කල් ඉකුත් ව‍ූ ටයර් වෙළෙඳපොළේ | Page 3 | සිළුමිණ

කල් ඉකුත් ව‍ූ ටයර් වෙළෙඳපොළේ

මෝටර් රථ යතුරු පැදි හා පාපැදි ආදී වාහන යොදාගැනෙන ටයර් සඳහා කල් ඉකුත් වීමේ දිනයක් සඳහන්ව තිබුණ ද ඇතැම් කූට ව්‍යාපාරිකයන් එය වසන් කරමින් කල් ඉකුත් වූ හා කල් ඉකුත් වීමට ආසන්න ටයර් නිෂ්පාදන ද අලෙවි කරන බව වාර්තා වේ‍.

මේ වන විට මෙරට ටයර් වෙළෙඳපොළ තුළ දේශීය ටයර් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන සියයට 60ක් හා ආනයනික ටයර් නිෂ්පාදන සියයට 40ක් ලෙස අලෙවියට ඇති අතර, එම ටයර් අලෙවියේ යෙදී සිටින ඇතැම් ව්‍යාපාරිකයන් පාරිභෝගිකයන් මුළා කොට කල් ඉකුත් වූ ටයර් පමණක් නොව ප්‍රමිතියෙන් බාල ටයර් නිෂ්පාදන ද අලෙවි කරන බව පාරිභෝගිකයන් රැසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ද පැමිණිලි කර තිබේ.

අ‍ප මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්‍.එම්. ෆවුසර් මහතාගෙන් විමසා සිටි අතර එහිදී ඔහු පැවසුවේ කල් ඉකුත්වූ, හා කල් ඉකුත් වීමට ආසන්න හා තත්ත්වයෙන් බාල ටයර් වෙළෙඳපොළ තුළ අලෙවි කරන බවට තම අධිකාරිය පසුගිය කාලය තුළ සිදු කළ වෙළෙඳපොළ අධ්‍යයන කීපයකදී ද තහවුරු වූ බවයි.

එවැනි ටයර් යොදා ගෙන වාහන ධාවනය නිසා මාරක රිය අනතුරු රැසක් සිදුව ඇති බවත්, සඳහන් කළ ඒ මහතා ධාවනයට සුදුසු, ප්‍රමිතියෙන් යුත් කල් ඉකුත්වීමේ දින සඳහන් ටයර් මිලදී ගැනීමට පාරිභෝගික ජනතාව ද උනන්දු විය යුතු බව සඳහන් කෙළේ ය. ප්‍රමිතියෙන් යුත් ටයර් නිෂ්පාදිත දිනයේ සිට වසර හතරක් කල් ඉකුත්වීමේ දිනය සඳහන් වන අතර ටයර් මිලදී ගන්නා බොහෝ පාරි‍භෝගිකයින්ට එවැනි කල් ඉකුත්වීමේ දිනයක් පිළිබඳ ව අවබෝධයක් නොමැති බව වාර්තා වේ.

Comments