මහ මැතිවරණයක් අවශ්‍යයි! | Page 3 | සිළුමිණ

මහ මැතිවරණයක් අවශ්‍යයි!

වර්තමානයේ රට තුළ ඇතිව තිබෙන අරාජික තත්ත්වය නිම කිරීම පිණිස ජනතාවට කැමැති මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් මහ මැතිවරණයකට යාම අත්‍යවශ්‍ය බව මහා සංඝරත්නය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රමුඛ විද්වත්හු අවධාරණය කර සිටිති. ඕනෑම රටක වඩාත් උත්තරීතර වන්නේ ජනතා පරමාධිපත්‍ය බව පෙන්වා දෙන ඔවුහූ ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් ඔවුන් කැමැති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඉඩ සැලසිය යුතු බවත් පෙන්වා දෙති.

වර්තමාන දේශපාලන අරාජිකත්වයට මූලිකම වගකිවයුත්තා කතානායකවරයා බව පෙන්වා දෙන ඔවුහූ කතානායකවරයාගේ ක්‍රියාකලාපය නිසා රට අස්ථාවර වන තත්ත්වයට පත්ව ඇතැයි පෙන්වා දෙති. ජනාධිපතිවරයා මේ මොහොතේ කළ යුත්තේ වහාම මහ මැතිවරණයක් කැඳවා මහජනයාට තමන් කැමැති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවකාශ සැලසීම බව මේ පිළිබඳව අදහස් දක්වමින් පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියන් සහ දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් හා ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ පෙන්වා දෙති.

ජනතාවට මේ වන විට යහපාලන ආණ්ඩුව තිත්ත වී ඇති බවත් දැන් අවශ්‍ය වී ඇත්තේ මහ මැතිවරණයක් බවත් උන් වහන්සේ පැවසූහ.

සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පවසන්නේ මේ දේශපාලන අස්ථාවර බව ඉවත් කිරීමට නම් කළ යුතු එකම විසඳුම මහා මැතිවරණයක් පැවැත්වීම බවයි.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය,ආචාර්ය මාලක රණතිලක මහතා පෙන්වා දුන්නේ රටේ පාලකයා මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගැනීමට ජනතාවට ඇති අයිතිය වෙනුවෙන් පාර්ලි‍මේන්තුවේ ගැටුම් ඇති කර නොගෙන ගෙන ජනමතයට ඉඩ දිය යුතු බවයි. මේ තත්ත්වය මත රට අන්තර්ජාතික වශයෙන් රට අස්ථාවර වීමට ඉඩ ඇති බවත් ඒ සඳහා කටයුතු නොකළ යුතු බවද ඒ මහතා කීය.

Comments