හොංකොං - චීන නව පාලම කලාපයේ බලය අල්ලන සුදු අලියෙක්ද? | Page 3 | සිළුමිණ

හොංකොං - චීන නව පාලම කලාපයේ බලය අල්ලන සුදු අලියෙක්ද?

මිනිසා විසින් මිහිමත ගොඩ නංවනු ලැබූ තවත් පුදුම සහගත ඉදිකිරීමක් සනිටුහන් කරමින් චීනය පසුගියදා මුහුදු මතින් දිවෙන ලොව දිගම පාලම විවෘත කළේය. චීනය, හොංකොං හා මකාවු දූපත් යාකරමින් ඉදි කළ මේ පාලම නිකම්ම නිකම් පාලමක් නොව චීනය සිය කලාපයේ දේශපාලන හා ආර්ථික ආධිපත්‍යය තහවුරු කර ගැනීමට දැමූ තවත් අඩිතාලමක් ලෙස දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

චීන ජාතිකයෝ කවදත් අති විශාල ඉදිකිරීම් සඳහා හපන්නුය. මෙතෙක් ලෝකයේ ඉදිවූ දිගම පාලම් ඇත්තේ ද චීනයේය. මිහිමත ඇති දිගම පාලම ලෙස ගිනස් වාර්තා පොතට එක්ව ඇති ඩැන්යෑං - කුන්ෂාන් පාලම මතින් බීජිං හා ෂැංහයි අධිවේගී දුම්රිය මාර්ගයේ කොටසක්ද වැටී ඇත. එහි දිග කිලෝ මීටර් 164.8කි. මීට පෙර මහුදු මතින් ගිය දිගම පාලම වූයේ චීනුන් 2011 වසරේදී ඉදි කළ ක්වින්ග්ඩාඕ - හයිවාන් පාලමයි. එහි දිග කිලෝ මීටර් 42.5 කි. චීනයෙන් පිටත පිහිටි ලොව දිගම පාලම ලෙස කාලයක්ම හැඳින්වුණේ ඇමෙරිකාවේ පොන්චාට්‍රේන් කෝස්වේ පාලමය. එහි දිග කිලෝ මීටර් 38.44කි.

කෘත්‍රිම දූපත් දෙකක් යා කරමින්

ඔක්තෝබර් 23වැනිදා විවෘත වූ නව චීන පාලම බොහෝ විචාරකයන් සලකන්නේ ලොව කලපු හා සමුද්‍රාසන්නව ගොඩනැඟුණු සැන් ෆ්‍රැන්සිස්කෝ, නිව්යෝර්ක් හා ටෝකියෝ වැනි නගර අනුව යමින් සිය රටේ ද සමුද්‍රාසන්න නගර දියුණු කිරීමේ තවත් එක් චීන උපාය මාර්ගයක් ලෙසිනි. නව පාලමේ මුළු දිග කිලෝ මීටර් 55කි. කෘත්‍රිමව තැනූ දූපත් දෙකක් යා කරමින් පර්ල් ගංගාව දකුණු චීන මුහුදට වැටෙන මෝය මතින් මේ පාලම ඉදිකර ඇත. එහි ප්‍රධාන පාලම් කොටසේ දිග කිලෝ මීටර් 30කි. මුහුදේ කිලෝ මීටර් 6.7ක් දිගැති උමගක් හරහා පාලම දිව යයි. හොංකොං, මකාවූ හා චීනයේ සුහායි නගර හරහා යන මේ නව පාලම කිලෝ මීටර් 25ක් දිගට විහිදෙන මාර්ග පද්ධතියක් එකට යා කරයි.

චීන ඉංජිනේරු තාක්ෂණයේ තවත් එක් පුදුමයක් වන මේ පාලම ඔවුන් ඉදිකර ඇත්තේ ඉදිරි වසර 120ක් කල් පවතින ලෙසිනි. පාලම ඉදිකර ඇත්තේ රිච්ටර් මාපාංක අංශක 8ක භූමිකම්පාවකට මෙන්ම ඉතා දරුණු සුළි කුණාටුවලට පවා ඔරොත්තු දෙන අන්දමිනි. ටොන් ලක්ෂ 3ක් බරැති දැවැන්ත නැවක් වුව හැප්පුණොත් ඔරොත්තු දෙන අන්දමින් තැනූ පාලම මීටර් 163ක් උස කුලුනු මතින් දිවයන්නේ දැවැන්ත නැව්වලට පවා ඒ යටින් ගමනාගමනය කළ හැකිවන පරිද්දෙනි.

මෙතෙක් හොංකොං හා චීනය අතර බස් මගියකුට අධි වේගී මාර්ගයේ ගමනට වරකට ඩොලර් 15.30ක් වැය කෙරිණි. මෝටර් රථයකට ඩොලර් 22කි. පාලම සඳහා ඇස්තමේන්තු ගත වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන20කි. මෙතරම් අධික මුදලක් වැය කරමින් දේශපාලන හේතු මත තැනූ මේ පාලම ‘සුදු අලියකු’ලෙස ඇතැම්හු දෝෂාරෝපණ එල්ල කරති. එහෙත් විවෘත කිරීමත් සමඟම සංචාරකයෝ පාලම හරහා ගමනට පොරකමින් සිටිති. එලෙස හොංකොං සිට චීනය බලා ඒමට රැස්කන සංචාරකයන්ට මගී පර්යන්තවලදී චීන කෙටිකෑම හා රෝස් කළ මස්වලින් සංග්‍රහ කෙරේ.

මගීන්ට රෝස් කළ මස්

නව පාලම හොංකොං හා චීනය එකට යා කරමින් සතියක් ඇතුළත ආරම්භ වූ දෙවැනි යටිතල පහසුකම් ව්‍යාපෘතිය බව වාර්තා වෙයි. දෙරට අතර අධිවේගී දුම්රිය මඟක් පසුගිය මස ආරම්භ වෙද්දී හොංකොං, සිය භූමිය චීනයේ බලාධිකාරයට යටත් කරන්නේ යැයි විවේචන එල්ලවිය. කෙසේවෙතත් පාලමට තවමත් පොදු ජනතාවට ඇතුළු වීමට ඇති ඉඩකඩ සීමා කර ඇතැයි චෝදනා ද එල්ල වේ. මුලදී එසේ වුවත් පසුකාලීනව එය මඟ හැරෙනු ඇතැයි ඊට පිළිතුරු වශයෙන් චීන ප්‍රවාහන බලධාරිහු ප්‍රකාශ කරති. දැනට පෞද්ගලික වාහන මගින් සුහුහායි දක්වා පාලම මතින් යෑමට අවසර දී ඇත්තේ හොංකොංවාසීන් 10000කට පමණි. ඒ ද තෝරාබේරාගත් පිරිසකටය. ඉන් වැඩි දෙනකු චීන රජයේ ඉහළ තානාන්තර දරන්නන් හා දකුණු චීනයේ ගුවාන්ඩොං පළාතට ප්‍රධාන වශයෙන් පුණ්‍යාධාර සපයන උදවියයි. මෙසේ යන සියලු දෙනා ද පාලම දෙකොනේ දී අදාළ ආගමන විගමන ක්‍රියා පටිපාටියට යටත් කෙරේ.

Comments