
අටුවා ටීකා ඇවැසි නැත. මලල ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස ලාංකේය මලල ක්‍රීඩා පිටියේ වසර 28ක ඉතිහාසයකට උරුමකම් කියන වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ සුසන්ත ප්‍රනාන්දු හා කතාබහකට මේ ඉඩකඩ වෙන් කළෙමු.
සාමාන්‍යයෙන් කුඩා කාලයේදීම ළමයින් ක්‍රීඩාවට යොමුවීම සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද තිබෙන්නේ?
අපිට ආසන්න රට ඉන්දියාව ගත්තත් 12 පහළ ඉදලා 20 පහළ වයස් කාණ්ඩවල තරග ක්‍රියාකාරි මට්ටමින් ම තිබෙනවා. ඒත් අපේ රටේ තියෙන සමහර ඉසව්වල උදාහරණයකට 14 න් පහල මීටර් 100 විතරයි තියෙන්නේ.
උපතේදීම ශරීරයේ තන්තු වර්ග දෙකක් තියෙනවා. එකක් කෙටි දුරට සහ මැදි දුර දිවීමට තමයි මේවා උපකාරි වෙන්නේ. අපේ රටේ 14 න් පහල ක්‍රීඩකයෙක් මීටර් 100 විතරක් දිවීමෙන් කෙටි දුර දුවන්න පුළුවන් දක්ෂතා තිබෙන අය විතරයි එතැනින් එළියට එන්නේ.
ඒ කියන්නේ මැදි සහ දුර දුවන්න පුළුවන්ද? බැරිද කියලා හොයා ගන්න පුළුවන් ඉසව්වක් අද අපේ රටේ නැහැ කියලද ඔබ කියන්නේ?
ඔව්. ඒක අපට ලොකු අවාසියක්. ඉන්දියාවේ මීටර් 800 දක්වා මේ වයස් කාණ්ඩවල ඉසව් ක්‍රියාත්මක වෙනවා. ප්‍රශ්නය තියෙන්නේ මීටර් 800 දක්වා ඉසව් අතරට ළමයින් දාන කොට ඒ පිළිබඳ විද්‍යාත්මක පුහුණුව ගුරු වරුන්ට හෝ පුහුණුකරුවන්ට ලබා දෙන්න ඕනේ
අද වෙන කොට පාසල් පද්ධතියේ විශාල පිරිසකට මේ දැනුම ලැබෙනවා. කුඩා ළමයින් පුහුණු කිරීම ගැන නිසි ක්‍රමවේදය. ඒත් අද වෙන කොට විශේෂයෙන් නාගරිකව ගත්තොත් කුඩා ළමයින්ගේ වයස ඉක්මවා යන පුහුණුවක් ලබා දෙනවා කියලා හිතෙනවා.
රටක සංවර්ධනයේ ප්‍රධාන නිර්ණායක අතරට ක්‍රිඩාත් අයිතිවන පසුබිමක අපේ රටේ එහෙම තත්වයක් තියෙනවාද?
ඒක කතා කරන්නම ඕන දෙයක්. අද අපේ රටේ පාසල් ළමුන්ගේ බෝ නොවන රෝග වැළදීමේ ප්‍රතිශතය ඉතාමත් ඉහල මට්ටමක තියෙනවා. ඒක මේ වන කොට සමීක්ෂණ වලින් සොයා ගෙන තිබෙන නිසා තමයි අධ්‍යාපන අමාත්‍යාංශය හය වසරේ ඉඳලා ළමයින් මොකක් හරි ක්‍රීඩාවක් කරන්න ඕන කියන තැනට ඇවිත් තියෙන්නේ. අද ජාතික හෝ ජාත්‍යන්තර පදක්කමට යනවට වඩා නිරෝගී දරු පරපුරක් බිහි කර ගැනීමේ අරමුණ ඇතුව වැඩ කිරීම මූලික ඉලක්කයක් වෙලා තියෙනවා.
දෙවැනි කරුණ තමයි විශේෂ කුසලතා තියෙන දරුවන් තෝරාගෙන ජාත්‍යන්තරය දක්වා ගෙන යාමට හරියන වැඩ සටහනක් හදාගන්න ඕනැ. අද එක් ක්‍රීඩාවක් අනිවාර්යය කරලා තිබ්බත් අදටත් එය දකින්න නෑ.
අපේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් තියෙනවාද?
අද අපේ රටේ තියෙන තරගකාරි අධ්‍යාපන රටාවත් එක්ක අම්මලා තාත්තලා යොමු වෙලා තියෙනවා ක්‍රීඩාව දුරස් කරලා අධ්‍යාපනයට විතරක් ප්‍රමුඛතාව දෙන වැඩ පිළිවෙළක්. අද හුඟක් අම්මලා - තාත්තලා හිතනවා ක්‍රීඩාව නිසා අධ්‍යාපනයට පාඩු වෙනවා කියලා. මේක සම්පුර්ණයෙන්ම වැරැදි ආකල්පයක්. ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ගත්ත අදටත් ගන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන් 90% ක්ම විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න අය. අපේ රටේ නගරබද නැති වුණත් ගම්බද අදටත් තියෙන්නේ ක්‍රීඩාවට වඩා අධ්‍යාපනය මූලික කරගත් වටපිටාවක්, විශේෂ වැඩ සටහන් ක්‍රියාත්මක කරලා හරි මේ දෙකටම රටේ වැදගත් තැනක් තියෙනවා ප්‍රතිලාභ තියෙනවා කියන මතය සමාජගත කරන්න පුළුවන් නම් හොඳයි. රෝගී පරපුරක් සමාජගත වෙලා වැඩක් නෑ. අද සෞඛ්‍යය පැත්තෙන් ගත්තත් විශාල වියදමක් දරන්න වෙලා තියෙන්නේ. පොඩි කාලේ ඉඳලම ළමයෙක් ව මොකක් හරි ක්‍රීඩාවට යොමු කරන්න පුළුවන් නම් ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනඟන එක අමාරු නෑ.
ජාත්‍යන්තර මට්ටමේ ඉදිරියට එන අති බහුතරයක් ක්‍රිඩක ක්‍රිඩිකාවන් අවුරුදු 15 - 17 දී පුහුණුවීම් පටන් අරගෙන තවත් අවුරුදු 10 ක් වත් උපරිම මට්ටමේ ඉන්නවා. අපේ රටේ අඩු වයසින් ඇවිත් අවුරුදු 20 විතර වන කොට සමහර වෙලාවට හොයා ගන්නත් නෑ. මොකක්ද හේතුව?
පසුගිය ආසියානු කනිෂ්ඨ තරගාවලියේ දස්කම් දැක්වූ ඩිල්ෂි - අමාෂා කියන්නේ වයස අවුරුදු 20 න් පහළ අය. මේ අය තරගාවලිය අවසන් කරලා එන්නේ අපොස උසස් පෙළ විභාගයට ලෑස්ති වෙන්න. නැත්නම් විභාගයට හුඟක් අය හිතනවා 20න් පහළට එන කොට දක්ෂතා යට ගිහින් කියලා. මොනවා වුණත් අධ්‍යාපනයට ප්‍රමුඛතාව දෙන්න වෙනවා. රටේ තත්ත්වයත් ඒ විදියට යන්නේ. ඒ ගොල්ලෝ ඊට පස්සේ තමයි ආයෙත් පුහුණුවීම් ගැන හිතන්නේ. එතෙකාට ඔවුන්ගේ පරණ දක්ෂතා මේ තරගාවලියේ නෑ. විශේෂයෙන් මේ තරගාවලියන් හරහා අපිට බෑ ළමයින්ගේ දක්ෂතා ගැන හරි තක්සේරුවකට එන්න.
20න් පහළ පළමුවතාවට තරගවලට එන අයට විභාග ගැටලු නෑ. ඒ අය තමයි දක්ෂතා අතර ඉදිරියෙන් ඉන්නේ. ක්‍රීඩාවෙන් ඉදිරියට ආපු අයගෙන් 200 කට අධික පිරිසක් විද්‍යාපීඨ ගිහින් වෘත්තින්වලට සම්බන්ධ වෙලා ඉන්නවා.
ඒ කියන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරියට එන්න හරි වැඩ පිළිවෙළක් නැති හින්දා?
ඔව්. ක්‍රීඩාව කරගෙන යන කොට ඔවුන්ට තේරෙනවා මේකෙන් අපේ රටේ ජීවත් වෙන්න වැඩ පිළිවෙළක් නෑ කියලා එතකොට ඔවුන් ජිවිකා වෘත්තියක් තෝරා ගන්නවා. දක්ෂතා තියෙන දරුවන් තව තවත් ඉදිරියට ගන්න, ඔවුන්ව රැක ගන්න වැඩ පිළිවෙළක් අදටත් අපිට නෑ. එවැනි ස්ථීර වැඩ පිළිවෙළක් තිබුණොත් ඔවුන් දිගටම ක්‍රීඩාවේ රැදිලා ඉන්නවා.
අද අපොස උසස් පෙළ සමත්වන හුගක් අය ත්‍රිවිධ හමුදා තෝරා ගන්නවා. එක පැත්තකින් අද ත්‍රිවිධ හමුදාව නැත්නම් රටේ හුගක් ක්‍රීඩා තියෙයිද කියලා හිතා ගන්නත් බෑ.
අද වෙන කොට ක්‍රීඩා අමාත්‍යතුමා හොඳ වැඩක් කරලා තියෙනවා. ආසියානු කණිෂ්ඨ තරගාවලියේ දස්කම් දැක්වූ අයට 2024 ඔලිම්පික් දක්වාම මාසිකව රුපියල් 75,000ක් දක්වා දෙන්න තීරණය කරලා තියෙනවා. මේක ඉතාමත් හොඳ වැඩක් ඔවුන්ට ක්‍රීඩාව තුළ රැදි සිටින්න ඒක ලොකු පිටි වහලක් වෙයි. ඒ වගේම ඔවුන්ගේ පුහුණු කරුවන්ගේ දැනුම යාවත් කාලීන කරනවා නම් මේ ගමන වඩාත් සාර්ථක වෙයි. ඉන්දියාවේ සාර්ථක අත්හදා බැලීම් කරනවා. ඒවායේ ප්‍රතිඵල ඔවුන් ගන්නවා. අද රටේ ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන තැන අනිත් ක්‍රීඩාවලට නෑ. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනෑ. ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ අපි දිනලා තියෙන රන් පදක්කම් 11න් 10 ක් ම දිනලා තියෙන්නේ මලල ක්‍රීඩාවෙන්. ආසියානු කනිෂ්ඨ තරගාවලියේ දක්ෂතා එක්ක බැලුවොත් අතිතයේ වගේ සුගත්- දර්ශා - සුසන්තිකා - ශ්‍රීයානි යුගයක් ඇති වෙමින් තියෙනවා. මේ තත්ත්වය අපි වර්ධනය කර ගන්න ඕනෑ.
තරගාවලියකට යන්නේ මනස පුරව ගෙනද ? හිස් කර ගෙනද?
අවසන් පුහුණුවීම් සැසිය ඉවර වුණාට පස්සේ ළමයින්ට කතා කරලා ඔවුන්ව ධෛර්යවත් කරලා ආවාට පස්සේ තරග ඉවර වෙනකම්ම මම ඔවුන් දිහා බලන්නෙවත් නෑ.මම ඒ වෙන කොට ඔවුන්ව සම්පුර්ණයෙන්ම තරගාවලියට ඕනෑ කරන විදියට කායිකව සහ මානසිකව ගොඩනගලා තියෙන්නේ. හදිසි අවස්ථාවකදි ළමයකුට මොකක් හරි ගැටලුවක් මතු වුණොත් බලනවා මිසක් නැත්නම් තරගාවලිය අවසන් වන තෙක්ම ඔවුන් එක්ක ගනුදෙනුවක් කරන්නේ නෑ.
අපි මේ ළමයි ජාත්‍යන්තරය ඉලක්ක කර ගෙන ගොඩනගන්නේ අපිට එතැනදී වුණත් හැම දෙයකට ම මැදිහත් වෙන්න බෑ. මම හැම වෙලාවෙම ළමයාගේ මනසට අවශ්‍ය හැම දෙයක් ම හදලා තමයි තරගයකට යවන්නේ.
අවුරුදු 28 ක් තිබෙන මගේ පුහුණු ඉතිහාසය ඇතුළේ ශූරතාව හෝ අනුශුරතාව දිනලා තිබෙනවා. තෙවැනි තැනටත් පත්වෙලා තියෙනවා. ශුරතා දින්නට පස්සේ අභියෝගය වැඩිය. ඒ දිනපු ශුරතා රැක ගන්න ඕනෑ. ඒක හරිම අමාරු දෙයක්. අපි දිනුවොත් අවුලක් නෑ. පැරදුණොත් කියන්නේ වලල වැටිලනේ කියලයි. මේ හැම දෙයක්ම තරගාවලියකට කලින් ළමයින්ට මතක් කරලා දෙනවා.
අමාරු ම වැඩෙත් මේක නේද?
ඇත්ත. අමාරු ම දේ තමයි මේක. මොන පීඩනයක් තිබ්බත් මම ළමයින්ට මේ දේ දැනෙන්න දෙන්නේ නෑ. ළමයෙකුට කතා කරන්න ම ඕනෑ කියන හිතුණොත් විතරයි කතා කරන්නේ. සමහර අවස්ථාවලදී අවාසනාවත්ත, අනපේක්ෂිත අවස්ථාවන්ට මුහුණ දෙන්න වෙනවා. ඒවා මඟ හරවා ගෙන යන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ.
ඔබේ පුහුණුකරුවකු විදියට ආපු පළමු වැනි තරගාවලිය මතකද?
1990 දී. තමයි සමස්ත ලංකා තරගාවලියකට එක් ළමයෙක් එක්කර ගෙන ආවේ. මුලික තරගයෙන් ම ඒ ළමයා එළියට ගියා. විශේෂයෙන් ඒ දවස්වල බාලක බාලිකා අංශ දෙකෙන් ම නාගරික ළමයි තමයි ඉදිරියෙන් හිටියේ ඇයි අපිටත් බැරි කියන දේ තමයි මම එදා හිතා ගත්තේ. රට දිනන්න කලින් පළාත, ඒ කියන‍්නේ මධ්‍යම පළාත දිනන්න ඕනෑ කියලා හිතුවා. ත්‍රිත්ව, ශාන්ත අන්තෝනි, ධර්මරාජ, මහාමායා, උසස් බාලිකා මේ ඉස්කෝල තමයි මධ්‍යම පළාතේ මලල ක්‍රීඩාවෙන් ඉදිරියෙන් හිටියේ.
1990 දි මම වලල ළමයින්ට කිව්වෙත් තව අවුරුදු තුනක් යන කොට මධ්‍යම පළාත අපි ජය ගන්න ඕනෑ කියලා. 93 දී මධ්‍යම පළාතේ ශූරතාව දිනා ගත්තා. ඊට පස්සේ සමස්ත ලංකා තරගාවලිය සැලසුම් කළේ. 1995 -98 වන කොට අපි ක්‍රමයෙන් ඉදිරියට ඇවිත් 98 දී සමස්ත ලංකා ශුරතාව දිනා ගත්තා. ඒ අවුරුදු අටකට පස්සේ. 2000 ඉදලා බාලක බාලිකා ශුරතා ද්විත්වය ම අවස්ථා 19 කදී දිනා ගෙන තියෙනවා. සමස්ත ශුරතා බාලක - බාලිකා වශයෙන් ගත්තම වලල දැනට 75 කට වඩා දිනා ගෙන තියෙනවා. වලල සහාය පුහුණු කරුවන් හතර දෙනාත් මගේ ගෝලයෝ. ඔවුන් විද්‍යාපීඨ උසස් අධ්‍යාපනයෙන් පස්සේ එකතු වෙලා ඉන්නේ.
1990 ඉදලා ගත්තම දීර්ඝ කාලයක්, මේ කාලය තුළ ඉගෙන ගන්න දේවල්, ප්‍රගුණ කරපු දේවල් එක්ක ඔබට පුළුවන් ද අනවශ්‍ය දේවල් ඔක්කෝම පැත්තකින් තියලා ග්‍රවුන්ඩ් එකට එන්න?
මේ ගමන සුන්දර නෑ. තාඩන - පීඩන - හැල හැප්පිලි එක්ක ආපු ගමනක් තියෙන්නේ. මගේ වලල ළමයින්ට විවිධ අවස්ථාවලදී ඕනැ තරම් අසාධරණකම් සිද්ධ වෙලා තියෙනවා. මේ කිසිම දේකදි මමවත් ළමයින්වත් වැටුණේ නෑ. එහෙම එක පාරක් හරි වැටිලා තිබුණා නම් අපිට මේ ගමන මෙච්චර දුර එන්න වෙන්නේ නෑ. අපි මේවා අවියක් කරගෙන ඉදිරියට ආපු නිසා තමයි මේ ගමන මෙච්චර දුර ආවේ. අපේ දක්ෂතා ගැන විශ්වාසයක් තියෙන තාක් කල් අපිට අනවශ්‍ය දේවල් එළියේ තියලා එන්න පුළුවන්.
වලල ළමයි පුහුණුවීම් කරන්නේ මැටි ගොඩක. හොඳම වර්ගයේ සපත්තු වෙනුවට ඔවුන් පාවිච්චි කරන්නේ ප්ලාස්ටර් කැලි. මේ දේවල් ඔබට කියලා දීපු ලොකුම පාඩම මොකක්ද?
වලල ක්‍රීඩා පිටිය මීටර් 200 යි. ඒකත් ප්‍රමිතියකට නෑ. මීටර් 150 ක කවාකාර විදියට තියෙන්නේ. ක්‍රීඩකයෙක් මීටර් 400 තත්පර පනහට ආවට පස්සේ මේකේ දුවන එක හරිම අවදානම්. අපි ඒ නිසා පුහුණු සැලසුම් පවා සීමා සහිතව කරපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මේ හැම දෙයක්ම අභියෝග තමයි. හැබැයි පසුගිය අවුරුදු විස්සම ගත්තොත් මේ අභියෝග ජය ගෙන තියෙනවා. දැනට සතියකට දින 2-3 ක් දිගන ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කරනවා. අපේ දක්ෂතා වර්ධනයට ඒක ලොකු පිටිවහලක් වෙලා තියෙනවා.
ලංකාවේ ක්‍රීඩා පාසල්වල තත්ත්වය මොකක්ද?
අනූව දශකයේ මුල් භාගයේ තමයි ක්‍රීඩා පාසල් ආරම්භ කළේ 1995 තමයි පළාත් සභාව හරහා වලල ක්‍රීඩා පාසල ආරම්භ කළේ. අනෙක් ක්‍රීඩා පාසල් (රේඛීය) අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ආරම්භයේ මේ හැම පාසලක් ම හුඟක් ඉදිරියෙන් හිටියා. කොළඹ අභිබවා යන්න ඒ පාසල්වලට මලල ක්‍රීඩාවෙන් පුළුවන් වුණා.
පසුකාලීනව ක්‍රීඩා පාසල්වල දුර්වලතා නිසා පසු බැස්මක් තියෙනවා. ක්‍රීඩා පාසල් අසාර්ථක වන බවක් පැහැදිලිව පෙන්න තියෙනවා. අපේ පාසල හා මධ්‍යම පළාත් සභාව අතර තිබෙන චක්‍ර ලේඛනය ජාතික පාසල් අතර තියෙන චක්‍ර ලේඛනයට වඩා වෙනස්.
ක්‍රීඩා පාසල්වල කෑම බීම නෑ, පහසුකම් නෑ ඒ නිසා අසාර්ථකයි කියනවාට එකඟ වෙන්න බෑ. මේ ගමන විධිමත් පුහුණුව, අධ්‍යයනය, ප්‍රගතිය තුලින් යන්න ඕනෑ එකක්. ක්‍රීඩා පාසල් නගා සිටුවන්න පුළුවන් නම් දක්ෂ ළමයි ඉදිරියට ගන්න පුළුවන්. අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම් තේරුම් ඇති දක්ෂයෝ මේ වැඩේට නැවතත් අත ගහනවා නම් ගොඩ යන්න පුළුවන්. උපදේශකයෝ පවා දක්ෂයෝ වෙන්න ඕනෑ.
දීර්ඝ කාලයක් තිස්සේ පාසල් පුහුණුකරුවන් යටතේ දක්ෂතා ප්‍රගුණ කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කමට ගිය ගමන් එක පාර මේ පුහුණුකරුවන්ගෙන් කඩලා ජාතික පුහුණුකරුට - ජාතික සංචිතයට කැඳවනවාට වඩා මුල් පුහුණුකරුවන් යටතේ තවදුරටත් පුහුණුවීම් වලට අවස්ථාව දීලා ක්‍රමානුකූලව ඉදිරියට ගන්න ගමන් මේ පුහුණුකරුවන්ගේ දැනුමත් යාවත් කාලීන කිරීම නේද වඩා සාර්ථක?
ඔව්, පසුගිය ආසියානු කනිෂ්ඨ, දකුණු ආසියානු කනිෂ්ඨ තරගාවලියේ දක්ෂතා අතර සිටි සියලු ක්‍රීඩක - ක්‍රීඩිකාවන් දීර්ඝ කාලයක් පාසල් පුහුණුකරුවන් යටතේ තම තමන්ගේ දක්ෂතා ප්‍රගුණ කරපු අය. මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැක බලා ගන්නා අතර ම තව කාලයක් මුල් පුහුණුකරුවන්ගේ සෙවණේ ම හැදෙන්න දෙනවා නම් හොඳයි. ඒ වගේ ම මේ මුල් පුහුණුකරුවන්ටත් තම තමන්ගේ දැනුම යාවත්කාලීන කර ගනිමින් ඉදිරියට යන්න අවස්ථාව දෙන්න ඕනෑ. අද මේ දේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. -
පාසල් පුහුණුකරුවන්ගෙන් හරි මුල් පුහුණුකරුවන්ගෙන් හරි ළමයෙක් ගන්න කලින් මේ ගැන අවධානය යොමු කරනවා නම් වඩාත් සාර්ථක ගමනක් යන්න පුළුවන්. අද ජාතික වොලිබෝල් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සර්බියානු ජාතිකයෙක් වුණාට සහාය පුහුණුකරු චාල්ස් තිලකරත්න, ඔහුට පාසල් වොලිබෝල් පිටියේ වගේ ම ක්‍රීඩා සමාජවල දක්ෂතා අතර ඉන්න ක්‍රීඩකයන් ගැනත් හොඳ අවබෝධයක් තියෙනවා.
ඡායාරූප - ගාමිණී රණසිංහ










