රෙගේ කෙල්ලොත් 2019 පාපන්දු ලෝක කුසලානයට | Page 2 | සිළුමිණ

රෙගේ කෙල්ලොත් 2019 පාපන්දු ලෝක කුසලානයට

කාන්තා පාපන්දු ක්‍රීඩාවට අදාළව පැවැත්වෙන වැදගත් ම සහ ප්‍රධානතම තරගාවලියක් වේ. ඒ ලෝක කුසලාන තරගාවලියයි. මීළඟ කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2019 වසරේදීය. ඒ ප්‍රංශයේදීය.

ඊට සහභාගි වන රටවල් තෝරා ගැනීමේ සුදුසුකම් ලැබීමේ තරග මේ දිනවලදී ලොව පුරාම පැවැත්වේ. ඒ අනුව CONCACAF (කොන්කාකැෆ්) කලාපයේ තරගාවලිය පසුගියදා නිමාවට පත්විය. කොන්කාකැෆ් යනු උතුරු, මධ්‍යම ඇමෙරිකානු සහ කැරිබියානු සංගම් පාපන්දු සම්මේලනයයි.

කොන්කාකැෆ් කාන්තා ශූරතාවලිය ලෙස මෙය හැඳින්වෙයි. මීට අමතරව රන් කුසලාන සහ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලෙසටත් හඳුන්වනු ලබයි. මෙවර තරගාවලියට රටවල් 08 ක් සහභාගි විය. එහිදී සත්කාරකත්වය දැරුවේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

මෙම තරගාවලියේ සමස්ත ප්‍රතිඵලයට අනුව මුල් ස්ථාන 03 හිමිකර ගනු ලබන රටවල් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි. එමෙන් ම සිවුවැනි ස්ථානය හිමි කර ගනු ලබන රටටත් අවස්ථාවක් උදා වේ. ඒ වෙනත් කලාපයක රටක් සමඟ තරග කරමින් එය ජය ගැනීමෙනි.

2018 කොන්කාකැෆ් කාන්තා ශූරතාවලියේ ශූරතාව ඇමෙරිකාවටයි. අවසන් තරගයේදී ඔවුන් ගෝල 2 - 0 කින් කැනඩාව පරාජය කළේය. තෙවැනි ස්ථානය තේරීමේ දී ජැමෙයිකාව දඬුවම් පහර මඟින් ගෝල 4 - 2 ක ජයක් ලැබුවේ පැනමාව හමුවේය.

ඒ අනුව ඇමෙරිකාව, කැනඩාව සහ ජැමෙයිකාව 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීය. පැනමාවට තවත් අවස්ථාවක් ලැබී තිබේ. මෙම සියලු ම රටවල් අතරින් ජැමෙයිකාව ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම තවත් සුරංගනා කතාවකි.

ඒ මෙම සුවිශේෂී කතාවට ලෝ ප්‍රකට එමෙන් ම ශ්‍රේෂ්ඨ ගායක බොබ් මාර්ලේගේ දියණියක් ද සම්බන්ධ බැවිනි. 51 හැවිරිදි සිඩෙලා මාර්ලේ ජැමෙයිකානු කාන්තා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධානතම අනුග්‍රාහිකාවයි.

ජැමෙයිකානු කාන්තා ජාතික පාපන්දු කණ්ඩායමට අපූරු නමක් පටබැඳී තිබේ. ඒ ‘රෙගේ ගර්ල්ස්’ ය. ජැමෙයිකාව සුප්‍රකට රෙගේ සංගීතයට ලෝ ප්‍රකටයි. එම සංගීතයේ අසහාය ගායකයා වනුයේ බොබ් මාර්ලේය.

ලබන වසරේ කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම මඟින් ජැමෙයිකාව සුවිශේෂි වාර්තාවක් පිහිටුවීය. එනම් කැරිබියානු කලාපයෙන් කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලැබූ ප්‍රථම රට බවට පත් වීමයි.

2010 වසර වන විට ජැමෙයිකානු කාන්තා ජාතික පාපන්දු කණ්ඩායම සිය අවසානය කරා ගමන් කරමින් සිටින බවක් දක්නට ලැබිණි. කෙසේ වෙතත් 2014 වසර වන විට ජැමෙයිකානු කාන්තා පාපන්දු ක්‍රීඩාවට නව පණක් ලැබුණි. ඒ සිඩෙලා මාර්ලේ නිසාවෙනි.

සිඩෙලා ජැමෙයිකානු කාන්තා ජාතික පාපන්දු කණ්ඩායමේ නිල තානාපතිවරිය බවට පත් වූවාය. එමෙන් ම සම ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දීමටත් ඇය ඉදිරිපත් වූවාය. ඒ බොබ් මාර්ලේ පදනම මඟින්ය.

“අපි වෙනුවෙන් ඉදිරිපත් වී අද මෙවැනි තත්වයකට රැගෙන ඒමට සිඩෙලා මාර්ලේ දැක්වූ දායකත්වයට අපේ ගෞරවය ඇයට හිමි වෙනවා” වත්මන් ජැමෙයිකානු කාන්තා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන හියු මෙන්ෂි පවසයි.

ජැමෙයිකානු ක්‍රීඩිකාවන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම ගැන මුලින් ම සුබ පැතූ පිරිස අතර යුසේන් බෝල්ට් ද විය.

“2019 කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ රෙගේ කෙල්ලන්ට සුබ පැතුම්” බෝල්ට් ටුවිටර් පණිවිඩයක් මඟින් එසේ පැවසීය. බෝල්ට් යනු වත්මන් ජැමෙයිකාවේ සුපිරිතම තරුවයි. ඒ මලල ක්‍රීඩාවේ කෙටි දුර තරගවලදී ඔලිම්පික් සහ ‍ලෝක ශූරතා ජයග්‍රහණ රැසක හිමිකරුවා වීමෙනි.

සිඩෙලා මාර්ලේගේ දායකත්වය ලැබුණත් ජැමෙයිකානු කාන්තා පාපන්දු ජාතික කණ්ඩායමට පහසුවෙන් ලෝක කුසලාන සිහිනය ඉටු කර ගැනීමට අවස්ථාව ලැ‍බුණේ නැත.

මේ වසර වන විට ජැමෙයිකානු පාපන්දු සම්මේලනය මෙම කණ්ඩායමට ලබා දුන් ප්‍රතිපාදන නතර කර දමනු ලැබීය. ලෝක පාපන්දු සම්මේලනය (ෆීෆා) ශ්‍රේණිගත කිරීම්වලටත් ජැමෙයිකාව අයත් වූයේ නැත. ඒ තෙ වසරක පමණ කාලයක් ඔවුන් අක්‍රීයව සිටිය නිසාය.

එසේ වුවත් මෙම ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාව, උනන්දුව සහ කැපවීමේ අවසන් ප්‍රතිඵලය වූයේ ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගැනීමට ඔවුනට හැකි වීමයි.

2018 කොන්කාකැෆ් කාන්තා ශූරතාවලියේ මුල් වටයේ දී ජැමෙයිකාව තරග කළේ බී කාණ්ඩයෙනි. එහිදී ඔවුන් කැනඩාවට පමණක් දෙවැනි වූහ. ජැමෙයිකාව ගෝල 1 - 0 කොස්ටරිකා සහ ගෝල 9 - 0 කියුබාව තරග ජය ගත්තේය. කැනඩාව හමුවේ ගෝල 2 - 0 ක පරාජයක් ලැබීය.

අවසන් පූර්ව තරගයේ දී ඇමෙරිකාව ගෝල 6 - 0 කින් ජැමෙයිකාව පරාජය කළේය. තෙවැනි ස්ථානය තේරීම් තරගයේ දී ජැමෙයිකාව සහ පැනමාව තරග කළේය. තරගයේ අතිරේක කාලය නිමා වන විට දෙරට ම ගෝල 2 - 2 බැගින් ලබා සම මට්ටමක සිටියේය. එම නිසා ප්‍රතිඵලය ලබා ගැනීමට පෙනල්ටි හෙවත් දඬුවම් පහර මඟින් තීරණය විය. එහිදී ජැමෙයිකාවට ජය අත් විය.

මෙවර තරගාවලියේදී තෙවැනි වැඩිම ගෝල ගණනක් රැස් කළ ක්‍රීඩිකාව වූයේ ජැමෙයිකාවේ ජෝඩි බ්‍රවුන්ය. ඒ ගෝල 04 කි. 16 හැවිරිදි ජෝඩි ඉදිරිපෙළ ක්‍රීඩිකාවකි. මෙවර දස්කම් නිසා තරගාවලියේ දක්ෂතම යොවුන් ක්‍රීඩිකාව ලෙසටත් ඇය සම්මාන හිමි කර ගත්තාය.

මීට අමතරව තවත් ක්‍රීඩිකාවන් ගෝල රැස් කරමින් ජැමෙයිකානු ජයග්‍රහණයට දායක වූහ. ඊට කාඩිජා ෂෝ ගෝල 03, ෂාශානා කැම්බෙල් 02, ක්‍රිස්ටිනා චෑන්ග්, මාර්ලෝ ස්වීට්මන් සහ ඩිනියිෂා බ්ලැක්වුඩ් ගෝලය බැගින් රැස් කරමිනි.

“රෙගේ ගර්ල්ස්ලා ලොව හොඳ ම කණ්ඩායම් සමඟ තරග කළා. ඒ තනිකරම ක්‍රීඩාවට තිබෙන ඔවුන්ගේ දක්ෂතාව සහ දැඩි උනන්දුව නිසයි. අපිට තවත් ඔප්පු කළ යුතු දේ තිබෙනවා. හුඟාක් අය ඉතිහාසගත වෙනවා. එසේ වුවත් අපේ ජයග්‍රහණය තබා ගැනීමට නම් දිගට ම ජය ගත යුතුයි. අපි තරග කරන්නේ සුදුසුකම් ලබා ගැනීමට නොවේ. අපි තරග කරන්නේ ජයග්‍රහණයටයි.” සිඩෙලා මාර්ලේ පැවසුවාය.

සිඩෙලා මාර්ලේගේ මවුපියන් වනුයේ බොබ් මාර්ලේ සහ රීටාය. මින් රීටා කියුබානු ගායිකාවකි. සිඩෙලා ගායිකාවක්, නර්තන ශිල්පිනියක්. නිළියක් මෙන් ම විලාසිතා නිර්මාණ ශිල්පිනියකි. 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළට සහභාගි වූ ජැමෙයිකානු කණ්ඩායමේ නිල ඇඳුම නිර්මාණය කළේත් සිඩෙලාමයි.

ජැමෙයිකානු කාන්තා පාපන්දු ජාතික කණ්ඩායමේ ඉහළතම ලෝක ශ්‍රේණිගත කිරීම වනුයේ 64 වැනි ස්ථානයයි. ඔවුන්ගේ ප්‍රථම ජාත්‍යන්තර තරගය 1991 දීය. ඒ හයිටියට එරෙහිවය. එය ගෝල 1 - 0 කින් පරාජය විය.

ඔවුනගේ විශාලත ම ජයග්‍රහණය ගෝල 14 - 00 කි. ඒ 2014 දී ශාන්ත ලුෂියාවට එරෙහිවයි. විශාලත ම පරාජයන් දෙකකි. 2007 දී ගෝල 11 - 01 කින් කැනඩාවට සහ 1994 දී ගෝල 10 - 00 කින් ඇමෙරිකාවටය.

ජැමෙයිකාව යනු බටහිර ඉන්දීය කොදෙව් දූපත්ට අයත් දූපතකි. ක්‍රිකට්, මලල ක්‍රීඩා සහ පාපන්දු එරටේ ප්‍රධානතම එමෙන් ම ජනප්‍රියතම ක්‍රීඩා ලෙසටත් හැඳින්විය හැකියි. මින් මලල ක්‍රීඩාවේ කෙටිදුර ඉසව්වලදී ලොව සුපිරිතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ම එරට බිහිකර ඇත.

පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ ප්‍රථම ජැමෙයිකානු කණ්ඩායම මෙම රෙගේ ගර්ල්ස්ලා නොවේ. එම ගෞරවය හිමි කර ගත්තේ ජැමෙයිකානු පිරිමි ජාතික කණ්ඩායමයි. ඒ 1998 වසරේදීය. එසේ වුවත් ඔවුන් සහ මෙවර කාන්තා කණ්ඩායමටත් පොදු වන සුවිශේෂී හේතුවක් තිබේ. එනම් ඔවුන්ගේ ලෝක කුසලාන තරගාවලි මංගල වරම ප්‍රංශයේදී සිදු වීම නිසාය.

ප්‍රශාන්ත ඇල්පිටිය

Comments