මුරලිට සිහිබුද්ධියෙන් සවන් දෙමු | Page 2 | සිළුමිණ

මුරලිට සිහිබුද්ධියෙන් සවන් දෙමු

ලොව ක්‍රිකට් පෙළප‍තේ අග්‍රඵලය මුරලි යැයි විරුදාවලිය ලැබුවේ වරක් දෙවරක් නොවේ. එමෙන් ම මුරලි ක්‍රිකට් පෙළපතේ පුරා වෘත්තයක් වූයේ ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ කඩුලු 800 සීමාවට පැමිණීමත් සමඟමය. මේ ආකාරයේ ලාංකේය හදවත් වරින්වර ඉතා දැඩි ආකාරයෙන් වැලඳ ගත් මුරලි නැවතත් කරළිගත වූයේ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් හමුවේදීය. මුරලි එහිදි කරළිගත කළ සමස්ත කතාවෙන් කොටස් කිහිපයක් අල්ලා ගත් මෙරට මජර දේශපාලන ක්‍රමයේ තක්කඩියන් කිහිපදෙනකු නිර්වචන ඉදිරිපත් කිරීමට වෙර දැරුවද එහි සමස්ත කතාව ම එක මිටකට ගත් විට මෑත ඉතිහාසයේ සංගා කොලින් කවුඩ්රි දේශනයේදී දැක්වූ අදහස්වලට පසුව ලාංකිකයන් පිළිබඳ දැක්වූ ඉහළ ම මට්ටමේ තලයේ කතාව බව බැහැර කළ නොහැකිය.

මුරලිගේ මෙකී අදහස් දැක්වීම තුළ මුලින් ම කියැවෙන්නේ තමන්ගේ අත්දැකීම් බව නොරහසකි. මන්ද මුරලි මෙවැනි කතාවක් කළ ප්‍රථම වතාව මෙය නොවන බැවිනි. මම සිහින ලෝකවල ජීවත් වෙන්න කැමැති කෙනෙක් නෙවෙයි. මමත් ඔයා වගේ ම මේ මහා පොළොවේ පය ගහලා ජීවත්වෙන විදියට ජීවත් වෙන්න තමයි කැමැති.

ඒ වගේ ම වැඩ කරන කොට නම් සියයට සියයක් ම ඒ දේ හරියට කරනවා. ක්‍රිකට් විතරක් නෙවෙයි ඕනෑම දෙයක් හරියට කරන්න. බැරි නම් නවත්තලා දාලා පැත්තකට ඉන්න එක තමයි හොඳම දේ.

මම මුත්තයියා මුරලිදරන් ම තමයි. නැත්නම් මුරලි. මම කවදාවත් ජාතිබේද, කුලබේද හෝ පාට ප්‍රශ්නයක් කරගෙන නැහැ. ‍කර ගන්නෙත් නෑ. මම මේ ලෝකයේ හැම කෙනෙකුට ම සලකන්නේ මනුෂ්‍යයන් විදියටයි.

මට කවුරු හරි හිරිහැරයක් කළා වුණත් මම ඒ දේවල් ගණන් ගන්නේ, ප්‍රශ්නයක් කර ගන්නෙත් නෑ. මේ වගේ දේවල් තව කෙනෙක් තව කෙනෙකුට කරන්නේ අනෙකාට තියෙන බය නිසා කියලා මම නම් විශ්වාස කරන්නේ. ඒ ඔවුන්ගේ දුර්වලකම් - මෝඩකම් වහ ගන්න කරන දේවල් විදියටයි මම දකින්නේ. ඒ නිසා මම මෝඩයෙක් වගේ මේ දේවල්වලදි කටයුතු කරලා ප්‍රදර්ශන භාණ්ඩයක් වෙන්න ආසා නැහැ. (2009.05.01 ක්‍රීඩා)

මම ආසියාතික කල්ලෙක් වීම, දෙමලෙක් වීම අවුලක් කරගෙන නැහැ. අවුලක් කර ගන්නෙත් නැහැ. අපි ඔළුව පාවිච්චි කරලා ඍජුව වැඩ කරන තාක් කල් අපිව වට්ටන්න කාටවත් බැහැ. අපි සමාජයක් එක්ක කොයි තරම් නිරවුල්ව කටයුතු කරනවද කියන එකත් එක්ක තමයි හැම දෙයක් ම රැඳිලා තියෙන්නේ. අපේ සමාජ ගනුදෙනුව හොඳයි නම් ප්‍රශ්න මතු වෙන්නේ නැහැ.

මවුපියන්ගේ ගති ගුණ අනිවාර්යයෙන් ම අපේ ජීවිතත් එක්ක බැඳිලා තියෙනවා. මම ලෝකයාට ආදරය කරන්න පටන් ගත්තේ අම්මාගෙන්, විශේෂයෙන් 1977 දි එතකොට මම පොඩියි.

සුළු පිරිසකගේ අඩන්තේට්ටම්වලට ලක්වෙලා අපේ ලකී ලෑන්ඩ් බිස්කට් ආයතනය සම්පූර්ණයෙන් ම විනාශ වෙලා තියෙනවා. ඒ කාලයේ හැටියට ලක්ෂ 8 - 10 ක් විතර අපේ තාත්තාට පාඩුවෙලා. ඇඳිවත පමණක් ඉතුරු වෙලා තියෙද්දි, අපේ අම්මා තාත්තාට පුදුම ධෛර්යයක් ලබා දීලා තියෙනවා. අපි කොහොම හරි නැගිටින්න ඕනෑ කියලා. ඒ වගේ පුදුමාකාර ධෛර්යයක් තිබුණු කෙනෙක් තමයි අපේ අම්මා.

අපිට පේන්න අඬන්නේ නැතුව සෑම දුකක් ම විඳ දරා ගෙන තමයි මාවයි මල්ලිලා තුන්දෙනාවයි මේ තත්වයට ගෙනත් තියෙන්නේ. තාත්තාත් ඒ වගේ ම තමයි ලෙහෙසියෙන් පරාජයක් බාර ගන්න කැමැති නැති, කෙලින් වැඩ කරන, කතා කරන මොන හේතුවකටවත් ශ්‍රී ලංකාව දාලා කොහේවත් යන්න අකැමැති මෙන් මේ වගේ ගතිගුණ තමයි මම තාත්තාගෙන් ඉගෙන ගෙන තියෙන්නේ.

හොඳ යහ ගුණයෙන් පිරුණු පාලනයක් සහිත සමාජයක් සහ ලෝකයක් තමයි මගේ එකම ප්‍රාර්ථනාව. යුද්ධය අවසන් වෙලා අපේ රටේ කිසි ම ප්‍රශ්නයක් නැති විදියට අපි කාටත් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් තමයි මං සමාජයෙන් බලා‍පොරොත්තු වෙන්නේ. මම ශුද්ධ දෙමළෙක්. ගියේ සිංහල ඉස්කෝලෙට. හොස්ටල් එකේ තනිකරම හිටියේ සිංහල ළමයි. මට කිසි ප්‍රශ්නයක්, හිරිහැරයක් වුණේ නැහැ. ඒ වගේ ලෝකයක්, තමයි මම සමාජයෙන් ප්‍රාර්ථනා කරන්නේ. (2009.05.15 ක්‍රීඩා)

මුරලිගේ කතාව සමාගජත කළ යුතුව තිබුණේ තම තමන්ට ඇවැසි තැන් වලින් කොටස් කඩා ගෙන නොව, ලාංකිකයන් වශයෙන් අප සියලු ම දෙනා ම මුල සිට අගට ප්‍රාමාණික තලයේ තබා අධ්‍ය්‍යනය කිරීමෙනි. සිහි බුද්ධියෙන් එකී කතාවට සවන් දීමය. නමුත් අද සිදුවන්නේ බොහෝ දෙනා තම තමන්ට වාසි තැන්වලින් එකී කතාව කපා කොටා ගෙන උඩ දැමීමය. නැවතීමේ තිත තැබිය යුත්තේ ද මේ දේටමය. මුරලි සිය කතාවේ මූලිකව ම මතු කරන්නාවූ කරුණ වන්නේ උතුරේ මෙන් ම දකුණේ ‍ෙද්ශපාලකයන් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර වෙනත් කරුණු ගැන අවධානය යොමු කිරීම ගැටලුවක් බවයි. එය සත්‍යයකි. උතු‍ෙර් මෙන් ම දකුණේ දේශපාලකයන් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් මජර ක්‍රමය ඉදිරියට ගෙන යන විට ජනතාවගේ මූලික අවශ්‍යතා පසෙකට විසිවීම අරුමයක් නොවේ.

මුරලි ම ප්‍රකාශ කරන පරිදි මුරලිලාට 1977 දී ඇඳිවත පමණක් ඉතිරිවී ඇත්තේ පැවැති දේශපාලන ක්‍රමයේ මජරකම ඉහවාගිය බැවිනි. මුරලි ප්‍රකාශ කරන පරිදි මිනිස්සු මට බනියි, මේකට ප්‍රජාතන්ත්‍රවාද අයිතීන් නීතිය වගේ දේවල් පස්සට දැමීම ගැන. පාර්ලිමේන්තුවට ඒ පළාත්වලින් නියෝජිතයෝ යවලා මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න කියලා ඉල්ලන්නේ නෑ. ඔවුන් අහන්නේ කෝ තුන්වේල කන්න සහ අධ්‍යාපනය වගේ දේවල්.

තේ කෝප්පයක රස විවිධ අයුරින් විඳින අපි සීතල කඳුකරයේ මෙන් ම දකුණේ කුඩා තේවතුවල සේවක සේවිකාවන්ගේ දුක්ගැහැටවලට කොතරම් නම් සංවේදී වී ඇත‍්තෙමු ද? පසුගියදා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් කරන ලෙස ඉල්ලා ගාලු මුවදොරට ආ පිරිසට උත්තරයක් ලබාදීමට සංවේදී වූයේ කවුරුද? මේවා සංවේදි නායකයන්, දේශපාලකයන් විසඳා ගෙන යා යුතු ගැටලු මිස මඟ හැර යා හැකි ගැටලු නොවේ.

මුරලිගේ පියාට ඇත්තේ ද මෙවන් අත්දැකීමකි. “1977 දී අපට අඩම්තේට්ටම් වුණා. අපේ ව්‍යාපාරය සම්පූර්ණයෙන් ම විනාශ වුණා. ඇඳිවත පමණක් ඉතුරු වෙද්දි, හුඟක් දුක් විඳලා මහන්සි වෙලා තමයි හෙමින් හෙමින් නැගිට්ටේ. විශේෂයෙන් මේ දේත් කියන්න ඕනෑ. මේ අපරාධය කළේ ගමේ මිනිස්සු නෙවෙයි. පිටින් ආපු සිංහල ජාතිකයන් සුළු පිරිසක් තමයි.

83 ජූලි කලබලවලදි මේ ආයතනයේ වැඩ කරන සේවක - සේවිකාවන්ගේ අම්මලා - තාත්තලා, සහෝදර සහෝදරියන් පවුල් පිටින් ඇවිත් නවාතැන්ගෙන ඉඳලා තමයි මේවා ආරක්ෂා කරලා දුන්නේ. නැත්නම් 77 ට වඩා ලොකු විනාශයක් වෙනවා. අද මගේ ආයතනයේ සිංහල ජාතිකයන් 90% ක් වැඩ කරන කොට දෙමළ ජාතිකයන් ඉන්නේ 10% ක් කිව්වොත් කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ.

ඉංග්‍රිසිකාරයෝ තමයි අපේ අම්මා තාත්තා ඉන්දියාවේ ඉඳලා තේවතුවල කුලී වැඩ කරන්න ලංකාවට ගෙනත් තියෙන්නේ. මගේ තාත්තා සින්නසාමි. නැතිවෙන කොට අවුරුදු 101 යි. ලංකාවේදි ම තමයි නැති වුණෙත්. අම්මා අංගමාල්. අපේ පවුලේ සහෝදරයෝ ම හත් දෙනයි. මම ඉපදුණේ හැටන් මස්කෙළියේ. මුරලිගේ අම්මා අපේ නෑ කෙනෙක් වෙනවා. ඒ සම්බන්ධතා උඩ තමයි අපි කසාද බැන්දේ. අයියා තමයි 1964 දි ලකීලෑන්ඩ් බිස්කට් ආයතනය පටන් ගත්තේ.

මේවා දරුවෝ දැන ගන්න ඕනෑ. එහෙම නොවුණොත් මේවා ගැන ඒ අයට වැටහීමක්, හැඟීමක් නැති වෙනවා. පුතාලා හතර දෙනා ම මේ හැම දෙයක් ම ඔළුවේ තියා ගෙන තමයි වැඩ කරන්නේ කියලා මම දන්නවා.” (2007.12.15 ක්‍රීඩා)

තමා ක්‍රීඩකයකු ලෙස ක්‍රිකට් පිටියේ දස්කම් දක්වන විට මුළු රට ම එකාවන්ව තමන්ට සහයෝගය ලබාදුන් බව පවසන මුරලි රටේ ජනගහනයෙන් 80% ක් සිංහල බෞද්ධයන් බවද, කොතරම් නෑ කීවද තමන් ඇතුළු පිරිස සුළු ජාතිකයන් බව ද ප්‍රකාශ කරයි. උතුරේ දේශපාලකයන් උතුරට දේශපාලන විසඳුමක් ඇවැසි බවට නඟන තර්කය හමුවේ මුරලි ප්‍රශ්න කරන්නේ උතුරට එවන් විසඳුමක් ඇවැසි මන්ද යන්නයි.

අතීතයේ දෙපැත්තෙන් ම වැරැදි සිදු වුණා. මම කියන්නේ නැහැ සිංහල මිනිස්සු ඔක්කෝම වැරැදියි කියලා. ඒකේ 5% ක් විතර දේශපාලන ගේම්වල අයුතු ප්‍රයෝජන ගත්තා. ඒකෙන් මුළු රටේ ම ප්‍රශ්න ඇති වුණා. ඊට පස්සේ ප්‍රභාකරන් හැදුවා දෙමළ මිනිසුන් ගැන පෙනී සිටින්න. ඒක ඉස්සෙල්ලා කළා. පස්සේ එයත් මිනී මරන්න පටන් ගත්තා. එයා ත්‍රස්තවාදියෙක් වුණා යැයි වැඩිදුරටත් පවසයි.

Comments