හොරකමේ ගොස් හත්පොළේ ගා ගත් ක්‍රිකට් හොරු | Page 3 | සිළුමිණ

හොරකමේ ගොස් හත්පොළේ ගා ගත් ක්‍රිකට් හොරු

''ගිණුම් ජිල්මාට් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හොඳට හුරු පුරුදුය. අදාළ වංචා කිරිමේ සිද්ධියත් සමඟින් වාර්තා වුයේ මෙක්සිකෝවේ බැනමැක්ස් නැමැති බැංකුව ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය අංශය විසින් රුපියල් මිලියන 93.3 ක මුදලක් මාරු කිරීමට අවශ්‍ය ලිපි ලේඛන සකස් කර ඇති බව ය. මේ තොරතුරු අනාවරණය වන්නේ උක්ත පරීක්ෂණය අතරය''

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබෙන ඩොලර් මිලියන ගණන් සල්ලි එහෙට මෙහෙට ඇද කෝටි ගණන් මාසිකව පොලිය උපයා ගන්නා රජ හොරුත් ශ්‍රී ලංකාවේ සිටිති. හොරකමේ ගොස් සල්ලි හොයන මේ කම්බ හොරුන් විකුණා දමන්නේ රටත් ක්‍රිකට් ක්‍රීඩාවත් යන දෙකමය. අප මේ වනවිට දකිමින් ඇත්තේ ලංකාවේ ක්‍රිකට් හොරු සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවම නන්නත්තාර කර ඇති ආකාරය ය.

ක්‍රිකට් වෙත එන සල්ලි එක් පැත්තකින් ක්‍රිකට් පරිපාලනයේ ඉහළ ශ්‍රේණිවල ඉන්නා අලජ්ජීහු සූක්ෂම ලෙස ගිල ගනිති. මේ පුටුවල වැජඹෙන්නෝ මාසිකව ලක්ෂ ගණනින් වේතන ලබන්නෝය. අනෙක් පැත්තෙන් ක්‍රිකට් ක්‍රීඩාව බුකියට උකස් තබන තවත් ක්‍රීඩකයන් සහ නිලධාරීන් පිරිසක් වේ. මේ සියල්ලන්ම එක්ව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැත්තටම නැති කරමින් සිටින බව දැන් පරීක්ෂණවලින් තහවුරු වෙමින් තිබේ. මේ අතරින් තවමත් අල්ලා ගැනීමට හැකිවූයේ එක් හොරෙක් පමණි. දැන් අත්අඩංගුවට පත්වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා වූ දිසානායකය. මේ එකවුන්ටන් දැන් ඉන්නේ සී.අයි.ඩී අධීක්ෂණයේය.

ක්‍රිකට් එකවුන්ටන්ව හසුවීමත් සමඟ තවත් තිදෙනකු එම හොරකම අස්සේ සිටින බවට සී.අයි.ඩී.යට තොරතුරු අනාවරණය වෙමින් තිබේ. එම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 11.1 කි. අදාළ මුදල වංචා කිරීමට අනුබල දුන් සාමාජිකයන් තිදෙනා තිලංග සුමතිපාලගේ සභාපතිත්වයෙන් යුත් හිටපු ක්‍රිකට් කමිටුවේ සේවය කළ ප්‍රධානීන් බවද වාර්තා වේ. රහස් පොලිසිය මගින් හෙළිකරගත් තොරතුරු අනුව රූපවාහිනී අයිතියේ මුදල් හුවමාරු කිරීමට සකස් කර තිබී ඇත්තේ වෙනස් ක්‍රමවේදයකි. ඒ සඳහාම මේ පිරිස හොංකොං හි හැන් ෂෙන්ග් බැංකුවේ ගිණුමක් අරඹා තිබේ.

අදාළ වංචාව සඳහා වූ මුළු මුදල ඇ.ඩො. 11,128,809 ක් වැනි විශාල අගයකි. එය ලංකාවේ මූල්‍ය විගණනයන්ට හසුනොවන සේ හොංකොං හි තැන්පත් කිරීම සඳහා මේ සාමාජිකයන් තිදෙනා විසින් සුපිරි ප්ලෑනක් සකස් කර තිබේ. නමුත් මේ වන විට කර මුලටම හසුව සිටින්නේ දිසානායක එකවුන්ටන් පමණි. ඔහු දැනට පැය විස්සකට අධික වේලාවක් සී.අයි.ඩී යට කට උත්තර දී තිබේ. එහිදි සී.අයි.ඩි.ය විසින් අනෙකුත් හිටපු ක්‍රිකට් ලොක්කන් තිදෙනකු පසුපස හඹා යනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.

2017 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවේ සිටි ක්‍රිකට් බඩු භාණ්ඩ ආයතනයක පුද්ගලයකුද මේ වංචාවට සම්බන්ධව ඇතැයි තොරතුරු අනාවරණය වෙමින් තිබේ. නමුත් එහි මුල අග තවම හරියට ගළපා ගැනීමට බැරිය. ඒ තවමත් මෙම වංචාවේ මහ මොළකරු ඇතුළු ඊට අතගැසූ පුද්ගලයන්ව අත්අංඩගුවට ගැනීමට නියමිතව තිබෙන බැවිනි. ඉදිරි සතියේදී ඒ බව පැහැදිලිව දැන ගැනීමට හැකිවන්නේ දිසානායක එකවුන්ටන්ගේ තොරතුරු හරහාය.

මූල්‍ය අංශයේ හොරකම අතේ පත්තුවීමෙන් ඔවුන් පළමුව කළේ තමන් ඒ සඳහා භාවිතා කළ විද්‍යුත් ලිපිනය වෙනස් කර දැමීමය. නමුත් තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ඇතිව එම මකා දැමූ විද්‍යුත් පණිවුඩ ලබා ගැනීමට හැකියාවක් ලැබී තිබේ. රූපවාහිනී විකාශන අයිතියේ හොරකම අන්තිමට ගහපු ක්‍රිකට් ‘ඩීල්’ එක වුවත් මුලට කොටු කර ගැනීමට හැකියා ලැබුණේද අන්තිම හොරකමය.

ගිණුම් ජිල්මාට් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හොඳට හුරු පුරුදුය. අදාළ වංචා කිරිමේ සිද්ධියත් සමඟින් වාර්තා වුයේ මෙක්සිකෝවේ බැනමැක්ස් නැමැති බැංකුව ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය අංශය විසින් රුපියල් මිලියන 93.3 ක මුදලක් මාරු කිරීමට අවශ්‍ය ලිපි ලේඛන සකස් කර ඇති බව ය. මේ තොරතුරු අනාවරණය වන්නේ උක්ත පරීක්ෂණය අතරය.

නමුත් තවත් ප්‍රශ්නයක් ඉතිරිව ඇත්තේය. ඒ වර්ෂ 2011 සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් බුකියට පාවාදුන්නන් තවමත් ගෙලග්‍රහයෙන් ගෙන නොතිබීමය. අල්ජසීරාව දැන් හතර වටේටම ක්‍රිකට් ෆික්ෂින් චෝදනාව කරමින් සිටියි. ඔවුහු එංගලන්තයටත් තරග පාවාදීම් සම්බන්ධව චෝදනා කරති. එහෙත් එංගලන්තයේ වේල්ස් ක්‍රිකට් ආයතනය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත. එහෙත් අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට එවැනි ප්‍රතික්ෂේප කිරීමක් සඳහා විශ්වාසයක් ඇති බවක් නොපෙනේ. උන් අතරද කම්බා හොරුන් ඇති ආකාරය හෙළිදරව් වෙමින් ඇති පරිසරයක එවැනි ප්‍රතික්ෂේප කිරීමක් බලාපොරොත්තු වීමත් විහිළුවකි. මෙතෙක් අල්ජසීරාවේ වීඩියෝ දර්ශන අයි.සි.සී.ය විසින් ඉල්ලුවද එම දර්ශන අයි.සී.සී.යට ලබාදීම අල්ජසීරාව විසින් ප්‍රතික්ෂේප කළේය.

එහෙත් දැන් තත්ත්වය වෙනස්ය. අයි.සී.සී.ය අල්ජසීරා සමඟ එකඟතාවකින් කටයුතු කිරීමට පටන් ගෙන තිබේ. ඊට සමගාමීව බුකියේ විශාල ඔට්ටු ප්‍රමාණයක් සංසරණය වූ 2017 ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගාවලිය සම්බන්ධව ද අලුත් වටයකින් හෙළිදරව් වීම් ඇරඹීමට නියමිතය. බුකි හා ගෑවුණු ක්‍රිකට් ප්‍රභූවරුන් සම්බන්ධ විශේෂ විමර්ශන ඇරඹී තිබේ. ලංකාවට පැමිණි සමහර කෝටිපති බුකිකරුවන්ගේ ගමන් බිමන් හා ඔවුන් ඇසුරුකළ ක්‍රීඩකයන් සම්බන්ධව තවත් පැත්තකින් සොයමින් හිඳී.

මේ අතරවාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු හඳුනාගත් බුකීකරුවන් සමඟ ඡායාරූපවලට පෙනී සිටි ඇති බවද අයි.සී.සී.ය.ට සහ ශ්‍රී ලංකා රහස් පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත. ඡායාරූපයක් ගැනීම සාමාන්‍ය දෙයකි. ක්‍රීඩකයා ඔහු බුකී කරුවාද නැද්ද යන්න දන්නේ නැත. ඕනෑම එකෙකු පින්තූරයක් ගන්න එන ලෙස ආරාධනා කළහොත් නිහතමානී ක්‍රිකට් ක්‍රීඩකයෝ ඔවුන් සමඟ ඡායාරූපවලට පෙනී සිටිති. තමා සමඟ ඡායාරූපයට පෙනී සිටින පුද්ගලයාගේ අගමුල සොයන්නට බැරිය.

ඒත් තත්ත්වය බරපතල වන්නේ බුකීකරුවා යැයි නොදැන ඡායාරූප ගැනීම නොව, ඔවුන් සමඟ තේ මේසයකට හෝ කෑම මේසයක වාඩිවී සාජ්ජ දැමීමය. ඒ සාජ්ජ ඡායාරූපගත කිරීමය. එවැනි ඡායාරූප සම්බන්ධවනම් කොහොමටත් ඕනෑම එකෙකුට සැක කළ හැකිය.

මෙවැනි ඡායාරූපවල සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ එක්තරා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකුට මේ වනවිට එක්දින කණ්ඩායමේ ස්ථානය අහිමිවී තිබේ. විටින් විට විනය විරෝධී චෝදනා එල්ල වූ තවත් තරුණ වමත් පිතිකරුවකු ඡායාරූප සම්බන්ධ මේ අලකලංචිය නිසා හෝ බුකි ගනුදෙනු සම්බන්ධ විනය ප්‍රශ්නයක් නිසා කණ්ඩායමෙන් එළියට විසිවී සිටියි. මේ ක්‍රීඩකයන් ක්‍රීඩා නොකරන විටත් තරග පැරදුන බව සැබෑය. එහෙත් දැන් අප බුකියට ඕනෑ විදිහට ක්‍රිකට් නොගසන බවට හිත හදා ගත හැකිය. මක්නිසාද යත් මැච් ෆික්සිං ගැන සැකයක් සහිත එක් ක්‍රීඩකයෙක්වත් මේ සංචිතයේ නොමැති බවට විශ්වාසයක් ඇතිව තිබෙන හෙයිනි.

කෙසේ වෙතත් දැන් අපට ක්‍රිකට් ගැන විශ්වාසයක් නැත. පරදින විට කුජීත වෙන්නට පැරදීමේත් දිනන විට අදහා ගන්නට බැරි අාකාරයේ වික්‍රමාන්විත ජයග්‍රහණ ලැබීමෙත් ස්වරූපය ක්‍රිකට්වල ඇති සුන්දර අවිනිශ්චිතභාවයට වඩා අමුතුය. ඒ සිතිවිලි කලාතුරකින් ලබන ජයග්‍රහණයක ප්‍රීතිය විඳගන්නටවත් ඉඩ නොදේ. අල් ජසීරාව එංගලන්තයට තරග පාවාදීම් ගැන චෝදනා කරයි. අයි.සී.සී.ය දැනට ක්‍රිකට් ආයතනයේ සේවය කරන පුද්ගලයන් කීපදෙනෙකු පසුපස හඹායමින් හිඳී. මේ දිනවල පැවැත්වෙන එංගලන්ත තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් විසින් නිකුත් කරනු ලද තරගාවලි හැඳුනුම්පත් සියල්ල අයි.සී.සී ය විසින් පරීක්ෂා කරමිනි හිඳී. දැන් අප සියල්ල සැක කරන මට්ටමට පත් වී ඇත.

නමුත් අයි.සී.සී.ය තවමත් ක්‍රිකට් පාවා දුන් හොරිකඩයන් කිසිවෙකුගේ නම්ගම් හෙළි කර නැත. “අපි මේ රටේ අගමැතිට හෝ ජනාධිපතිවටත් කිසිම කෙනෙක්ගෙ නමක් සඳහන් කළේ නැහැ. මොකද අපි පරීක්ෂණ සියල්ල අවසන් කළාට පසුව තමයි නම් එළියට දාන්නේ.’ අයි.සී.සී. දුෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරි ඇලෙක්ස් මාෂල් තවමත් අපව වැට උඩ තබා ඇත.

Comments