළු ධනවාදය විසින්, මුස්ලිම් අන්තවාදයේද උපකාරයෙන් බිමටම සමතලා කරන ලද රාජ්‍යයකි. අතීතයේ අභ්‍යවකාශ තරණයට ඔන්න මෙන්න කියා සිටි, එමෙන්ම න්‍යෂ්ටික බලය උත්පාදනය කිරීමේ මුල් අදියරේ ගමන් ගනිමින් සිටි රටක් මෙලෙස එදා වේල හිඟ කන රටක් බවට පත්වූයේ කාගේ වරදින්දැයි අමුතුවෙන් සෙවිය යුතු නොවේ. තම රට ගොඩ නැගීම වෙනුවෙන් කවුරුන් කෙරෙහි විශ්වාසය තැබිය යුතුදැයි නිශ්චය නොවන තරමට එරට ජනතාව කැලඹීමට පත්ව සිටියේ වරින් වර බලයට පත් වූ ප්‍රධාන පක්ෂ දෙකේම නායකයෝ එකාවන්ව අසමත් වීම හේතුවෙනි. ඒ අතර දේශපාලන නායකයන්ගේ නම්වලට ඉදිරියෙන් ලියැවුණු ගසාකෑම්, කොමිස් ගැනීම් සහ වංචා දූෂණද විශාල සංඛ්‍යාවක් විය. දැන් ඔවුන් තුන්වැනි බලවේගයක් ලෙස වරක් තම රටට ලෝක කුසලානය පවා ලබා දුන් ක්‍රිකට් නායකයා කෙරෙහි විශ්වාසය තබා තිබේ. ක්‍රිකට් තරගයක් වුවද ජයගැනීම එතරම් පහසු නැත. විශේෂයෙන්ම ප්‍රතිවාදියා ශක්තිමත් නම් එය එසේමය.

දැන් ඉම්රාන් ඛාන් යනු අභියෝග බාර ගැනීමට සමත් ශක්ති සම්පන්න නායකයෙක් ලෙස එරට ජනතාව තීරණය කර තිබේ. එහෙත් වර්තමානයේ ඔහු මුහුණ දී සිටින අභියෝගය ලෝක කුසලානයක් දිනා ගැනීම තරම් පහසු නොවන බව නම් කිව යුතුමය. පාකිස්තානයේ සෙසු රාජ්‍ය නායකයන් අතරින් ඉම්රාන් ඛාන්ට හිමිවන තැන අනාගතය තීරණය කරණු ඇත.

Comments