
- බලාපොරොත්තු රහිත අවස්ථාවලදී පිහිට වන සාන්ත ජූඩ් මුනි සෙවණ
- දසතින් බැතිමතුන් එන පොහෝ දා සුව මෙහෙය
- 66 වැනි වාර්ෂික මංගල්‍යය සමරන ඉඳිගොල්ලේ සාන්ත ජූඩ් පුදබිම
- එකම බිමක පල්ලි දෙකක්
කතෝලික සභාව සතු සිද්ධස්ථාන අතර සියනෑ පුරවරයට ආලෝකයක් බඳු ගම්පහ ඉඳිගොල්ලේ පිහිටි සාන්ත ජූඩ් ජාතික සිද්ධස්ථානය ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ සාන්තුවරයකු වන සාන්ත ජූඩ් මුනිඳුන් වෙනුවෙන් කැප කළ මෙරට පළමු දෙව්මැදුරයි.
ගම්පහ ඉඳිගොල්ල නම් ග්‍රාමයේ පොල් රුප්පාවකින් සහ හරිත පැහැගත් වෘක්ෂලතාවන්ගෙන් යුතු මනස්කාන්ත නිසංසල පරිසරයක පිහිටි සාන්ත ජූඩ් සිද්ධස්ථානය කිතුනු බැතිමතුන්ගේ පමණක් නොව අන්‍යාගාමිකයන්ගේ පවා බුහුමනට පාත්‍රව ඇති පුදබිමකි. ජිවිතයේ එළැඹෙන දුෂ්කර බලාපොරොත්තු රහිත අවස්ථාවලදී පිහිට වන බවට කිතුනුවන් අතර මහත් විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් ඇති සාන්ත ජූඩ් මුනිඳුන්ගේ පිහිට උපකාර බලාපොරොත්තුවෙන් දිනපතා එ් සිද්ධස්ථානය වෙත ඇදෙන පිරිස අති මහත් ය. මාසයේ පළමු බ්‍රහස්පතින්දා දින දිවයිනේ දස දෙසින් සාන්ත ජූඩ් මුනිඳුන්ගේ පිහිට පතා මේ සිද්ධස්ථානය කරා පැමිණීම පුරුද්දක් කරගත් බැතිමත්හු ඒ අතර විශේෂ වේ. නව ව්‍යාපාරයක් අරඹන්නට පෙර සහ අලුතින් රැකියාවකට යන්නට පෙර එය සඵල කරදෙන ලෙස යදිමින් සාන්ත ජූඩ් මුනිඳුන්ට භාරහාර වීමට බොහෝ බැතිමත්හු අමතක නොකරති. එමෙන්ම විවිධ කාරණා සම්බන්ධයෙන් ජීවිතයේ බලාපොරොත්තු අත්හැර දැමූ අවස්ථාවලදී සාන්ත ජූඩ් මුනිඳුන්ගේ මැදහත්කම තුළ සිය ජීවිත ගැටලුවලට විසඳුම් ලබාගත් බොහෝදෙනා ද සාන්ත ජුඩ් මුනිඳුන්ට කරන උපහාරයක් ලෙස මාසයේ පළමු බ්‍රස්පතින්දා දින අනිවාර්යයෙන්ම මේ සිද්ධස්ථානය කරා පැමිණීමට පුරුදුව සිටිති.
එතරම් අනුහස් ඇති සාන්ත ජූඩ් පුදබිමේ ඉතිහාසය වසර 1952 කරා දිවෙන්නෙකි. එකල ගම්පහ මීසම පාලනය කළ ගරු පිලිප් දිසානායක පියතුමාගේ සංකල්පයකට අනුව එවකට කොළඹ අගරදගුරු අති උතුම් දේවධර්මාචාර්ය තෝමස් කුරේ හිමිපාණන්ගේ සුරතින් මේ සිද්ධස්ථානය ඉදිකිරීමට මුල්ගල තබා ඇත්තේ 1952 මාර්ගු 31 වැනිදා ය. එදා අක්කර 5ක භූමි භාගයක ඉතා කුඩාවට ආරම්භ වූ මේ පුදබිම මේ දක්වා ගතවූ වසර 66 ක කාලය තුළ ප්‍රධාන පාලක පියතුමන්ලා දහ හතර දෙනකු යටතේ පියවරෙන් පියවර දියුණුවට පත්වූයේ දේවාශිර්වාදය සහ බැතිමතුන්ගේ යැදුම් මල්ඵල ගන්වමිනි. මුලින්ම ඉදිකළ දෙව්මැදුර ප්‍රමාණයෙන් කුඩා වුවත් එය බැතිමතුන්ගේ සිත් ඇදගන්නා අයුරින් මනස්කාන්තව නිර්මාණය කර තිබේ. ඒ තුළ නිර්මාණය වී තිබෙන යාච්ඤා කිරීමට සහ භාවනා කිරීමට උචිත පරිසරය බැතිමතුන්ට සිය අධ්‍යාත්මික ජීවිතය දියුණු කරගැනීම සඳහා අත්වැලකි.
ක්‍රම ක්‍රමයෙන් බැතිමතුන් අතර ජනප්‍රිය සිද්ධස්ථානයක් ලෙස ප්‍රචලිත වීමත් සමඟ සිද්ධස්ථාන භූමිය අක්කර 10ක භූමි ප්‍රමාණයක් දක්වා පුළුල් කිරීමේ වාසනාව ද හිමි විය. ඒ සමඟ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයක්, ආපන ශාලාවක්, ආගමික භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානයක්, විශ්‍රාම ශාලාවක්, පාපොච්චාරණ ශාලාවක් සහ දර්ශනීය ලූර්දු ගුහාවක්ද සිද්ධස්ථාන භූමියට එක් විය. 1977 වසරේ පැවති සිද්ධස්ථානයේ රිදී ජුබිලිය වෙනුවෙන් දෙව් මැදුර අසල සාන්ත ජුඩ් ප්‍රතිමාවක් ද ඉදිකෙරුණි.
වසර 2002දී ඉඳිගොල්ල සාන්ත ජූඩ් සිද්ධස්ථානයට තවත් විශේෂ වරප්‍රසාදයක් හිමිවිය. ඒ වසර 2002දී එළැඹි සිද්ධස්ථානයේ ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් දහස් ගණනකට එකවර රැස්විය හැකි අති විශාල මනස්කාන්ත නව දෙව්මැදුරක් ඉදිවීම ය. ආරම්භක දෙව්මැදුරට පිටුපසින් ඉදිවූ එ් නව දේවස්ථානය මුළුමනින් කලා කෘතියක් කිවහොත් නිවැරදි ය. එය නිර්මාණය කොට ඇත්තේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිහිටවූ ශුද්ධවූ සභාව මුල්කරගෙන ය. ඒ අනුව ජේසුස් වහන්සේගේ ගෝලයන් 12දෙනා පෙරටු කරගත් විශාල කුලුනු 12කින් සමන්විත නව දෙව්මැදුරේ දොර, ජනෙල් ඇතුළු සෑම අංගයක් ම සංකේතාත්මක කැටයම් සහිත ව ඉතා අලංකාර අන්දමින් නිර්මාණය කර තිබේ. දෙව්මැදුර අබියස ඉදිකොට ඇති ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුහුදට දැලක් හෙළන ආකාරයෙන් නිර්මාණය කර ඇති විසල් ප්‍රතිමාව දෙව්මැදුරට අභිමානවත් බවක් එක්කරනවා පමණක් නොව එය තමා වෙත පැමිණෙන ඕනෑම අයකු දේව ප්‍රේමය තුළ එක ලෙසින් පිළිගන්නා බවට නිහඬ පණිවිඩයක් වැනිය. මේ නව දෙව්මැදුරේ නිර්මාතෘවරයාණන් වන්නේ 1993-2003 දශකය තුළ සිද්ධස්ථාන පාලක ලෙස කටයුතු කළ ගරු එල්මෝ ඩයස් පියතුමා ය. මුල් කාලයේ එතුමන් විසින් දෙව්මැදුර වටා සියතින් වවන ලද විසිතුරු තුරුලතා මේ වන විට සරුසාර විසල් වෘක්ෂ වී මලින් ඵලබර වී හරිත පැහැයෙන් දිදුලන්නේ එහි පැමිණෙන කාගේත් සිත්තුළ නිසන්සල ශාන්ත බවක් ඇති කරමිනි.
බලාපොරොත්තු රහිත අවස්ථාවලදී සාන්ත ජූඩ් මුනිදුන්ගේ මැදහත්කම තුළ දෙවියන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලබාගැනීමට මේ සිද්ධස්ථානය කරා ඇදෙන බැතිමතුන් මෙන්ම සුවය අපේක්ෂාවෙන් එහි පැමිණෙන බැතිමතුන් ද අති විශාල ය. ඒ, සෑම මසක ම පොහොය දින පැවැත්වෙන රෝගීන් ආශිර්වාද කිරීමේ මෙහෙය සඳහා ය. එ් රෝගීන් ආශිර්වාද කිරීමේ පෝය දින මෙහෙය ආරම්භ වී ඇත්තේ 1992 වසරේදී ය. එදා මෙදාතුර විවිධාකාර ලෙඩදුක්වලින් පෙළෙන්නන් සුව සහනය අපේක්ෂාවෙන් පුදබිම වෙත ඇදී එන්නේ එ් සුව මෙහෙය කෙරෙහි වන අපමණ විශ්වාසයෙනි. එ් විශ්වාසය ඵල දරමින් ඒ තුළින් සුවය ලැබූවන් ද බොහෝ ය. පොහෝ දින පැවැත්වෙන එ් රෝගීන් ආශිර්වාද කිරීමේ මෙහෙයට අමතරව සෑම සෙනසුරාදා දිනක ම උදෑසන 10ට ඉංග්‍රීසි භාෂාවෙන් ද සුව මෙහෙයක් පැවැත්වේ. එමෙන්ම මාසයේ පළමු බ්‍රහස්පතින්දා දවස පුරාවට පැවැත්වෙන දිව්‍ය පූජාවන්ට අමතරව එදින උදෑසන 7.30ට පැවැත්වෙන දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය ද බැතිමතුන්ගේ නොමඳ බුහුමනට ලක්වූ අවස්ථාවකි. කාලයක සිට ඉඳිගොල්ල මීසම්වාසීන් අපේක්ෂා කළ දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලක සිහිනය ද ළඟදී ම යථාර්ථයක් බවට පත්වීමට නියමිත ය.
ජීවිතයේ විවිධාකාර අවශ්‍යතා වෙනුවෙන් දෙවිඳු පිළිසරණ පතාගෙන දිනපතා දස දෙසින් සාන්ත ජූඩ් පුදබිම වෙත පැමිණෙන බැතිමතුන්ට සිය අධ්‍යාත්මික ජීවිතය ඔප් නංවාගැනීමට වත්මන් මීසම් පාලනාධිපති ගරු ජූඩ් ශාමන් ප්‍රනාන්දු පියතුමා විසින් සලසන දායකත්වය අතිශය ප්‍රසංශනීය බව කිව යුතු ම ය. කතෝලික සභා මාතාව සාන්ත ජූඩ් මුනිඳුන්ගේ මංගල්‍යය සමරනු ලබන්නේ ඔක්තෝබර් 28 වැනිදා වුවද ඉඳිගොල්ල සිද්ධස්ථානය සිය වාර්ෂික මංගල්‍යය සමරනු ලබන්නේ ඔක්තෝබර් මස අවසාන ඉරුදිනයි. ඒ අනුව මේ ඉරුදින සමරනු ලබන්නේ මේ සිද්ධස්ථානයේ 66 වැනි වාර්ෂික මංගල්‍යයයි. " සාන්ත ජූඩ් මුනිඳුනි යහපත් එඬේරුන් වන්නට දෙවිඳුන් අබියස අපි වෙනුවෙන් මැදහත් වුව මැනව", ඒ මෙවර වාර්ෂික මංගල තේමාවයි. සියනෑවට ආශිර්වාදයක් වූ ඉඳිගොල්ලේ සාන්ත ජූඩ් සිද්ධස්ථානය තමා වෙත පැමිණෙන සුවහසක් දන වෙත දෙවිඳුන්ගේ පිහිටාශිර්වාදය ලබාදෙමින් තවත් චිරාත් කාලයක් විරාජමානු වනු ඇත.