අශාන් සිල්වාට 14 වැනි වරටත් ජය | සිළුමිණ

අශාන් සිල්වාට 14 වැනි වරටත් ජය

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය, (ස්ලඩා) ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව සංවිධානය කරනු ලැබූ රොතැන්හැම් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ ශූරතා මෝටර් රථ ‘ග්‍රොන් ප්‍රී’ තරග ඉසව්වෙන් ජයගත් අශාන් සිල්වා වසරේ 14 වැනි ජයග්‍රහණයත් තමන් සතු කර ගත්තේය.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමය (ස්ලඩා) සියැට් කැලණි ටයර් සමාගම සමග එක්ව සංවිධානය කරන “සියැට් - ස්ලඩා” ශූරතා තරගමාලාවේ පස්වන හා අවසන් තරගාවලිය රොතන්හැම් මාණ්ඩලික මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය වු අතර එම තරගාවලිය කටුකුරුන්ද ගුවන් හමුදා ගුවන් ධාවන පථයේදී පසුගිය දා අවසන් විය. මෙවර රොතන්හැම් තරගාවලියට යතුරුපැදි තරග ඉසව් 5ක් හා මෝටර් රථ තරග ඉසව් 11ක් වෙනුවෙන් තරගකරුවන් 150ට අධික පිරිසක් ධාවන පථයට එක්ව සිටියේය. ඒ පිරිසෙන් මෝටර් රථ ක්‍රීඩා ඉසව් නියෝජනය කළ කිසිවෙකුටත් ධාවන ශූර අශාන් සිල්වාට අභියෝග කිරීමට නොහැකි විය.

සමස්ත තරගාවලියේම නව මානයකට යොමු කළ තරග ඉසව්ව වු එස්.එල්./ජී.ටී. 3500 සී.සී. ‘ග්‍රෝන් ප්‍රී’ තරග ඉසව්වෙන් සුවිශේෂ දක්ෂතාවයන් ප්‍රදර්ශණය කරමින් කිසිවෙකුට කිසිලෙස අභියෝග කළ නොහැකි ලෙස තරගය නිමා කළ අශාන් සිල්වා දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස අභිෂේක ලැබීමට සමත් විය. වට 22කින් සමන්විත වු ‘ග්‍රෝන් ප්‍රී’ තරග ඉසව්ව නියෝජනය කරමින් තරග කරුවන් 20කට ආසන්න පිරිසක් තරගාවලියට එක්ව සිටි අතර අරවින්ද ප්‍රේමදාස, කුෂාන් පීරීස්, උෂාන් පෙරේරා, ඩැරන් වීරසිංහ, දිනේෂ් ජයවර්ධන, මිස්සක නවීන් හා ජනක ඩයස් යන ප්‍රවීණ හා අත්දැකීම් බහුල රියදුරන් තරග ඉසව්ව නියෝජනය කලත් කිසිවෙකුට කිසි ලෙසකවත් අශාන්ට අභියෝග කළ නොහැකි විය.

ජාත්‍යන්තර තරග ආරම්භයක් ‘ග්‍රෝන් ප්‍රී‘ තරගයට ලබා දී තිබු අතර සියලු ධාවකයන් උදෙසා ගුවන් හමුදාපතිගේ මූලිකත්වයෙන් මතක සටහන් තිළිණයක් ප්‍රදානය කිරීමට සංවිධායකයන් කටයුතු කර තිබුණි. පෙරදින කාල ගණනයේදී පෑ දක්ෂතාවයන් අනුව පෙළගැසු‍ෙණ් රියදුරන් අශාන්, මිස්සක, කුෂාන් හා සජාඩ් ලෙස පෙළගැසුණු අතර ජනකට හිමිවුයේ දසවන ස්ථානයයි. ආම්භක සංඥාව ලද සැනීන් ආරම්භය ලබාගත් අශාන් කිසිවෙකුට වට 22ක තුලම අභියෝග කළ නොහැකි ලෙස ඉදිරියට ඇදී ගියේය. අශාන්ට පසුපසින් දෙවැන්නා ලෙස කලය සටන් කර තිබූ මිස්සක හොදින් තරග ආරම්භය ලබාගෙන වට පහක් අවසන් වන තුරු දෙවන ස්ථානයේ රැදී සිටිමට සමත් විය. මිස්සකගේ අතපසුවීමේන් ප්‍රයෝජන ගත් කුෂාන් හයවන වටයේදී මිස්සක පසුකර යමින් දෙවැන්නා විය. ඉන් පසුව හත්වන වටයේදී මිස්සකව සිව්වැනි ස්ථානයට අද දැමු සජාඩ් තුන්වන ස්ථානයට පැමිණියේය. තරගය අවසන් වන තෙක්ම සජාඩ් තුන්වන ස්ථානය රැගැනීමට සමත් විය. මිස්සක සිව්වන ස්ථානය රැකගැනීමට සමත් වු අතර දහ‍වැන්නා ලෙස තරගයට ප්‍රවිශ්ෂට වු ජනක ග්‍රෝන් ප්‍රී තරග ඉසව්වේ කැපීපෙනෙන විරයෙකු විය. දසවැන්නා ලෙස තරග ආරම්භය ලබාගත් ජනක එකින් එකා පසුකර යමින් පස්වන ස්ථානය වෙත ජව සම්පන්නව ළගා වු අතර ජනක සමස්ත මෝටර් රථ ක්‍රීඩා ලෝලීන්ටම මතත සිටින අත් දැකීමක් එක් කිරීමට සමත් විය. ජනක ඩයස් තරගය නිමා කළේ පස්වැන්නා ලෙසයි.

දිනයේ දෙවන වේගවත්ම තරග ඉසව්ව වු එස්.එල්. - ඒච්. 1618 සී.සී.‍ නවිකරණය නොකරන ලද මෝටර් රථ තරග ඉසව්වෙන් ඉර්ෆාන් ෆූවාඩ් ජයගත් අතර රන්දික නිරෝෂ් දෙවැන්නා විය.

උද්වේගකර දිනයක උද්වේගකර සටනක් ආරම්භ කරමින් ඇරැඹි එස්.එල්. - එන්. කාණ්ඩයේ 1500 සී.සී.‍ ෆෝඩ් ලේසර් /මැස්ඩා මෝටර් රථ තරග ඉසව්වෙන් පහසු ජයක් කුෂාන් පිරීස් හිමිකරගත් අතර දිනයේ වැඩිම තරග කරුවන් පිරිසක් නියෝජනය කළ තරග ඉසව්ව වුයේ එස්.එල්. - ඊ. 1300 සී.සී.ෆෝඩ් ලේසර් /මැස්ඩා තරග ඉසව්වෙන් දෙවින් සේරසිංහට අභියෝග කළ මනුර වික්‍රමාරච්චි තරගය ජයගත්තේය. දෙවින්ට හිමි වුයේ දෙවන ස්ථානයයි. ශෙනාල් ගුණවර්ධන එස්.එල්. - එන්. කාණ්ඩයේ 1300 සී.සී.‍ ෆෝඩ් ලේසර් /මැස්ඩා මෝටර් රථ තරග ඉසව්වෙන් ජයගත්තේය.

චානක රත්නායක එස්.එල්. - ඊ. කාණ්ඩයේ 1275 සී.සී.මිනි මෝටර් රථ තරග ඉසව්වෙන් ජයගත් අතර එස්.එල්. - ඒ. කාණ්ඩයේ මිනි 7 1000 සී.සී. මෝටර් රථ තරග ඉසව්වෙන් ජයහිමි වුයේ ලක්මාල් වි‍ජේරත්නටයි. ලක්මාල්ද දිගු විරාමයකින් පසු ධාවන පථයට ප්‍රවිෂ්ට වු රියැදුරෙකී. සකීර් වාහාබ් පරයා යමින් ගිහාන් දිරසේකර එස්.එල්. - එස්. කාණ්ඩයේ 1500 සී.සී. විශේෂිත මෝටර් රථ තරග ඉසව්වෙන් ජයගත් අතර නදිර ජිනසේන පසුකර යමින් තිරාන් පෙරේරා එස්.එල්. - ඒ. කාණ්ඩයේ නවීකරණය කරන ලද 1050 සී.සී.මෝටර් රථ තරග ඉසව්වෙන් ජය වාර්තා කිරීමට සමත් වුහ.

නිකිල පතිරගේ, විනුල පතිරගේ දෙසොහොයුරන් පසුකර යමින් හංසිකා අබේසිංහ ‘ඕ’ කාණ්ඩයේ 125 – 160 සී.සී. (4ටී)මෝනෝ සිලින්ඩර් යතුරුපැදි තරග ඉසව්වෙන් ජයගැනීමට සමත් වු අතර දුෂාන් මුදලිගේ ‘එස්.එම්.’ කාණ්ඩයේ සූපර් මෝටාඩ් 250 සී.සී. යතුරුපැදි තරගයෙන් ජය ගත්තේය. සංගීත් සූරියගේ ‘එස්.එම්.’ කාණ්ඩයේ සූපර් මෝටාඩ් 250 – 750 සී.සී.(4ටී.) /125 – 500 සී.සී. (2ටී.) යතුරුපැදි තරගයෙන් ජය වාර්තා කිරීමට සමත් විය.

නිපුන් දිලංක එම්.’කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. 250 සී.සී. (4ටී.) ජයගත් අතර දිනෙත් රණසිංහ දෙවැන්නා විය. ඩබ්ලිව්.එම්.වීරසිංහ ‘එම්.’කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. 100 – 125 සී.සී. (2ටී.) යතුරුපැද තරග ඉසව්වෙන් ජයගත්තේය.

රොතන්හැම් තරගාවලිය වර්ණවත් කිරීමට හා මෝටර් රථ ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමයේ (ස්ලඩා) ජේෂ්ට සමාජික මහේෂ් ගම්මන්පිල මහතාගේ යෝජනාවක් අනුව රො‍තන්හැම් තරගාවලියට ඇදා තිබූ ග්‍රෝන් ප්‍රී මෝටර් රථ තරග ඉසව්ව හ යතුරුපැදි තරග ඉසව්ව ඉතාමත් කාලෝචිත ක්‍රීයා දාමයක් වුවත් සංවිධායකයන්ගේ අභිලාෂයන් නිසි ආකාරව මුදුන් පමුණුවා ගත නොහැකි ලෙස ක්‍රීයා කළ 1000 සී.සී. යතුරුපැදි ක්‍රීඩකයන් තරගාවලිය වර්ජනය කළේය. ඔවුන් තරගාවලියට ප්‍රථම මාධ්‍ය හමුවක් කැදවා ප්‍රවීණ යතුරුපැදි ධාවක මදුරංග කල්දේරා, ශ්‍රීයන්ත අනුරාධ, ප්‍රමුඛ සේසත් හා නඳුන් විජේසේකර ප්‍රමුඛ ධාවකයන් 10 දෙනෙකු පවසා සිටියේ කිසිඳු යටිතල පහසුකමක් සංවර්ධනය නොකොට වට 22කින් සමන් විත 1000 සී.සී. ග්‍රෝන් ප්‍රී යතුරුපාදි තරග ඉසව්වක් තරගාවලියට එක් කිරීම අත්තනොමතික තීරණයක් බවයි.

2016 වසරේදී රොතන්හැම් මාණ්ඩලික තරගාවලියට ප්‍රථම වරට කටුකුරුන්ද ධාවන පථයේ වට 16කින් සමන් විත 1000සී.සී. ග්‍රෝන් ප්‍රී යතුරුපැදි තරග ඉසව්වට එක් වු තරගකරුවන් එදා එම තරගාවලිය වර්ජය නොකළේය. එදා ඔවුන් මේ නැවුම් අත් දැකීම විද ගනිමින් හොඳින් තරග කළ අතර අපද එය වාර්තා කළේ කාලෝචිත ක්‍රීයාවක් ලෙසයි. 2017 වසරේදී ද නැවතත් ඒ වැනිම යතුරුපැදි තරග ඉසව්වක් රොතන්හැම් තරගාවලියට එක කළ විට මේ මාධ්‍ය හමුව කැඳවා සිටි කිසිවෙකු තම විරෝධයවත් තමන්ට ඇති අඩුපාඩු ගැනවත් කිසිඳු කතා බහක් එළි පිට ප්‍රකාශ නොකළේය. ඔවුන් තරග කළේය. ජයගත්තේය. ජයසංකේත හිමිකරගත්තේය. කිසිවෙක් ඒ පිළිබදව විවේචන නොකළහ.

මෝටර් රථ ක්‍රීඩාව මේ වන විට ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස ප්‍රචලිත වෙමින් පවතින වකවානුවක මෙවැනි අවලාද අපහාස මෝටර් රථ ක්‍රීඩාවට අනුචිතය. මක් නිසාද යත් සර්ව සම්පූර්ණ ක්‍රීඩාවක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රීයාත්මක නොවන බැවිනී. අධික පිරිවැයක් යොදා සංවිධානය කරන මෝටර් රථ තරගමාලා වෙනුවෙන් අනුග්‍රහකයන් සොයාගැනීමද භාර ධූර කටයුත්තක් වන මේ වකවානුවේ කැපවීමේන් ක්‍රීයා කරන මෝටර් රථ ක්‍රීඩා සංගම් අගය කළ යුතුය. මේ වසරේ සංවිධානය වන තරගමාලා අතර “හච් ශ්‍රී ලංකා සුපර් සීරීස්” තරගමාලාව මෝටර් රථ හා යතුරු පැදි ක්‍රීඩකයන්ට හිමි වු සුවිශේෂ අවස්ථාවකි.

ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (ස්ලාඩාර්) නවින මෝටර් රථ දෙකක් නවීනතම යතුරුපැදි දෙකක් ප්‍රදානය කරමින් මෝටර් රථ ක්‍රීඩාවේ ප්‍රගමනයට කටයුතු කරමින් සිටින මොහොතක ක්‍රීඩකයන් වඩාත් නම්‍යශීලීව කටයුතු කළ යුතුය. මන්ද යත් මේ හැම සත්කාරයක්ම ගොඩනගමින් තිබෙන්නේ තමන් උදෙසා වන බැවින් වන නිසාය. එමෙන්ම ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය ද (ස්ලඩා) වාර්ෂිකව ‘සියැට් - ස්ලඩා’ තරගාවලිය සංවිධානය කරමින් මෝටර් රථ ක්‍රීඩාවට විශාල දායකත්වයක් සපයයි. එය ද අවතක්සේරු කල නොහැක.

රොතන්හැම් තරගාවලියට සංවිධායකයන් විසින් එක් කිරීමට සැලැසුම් කර තිබූ 1000සී.සී. ග්‍රෝන් ප්‍රී යතුරුපැදි තරග ඉසව්ව වර්ජනය කිරීම කිසි ලෙසකවත් අනුමත කළ නොහැකිය. එම තරගාවලිය වර්ජනය කිරීමෙන් පැහැදිලි අනාගතයක් ඇති නවක ක්‍රීඩකයන්ට හිමිවිමට තිබු ඉතා හොඳ අවස්ථාවක් අහිමි විය. අත්දැකිමක් මඟ හැරුණී. දැනුම් සම්භාරයක් මඟ හැරුණී. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියම්ද ? යයි ගැමි ව්‍යවහාරයේ පවසන කියමන සනාථ කළ ධාවකයන් ප්‍රවීණයන් ලෙස ක්‍රීයා නොකොට අාධුනිකයන් නවකයින් ලෙස ක්‍රීයා කිරීම කනගාටුවට කරුණකී.

මොනයම් හෝ ක්‍රීඩාවක් ක්‍රීඩාවේ ප්‍රගමනයට ක්‍රීයා කළ යුතු වන්නේ ජත්‍යන්තරය ජයගත හැකි ජාතික තරගකරුවන් පිරිසක් බිහි කිරීමට කටයුතු කිරීමෙනි. බලධාරීන් තම සුඛ විහරණය තකා කටයුතු නොකොට විනිවිද භාවයකින් කටයුතු කොට ක්‍රීඩාවේ අනාගතය ගොඩ නැගිය යුතුය. ඒ වෙනුවෙන් ක්‍රීඩකයන්ද තම දායකත්වය උපරිමයෙන් ලබා දිය යුතුය.

Comments