රග්බි ලෝක කුසලානයට ඕල් බ්ලැක්ස්ලාගෙන් ප්‍රබල සූදානමක් | සිළුමිණ

රග්බි ලෝක කුසලානයට ඕල් බ්ලැක්ස්ලාගෙන් ප්‍රබල සූදානමක්

ක්‍රීඩා ඉතිහාසයේ ලොව පුරාම ඉතා ජනප්‍රිය වූ ජාතික කණ්ඩායම් කිහිපයක් ම තිබේ. ඒ විවිධ ක්‍රීඩාවලිනි. පාපන්දු ක්‍රීඩාවට නම් බ්‍රසීලයයි. කලක් ක්‍රිකට් ක්‍රීඩාවේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්ය. පැසිපන්දු හෙවත් බාස්කට්බෝල් ක්‍රීඩාවට ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඒ ආකාරයට ම රග්බි සංගම් ක්‍රීඩාවේදී නවසීලන්තයයි. මෙම ජනප්‍රියත්වයට හේතු වූයේ මේ කණ්ඩායම්වල ක්‍රීඩා විලාසයයි.

ශ්‍රී ලංකාවෙත් ජනප්‍රිය රග්බි සංගම් ක්‍රීඩාවේදී කවදත් ලොව වැඩි ම අවධානයක් යොමු වන්නේ නවසීලන්ත ජාතික කණ්ඩායමටයි. ඔවුන් ලෝ ප්‍රකටව සිටින්නේ ඕල් බ්ලැක්ස් නමිනි. ඒ බොහෝවිට තරග කරන විට ඔවුන් සම්පූර්ණයෙන් ම කළු පැහැති ඇඳුමින් සැරසී ක්‍රීඩා කරන බැවිනි.

දැන් නැවත වතාවක් රග්බි සංගම් ක්‍රීඩාව සහ ඕල් බ්ලැක්ස් කණ්ඩායම වෙතට ලොව රග්බි ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමු වෙමින් තිබේ. ඒ මීළඟ ලෝක කුසලාන තරගාවලිය නිසාය. පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 09 වැනි රග්බි සංගම් ලෝක කුසලාන තරගාවලියයි.

එම තරගාවලිය 2019 වසරේදී පැවැත්වීමට නියමිතය. ඒ සැප්තැම්බර් 20 සිට නොවැම්බර් 02 දක්වාය. මෙවර එහි සත්කාරක රට වනුයේ ජපානයයි. මෙම තරගාවලිය ආසියාවට ඉතා වැදගත්ය. ඒ රග්බි සංගම් ලෝක කුසලාන තරගාවලියක් ආසියාවේ දී පැවැත්වෙන්නේ ප්‍රථම වරට බැවිනි.

2019 රග්බි ලෝක කුසලාන තරගාවලිය නවසීලන්තයේ ඕල් බ්ලැක්ස් කණ්ඩායමටත් වැදගත්ය. ඒ යළිත් වතාවක් ලෝක ශූරයන්වීමට ඔවුනට හැකි වුවහොත් එය තවත් සුවිශේෂි වූ වාර්තාවක් වන බැවිනි. එනම් පිට පිට තෙවතාවක් ලෝක ශූරතා හිමිකර ගත් ප්‍රථම රග්බි සංගම් කණ්ඩායම ඔවුන් වන බැවිනි.

දැනට එහි වාර්තාව පවතින්නේ ද ඕල් බ්ලැක්ස් සතුවයි. ඒ පිට පිට ලෝක ශූරතා ද්විත්වයක් හිමි කර ගනිමිනි. ඕල් බ්ලැක්ස්ලාට මෙවරත් ‍ලෝක ශූරයෝ වීමට හැකියාව තිබේ ද යන්න පොදු ගැටලුවක් මේ වන විට මතු වී තිබේ. ඒ පිළිතුරක් ද සමඟිනි. ඒ ‘ඔව්’ යන්නය.

මේ වන විටත් නවතම රග්බි සංගම් ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට අනුව මුල් ස්ථානය හිමි කර ගෙන තිබෙන්නේ ද ඕල් බ්ලැක්ස්ලාය. මෙම ශ්‍රේණිගත කිරීම ඔක්තෝබර් 08 ට අදාළවයි. නවසීලන්ත ඕල් බ්ලැක්ස් දස්කම් අතර සිටින බවට තවත් නිදසුනක් දැක්විය හැකිය. ඒ මෙවරත් රග්බි ශූරතාවලිය ජය ගැනීමට ඔවුන් සමත් වීම නිසාය.

වාර්ෂිකව පැවැත්වෙන මෙම ශූරතාවලිය මෙවර පවත්වනු ලැබුවේ 07 වැනි වරටයි. මෙය සිවුකොන් තරගාවලියකි. ඊට සහභාගි වන්නේ නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ ආර්ජන්ටිනාවයි.

මෙවර ශූරතාවලියේ දී ඕල් බ්ලැක්ස්ලා පරාජය වූයේ එක් තරගයක් පමණකි.

නවසීලන්ත ඕල් බ්ලැක්ස් 2018 රග්බි ශූරතාව හිමිකර ගත් අයුරු.

පළමු වටය (අගෝස්තු 18)

නවසීලන්තය 38 - 13 ඔස්ට්‍රේලියාව

මෙම තරගය පැවැත්වූයේ සිඩ්නි නුවර ස්ටේඩියම් ඔස්ට්‍රේලියානු ක්‍රීඩාංගණයේදීය. එය නැරඹූ පිරිස 66,318 කි. නවසීලන්තය වෙනුවෙන් ට්‍රයි හෙවත් උත්සාහක දිනුම් 06 කි. මින් වයිසාකේ නාහෝලෝට 02 කි. ආරොන් ස්මිත්, එලියාස් ගුඩ්හියු, බියුඩෙන් බැරෙට් සහ බ්‍රෝඩ් රිටාලික්ට 01 බැගිනි. මීට අමතරව බැරෙට්ට ප්‍රවර්තන 04 කි.

දෙවන වටය (අගෝස්තු 25)

නවසීලන්තය 40 - 12 ඔස්ට්‍රේලියාව

ඕක්ලන්ඩ් නුවර ඊඩන් පාර්ක් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වීය. 49,983 ක් තරගය නැරඹූහ. නවසීලන්තය වෙනුවෙන් උත්සාහක දිනුම් 06 කි. මින් සතරක් ම බියුඩෙන් බැරෙට්ටය. ජෝශප් මුඩි සහ ලියම් ස්කුයිරිට 01 බැගිනි. බැරෙට් ප්‍රවර්තන 05 ක්ද සාර්ථක කර ගත්තේය.

තෙවන වටය (සැප්තැම්බර් 08)

නවසීලන්තය 46 - 24 ආර්ජන්ටිනාව

නවසීලන්තයේ නෙල්සන් නුවර ට්‍රැෆල්ගාර් පාර්ක් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වීය. එය නැරඹූ පිරිස 21,440 කි. උත්සාහක දිනුම් 06 ක් ඕල් බ්ලැක්ස් වෙනුවෙන් වාර්තා විය. ඒ තෝමස් පිරිනාරාට 02, නේහි මිල්නර් ස්කඩර්, කියිරෙන් රීඩ්, ෂැනන් ෆුයිෂෙල් සහ එලියාස් ගුඩ්හියුට 01 බැගිනි. රිචඩ් මොඋන්ගාට ප්‍රවර්තන 05 කි. හෙතෙම පෙනල්ටි හෙවත් දඬුවම් පහර දෙකකුත් සාර්ථක කර ගත්තේය.

සිවුවන වටය (සැප්තැම්බර් 15)

දකුණු අප්‍රිකාව 36 - 34 නවසීලන්තය

වොලිංග්ටන් නුවර වෙස්ට්පැක් ක්‍රීඩාංගණයේ දී මෙම ඉතා තියුණු තරගය පැවැත්විණි. 34,182 ක් මෙම තරගය නරඹනු ලැබූහ.

එහිදී ඕල් බ්ලැක්ස්ලාට උත්සාහක දිනුම් 06 කි. රෙයිකෝ අයෝනේ 02, ජෝර්ඩන් බැරෙට්, ආරොන් ස්මිත්, කෝඩි ටේලර් සහ ආර්ඩි සාවියාට 01 බැගිනි. බියුඩෙන් බ‍ැරෙට්ට ප්‍රවර්තන දෙකකි.

පස්වන වටය(සැප්තැම්බර් 29)

නවසීලන්තය 35 - 17 ආර්ජන්ටිනාව

මෙම තරගය පැවැත්වූයේ බුවනොස් අයර්ස් නුවර පිහිටි ස්ටාඩියෝ වෙලෙෂ් සාර්ස්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදීය. 50,000 ක් තරගය නරඹන ලදහ.

උත්සාහක දිනුම් 05 ක් ඕල් බ්ලැක්ස්ලා වාර්තා කර ගත්හ. ඊට රියිකෝ අයෝනේ 02, වයිසාකි නාහෝලෝ, පැට්රික් ටුයිපුලෝටු සහ ඇන්ටන් ලියිනර්ට් බ්‍රවුන්ට 01 බැගින් අයත්ය. බියුඩෙන් බැරෙට් 04 සහ රිචඩ් මොඋන්ගා 01 ලෙස ප්‍රවර්තන රැස් කර ගත්හ.

හයවන වටය (ඔක්තෝබර් 06)

නවසීලන්තය 32 - 30 දකුණු අප්‍රිකාව

ප්‍රිටෝරියා නුවර ලොෆ්ටස් වෙර්ස්ෆෙල්ඩ් ක්‍රීඩාංගණයේදී මෙම තියුණු තරගයත් පැවැත්විණි. එය නැරඹූ පිරිස 51,762 කි.

ඕල් බ්ලැක්ස් වෙනුවෙන් උත්සාහක දිනුම් 04 කි. එය රැස් කර ගත්තේ ආරොන් ස්මිත්, රියිකෝ අයෝනේ, ස්කොට් බැරෙට් සහ ආර්ඩි සාවියා 01 බැගිනි. රිචඩ් මොඋන්ගාට ප්‍රවර්තන 03 කි. බියුඩෙන් බැරෙට්ට දඬුවම් පහර 02 කි.

මෙම වාර්ෂිකව රග්බි ‍ශූරතාවලි ඉතිහාසයේදී ම නවසීලන්තයට ශූරතා 06 කි.

ලෝක කුසලානයේ ඕල් බ්ලැක්ස් දස්කම්

මේ දක්වා පැවැති සෑම ලෝක කුසලාන තරගාවලියකදී ම ඕල් බ්ලැක්ස්ලා විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වී තිබේ.

1987 ඔස්ට්‍රේලියාව සහ සිය ‍රටේදී ම පැවැති මංගල ලෝක කුසලාන තරගාවලියේ දී ශූරයෝ වූයේත් නවසීලන්තයයි. ප්‍රංශයට අනුශූරතාවයයි.

1991 තරගාවලිය පැවැත්වූයේ එංගලන්තය ප්‍රමුඛ යුරෝපයේ රටවල් කිහිපයකදීය. එවර ශූරතාව ඔස්ට්‍රේලියාවටයි. අනුශූරතාව එංගලන්තයටයි. එවර නවසීලන්තයට තෙවැනි ස්ථානයයි.

1995 සත්කාරක දකුණු අප්‍රිකාවට ලෝක ශූරතාවය හිමි විය. එවර අනුශූරතාව නවසීලන්තයටයි.

1999 තරගාවලිය පැවැත්වූයේ වේල්සයේදීය. ඔස්ට්‍රේලියාවට ශූරතාවයයි. ප්‍රංශයට අනුශූරතාවයයි. එවර නවසීලන්තයට සිවුවන ස්ථානයෙන් සෑහීමට පත් වීමට සිදුවිය.

2003 සත්කාරක රට වූයේ කැන්ගරු දේශයයි. එංගලන්තය ප්‍රථම වරට ලෝක ශූරයෝ වූහ. ඔස්ට්‍රේලියාවට අනුශූරතාවයයි. නවසීලන්තයට තෙවැනි ස්ථානයයි.

2007 දකුණු අප්‍රිකාව ලෝක ශූ‍රයෝ වූහ. එංගලන්තයට අනුශූරතාවයයි. නවසීලන්තය අර්ධ අවසන් වටයෙන් ඉවත්විය. එවර තරගාවලිය පැවැත්වූයේ ප්‍රංශයේදීය.

2011 නැවත වතාවක් සිය රටේදී ම නවසීලන්තය ලෝක ශූරයෝ වූහ. එවර අනුශූරයෝ ප්‍රංශයයි.

2015 සත්කාරක රට වූයේ එංගලන්තයයි. නවසීලන්තය සිය කිරුළ රැක ගත්තේය. ඒ අසල්වැසි ඔස්ට්‍රේලියාවට එරෙහිවයි.

ඒ අනුව 2019 ලෝක කුසලාන තරගාවලියට ඕල් බ්ලැක්ස්ලා ප්‍රබල ලෙස සූදානම් බව මෙම වසරේ දස්කම් අනුව පැහැදිලිය.

ප්‍රශාන්ත ඇල්පිටිය

Comments