පාරමී වෙනුවෙන් කැපවෙලා පොල් ගහක් යට වැටිලා හිටියත් දුකක් නෑ | සිළුමිණ

පාරමී වෙනුවෙන් කැපවෙලා පොල් ගහක් යට වැටිලා හිටියත් දුකක් නෑ

ලාංකේය ක්‍රීඩා ජීවිතවල යටගියාව හාරා ඇවිස්සීමේදී නිබඳවම අසන්නට ලැබෙන්නේ හද පත්ලෙන්ම නැගෙන මෙකී ගමනේ ජය කණුව කරා පියමනින්නට කළ දුෂ්කර ක්‍රියාවේ දෝංකාරයන්ය.

එසේ වෙර වීරියෙන් ගොඩනගාගත් ලාංකේය ක්‍රීඩා ජීවිත පිළිබඳ කතාබහ කරන්න සදාදරණීය අම්මා තරම් වෙන කවුරුද? ලාංකේය ක්‍රීඩා ජීවිත තුළ ජවය - ශක්තිය මෙන්ම ආශිර්වාදයේ ප්‍රතිමූර්තිය බවට පත්ව සිටින්නේ ද අම්මායි.

තම දූ පුතුන් වෙනුවෙන් දහස්වර අනේකවිධ කැප කිරීම් කළ අම්මා අද එකී අතිතයේ දුක් කඳුළු ගැන මෙනෙහි කරමින් තුටු කඳුළු සලන්නීය.

සතුට දෝරේ ගලනා මෙවන් හැඟුම්බර මොහොතක සෙවණැල්ල අම්මා කෙනෙකුගේ සෙනෙහේබර සාඩම්බරය ළැබැදියාවෙන් අකුරු කරන්නට ගන්නා උත්සාහයයි මේ. එන්න අපි ඒ සෙවණැල්ල සොයා ගෙන යමු...

ආර්ජන්ටිනාවේ පැවැති තෙවැනි යොවුන් ඔලිම්පික් උ‍ෙලළේ මීටර් 2000 බාධක දීවීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් පාරමී වසන්ති මාරිස්ටෙලා ලෝක යොවුන් මලල ක්‍රීඩා ශුරතාවලිය, ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලිය ගත්ත ද කනිෂ්ඨ අංශයේ පදක්කමක් දිනූ ප්‍රථමයා ලෙස ද ඉතිහාසගත වේ. 2007 දී සුසන්තිකා ජයසිංහ ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියේ පදක්කමක් දිනා ගැනීමෙන් පසු ජාත්‍යන්තර තරගාවලියක දශකයකට අධික කාලයකට පසු හිමි වූ ප්‍රථම පදක්කම ද මෙය වේ. එමෙන්ම පාරමී ශ්‍රී ලංකා යොවුන් කාන්තා රග්බි කණ්ඩායම ද නියෝජනය කර තිබේ. ඒ 2017 දීය. පාරමී පිළිබඳ කතාබහකට අපි මේ ඉඩකඩ ඇගේ මවට වෙන් කළෙමු.

අපි පාරමීගෙන්ම කතාව පටන් ගමු?

2001 මැයි 26 දී තමයි කොළඹ ද සොයිසා රෝහලේ දී පාරමී ඉපදුණේ පාරමී පවුලේ බාලයා. අයියයි, අක්කයි, මමයි - මහත්තයයි.අක්කා නිශාන්ති දිල්හානි ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව නියෝජනය කරලා තියෙනවා. දැනට බෙලිහුල්ඔය සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා.

පාරමී කුලියාපිටිය මැදි විදුහලේ ඉගෙන ගන්නේ. මේ පාර අපොස සාමාන්‍ය පෙළ විභාගය කරනවා. පොඩි කාලයේ නව වසර දක්වා ගියේ අඹකඳවිල විද්‍යාලයට. ඊට පස්සේ තමයි කුලියාපිටිය මැදි විදුහලට ගියේ. මම රීටා මාග්‍රට් සිල්වා - තාත්තා අන්තෝනි තියෝඩර්, අයියා ක්‍රිශාන්ත පැතුම්.

පාරමී වසන්ති මාරිස්ටෙලා කියලා නම තිබ්බේ කවුරුද?

පාරමී දුවට ඔය නම තිබ්බ විදිය දිග කතාවක්.

අපි කැමැතියි ඔය දිග කතාව දැනගන්න?

දුව ලැබෙන්න ඉන්න කොට මම ගොඩක් අසනීප වුණා. දුව ලැබෙන්න මාස තුනක් විතර තියෙන කොට, මගේ නාහෙන් කටින් ලේ දාන්න පටන් ගත්තා. බලපු හැම දොස්තර කෙනෙක්ම කිව්වේ බබා ඉපදු‍ණොත් එයා මොන විදියකට හරි ආබාධිත වෙයි කියලා, ලෙඩෙක් වෙයි කියලා.

එතකොට දොස්තරලගේ තීරණය වුණේ ?

දොස්තරලා කි‍ව්වේ බබාව හදන්න සුදුසු නෑ කියලයි. ඒත් මම ඒකට කැමැති වුණේ නෑ.

ඔබ එවිට මොනවාද කි‍ව්වේ?

මම කිව්වේ ලෙඩෙක්, ආබාධිතයෙක් වුණත් කමක් නෑ. මම එහෙම කිව්වට මගේ අසනීප තත්ත්වයත් දිගින් දිගට ම වැඩි වුණා. පරීක්ෂණ කරපු තැනින් කිව්වේ මගේ ලේ නහර සිහින් වෙලා. ඒවා සිදුරු වෙලා කියලා. වෙන කෙනෙක්ගේ එහෙම වුණා නම් ඒ වෙලාවෙම නැති වෙනවාලු. මගේ වුණේ සිදුරුවලින් පිටවන ලේ නහයෙන් - කටින් පිට කරපු එකයි. මට ඒ දවස්වල ඉඳගෙන හිටගෙන ඉන්න වත් බෑනේ ලේ වැක්කෙරෙනවා. ජීවිතය ගැන ආසාව පවා අතහරලා හිටියේ. හැබැයි බබා ගැන ලොකු ආසාවකින් හිටියේ.

ඒ වෙලාවේ වෛද්‍යවරුන්ගේ තීරණය වුණේ මොකක් ද?

බැලුන් එකක් දාලා සිදුරු වහන්න ඕනෑ කියලයි. බයිපාස් එකක් කරන්න බෑ කිව්වා බබා ඉන්න හින්දා. පස්සේ එදා රෑම රෝහල්ගත වෙලා දොස්තර කියපු විදියට බැලුන් එක දැම්මට පස්සේ ලේ ගලන එක නතර වුණා. එහෙම ම සොයිසා රෝහලට ඇතුළු කරලා බබා ගැන අවධානයෙන් ඉන්න කිව්වා. පරීක්ෂණ සඳහා ශරීරගත කරන ඩයි වර්ගය බබාට සැරයි කියලත් කිව්වා.

පස්සේ බබා හුස්ම ගන්නේ නෑ කිව්වා. මට බබා දඟලනවා තේරුණෙත් නෑ. එදා රෑ 7.30- 8.00 විතර ප්‍රධාන වෛද්‍යවරයා ඇවිත් බලපු ගමන් කිව්වේ පුළුවන් තරම් ඉක්මනට සීසර් කරලා බබාව ගන්න, වෙලා ගියොත් දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ජීවිත ගැන විශ්වාස කරන්න බෑ කිව්වා.

වෛද්‍යවරුන් ඔබගෙන් මොනවාහරි ඇහැව්වද?

මේ කලබලත් එක්ක මට කිසි දෙයක් හිතා ගන්න බැරුව හිටියේ. අන්තිමේට මම කිව්වද මට කියවුණාද දන්නේ නෑ. දොස්තරලට කැමැති දෙයක් කරන්න කියලා.

පස්සේ සීසර් එකට ඇරගෙන හිරි වැටෙන්න ‍බෙහෙත් විද්දට හිරි වැටුණේ නෑ. හැබැයි බබාව ගත්තා. ඔය දේවල් ඔක්කෝම වන අතරේ මම පොතක ලියලා තිබුණා පාරමී කියලා.

වසන්ති මාරිස්ටෙලා කියන කොටස් ඔය නමට එකතු වුණේ කොහොමද?

දුව හම්බ වෙන කොට මගේ පොඩි නංගි සිස්ටර් කෙනෙක් වෙලා හිටියේ එයාගේ නම වසන්ති. නර්ස්ලා ඇවිත් උප්පැන්න සහතිකයට නම් දෙන්න කිව්වම පාරමී කොටසට එයාගේ වසන්ති කියන කොටස එකතු කරලා. නංගි ඉන්න පල්ලියේ ලොකු සිස්ටර්ගේ නම මාරිස්ටෙලා, නංගිට තේරෙන්නේ නෑ කියලා, ඒ නම් දෙක ලියලා සිස්ටර් මාරිස්ටෙලාට දීලා අක්කාගේ බබාට නම තියන්න කියලා.

ඊට පස්සේ ලොකු සිස්ටර් එයාගේ මාරිස්ටෙලා කියන කොටසත් එකතු කරලා තමයි පාරමී වසන්ති මාරිස්ටෙලා කියලා නම තියලා තියෙන්නේ. දැන් දුවගේ සම්පුර්ණ නම කලුමරක්කලගේ පාරමී වසන්ති මාරිස්ටෙලා ප්‍රනාන්දු. මාරිස්ටෙලා කියන නමටත් අපි ගොඩක් කැමැතියි. එකේ තේරුම සාගරයේ තරුව කියන එකයි.

පාරමීගේ පොඩි කාලේ කොහොමදෙ?

දුව හරිම අහිංසකයි. අක්කා නම් හරි දඟයි. පාරමි මොන දේටත් අඬා ගත්ත ගමන් ම තමයි. සෑහෙන කාලයක් යනකල් මේ ගතිය තිබුණා. ඉස්කොලේට ඇතුළු කරද්දී පාරමී ඒ විදියමයි. හැබැයි කාලයක් යද්දී හරි ගියා.

මගේ අසනීප තත්ත්වයත් ඔය අතරේ වැඩි වුණා. මොන්ටිසෝරි ඇතුළත් කළෙත් අවුරුද්දක් පහුවෙලා. මම එතකොටත් රෝහලේ. අවුරුද්දක් පහුවෙලා තමයි ඉස්කොලේ ගියේ.

ඉගෙනීමට කොහොමද?

ඉගෙන ගන්න දක්ෂයි. ගුරුවරයකුගෙන්වත් වැඩ පාඩු වුණා කියලා අදටත් වචනයක්වත් අහලා නෑ, පාරක්වත් ගුටි කාලා නෑ. අඹකඳවිල ඉස්කොලේට තමයි ඉස්සෙල්ලාම ගියේ. පොඩි දවස්වලවත් එහෙම විශේෂ දෙයක් කියලා තිබුණේ නෑ. හැබැයි අක්කා කරන හැම දෙයක්ම වගේ කරන්න ඕනෑ. අක්කට සමහර වෙලාවට නංගි වදයක් වෙච්ච වෙලාවලුත් තියෙනවා.

අක්කා මේවා කියනවද?

ඔව්. ලොකු දුව වෙරළේ දුවන්නේ රැල්ල පාගන්නත් එක්ක. එයා ඇවිත් හැම වෙලාවේම කියනවා නංගිත් එක්ක බෑ කියලා. පාරමී දුවට කොච්චර එපා කිව්වත් අහන්නේ නෑ. එයාගේ වැඩේ අක්කගේ පස්සේ වෙරළ දිගේ දුවන එක තමයි.

ඉගෙනීම පැත්තෙන් කොහොමද?

පොඩි කාලේ ඉඳලම ඕනෑ දෙයක් ඉක්මනට අල්ලගන්නවා. පොඩි කාලේ ඉඳලම පුරුද්දක් තිබුණා. TV එක දාලා දෙන්න ඕනෑ පාඩම් කරන්න. ඒක දිහා බලාගෙන තමයි පාඩම් කරන්නේ. හැබැයි දෙකම හරියට කරගන්නවා. පහුවදාට පාඩමත් හරියට මතකයි. TV වැඩසටහනත් මතකයි. පන්තියේ ප්‍රශ්නයක් ඇහැව්වත් ඉස්සෙල්ලාම උත්තරය දෙන්නේ පාරමී. ලියන්න තිබ්බත් ඒක ලියලා පෙන්නන්නෙත් එයා.

ඔය කාලයේ අම්මාට හිතුණද පාරමී ක්‍රීඩාවෙන් ඉදිරියට යයි කියලා?

පාරමී පොඩි කාලයේ නම් එහෙම බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඉගෙනීමට දක්ෂ හින්දා ඉගෙනීම පැත්තෙන් ඉහළට ම යයි කියලා හිතුවා. අදටත් දුව කියන්නේ ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙනවා කියලයි. ඉස්සෙල්ලාම බෙහෙත් කරන්නෙත් මට කියලා තමයි එයා නිතරම කියන්නෙත් . මම කොච්චර ක්‍රීඩා කරලත් දොස්තර කෙනෙක් වෙනවා කියලා තමයි හැම වේලාවේම කියන්නේ.

අක්කා කුලියාපිටියට ගියාට පස්සේ පාරමී තනි වුණාද?

ඔව්, තනි වුණාට පස්සේ හැබැයි මෙයාගේ වැඩ නැවතුණේ නෑ. මෙයා වෙරළේ දුවලා පැනලා නටලා හිටියා. ඔය අතර අඹකඳවිල ඉස්කොලෙන් සමස්ත ලංකා යන්න තේරුණා. එතකොට දුව නවය පන්තියේ.

කොහොම හරි යන්න බැරි වුණා. පුහුණුවීම් කරන කොට වැටිලා කොන්දට තෙල් බැන්දා. ඉස්කොලෙනුත් හොයාගෙන ආවාට මම යන්න දුන්නේ නෑ. ඒ අවුරුද්දෙම තමයි කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට ගියේ. කුලියාපිටිය ඉස්කොලේ ගිහින් මාසයකින් රුසියාවේ තරගාවලියකටත් ගියා. කවුරුත් හිතපු නැති විදියට තමයි ඒ තරගාවලියට ගියේ.

හිතපු නැති විදියට කිව්වේ?

කුලියාපිටිය ඉස්කොලේ ගිහින් සතියකින් විතර සර් කිව්වා දියගම තේරීම් තරග වගයක් තියෙනවා, පාරමීව දියගම ගෙනියන්න ඕනෑ කියලා. තවත් ළමයි ඉස්කොලෙන් ගියා. මම පාරමීව අරගෙන ගියා.

තරග තුනක් තිබ්බා. මීටර් 1500 බාධක දිවීම, මීටර් 800 සහ 1500. මේ තරග තුනෙන්ම එකට ආවා. මටත් හිතාගන්න බැරි වුණා. බාධක දිවිම පුරුදු කරලා තිබුණෙත් නෑ. එතැනින් තමයි රුසියාවේ ගිහින් 2016 තිබ්බ ළමා මලල ක්‍රීඩා තරගාවලි‍යේ දෙවැනියා වුණේ. පුහුණු කරන ජනිත් සර් ඇහුවෙත් මැජික් එකක් කළා ද කියලයි. එතැන ඉඳලා තමයි බාධක දුවන්න පටන් ගත්තේ.

පාරමීගේ අක්කා 800-1500 කළේ. ගිය මාසේ විශ්වවිද්‍යාලයිය තරගාවලියට දිව්වා. ලබන සතියේ සුගතදාස පිටියේ තරගවලට එනවා කිව්වා. රුසියාවේ තරගාවලියට ගිහින් ඇවිත් මාසයකින් විතර අසනීප වුණා.

අසනීප වුණේ ඇයි?

නිකම්ම. බෙහෙත් ගන්න ගියාම හිමොග්ලෝබින් එකක් බලන්න කිව්වා. 7.1කට හි‍මොග්ලෝබින් බැහැලා. තරග කරනවා තියා පුහුණුවීම් කරන්න තරම්වත් බැරි තරමට ශක්තිය අඩුවෙලා කිව්වා. පරීක්ෂණ ගොඩක් කරන්න දුන්නා. අන්තිමේට තැලසීමියා රෝගය ගැනත් පරික්ෂා කළා. එහෙම අවුලක් නැති වුණාට යකඩ විටමින් ලේවල සම්පූර්ණයෙන් අඩුවෙලා කියලා මාස හයක් විතර බෙහෙත් කරලා තමයි දැන් ඔය තත්ත්වයෙන් දුවන්නේ. තාමත් බෙහෙත් බොනවා.

අම්මට පාරමීගේ පළමු වැනි තරගය මතකද?

කලාප තරගවලින් දෙවැනි තුන්වැනි ස්ථාන දිනා ගත්තා. කොට්ඨාස - දිස්ත්‍රික්ක තරගවලට ගියා. සමස්ත ලංකා තමයි යන්න බැරි වුණේ. මම සාමාන්‍යයෙන් දුවගේ තරග බලන්න යනවා.

අක්කයි - නංගියි ක්‍රීඩාවෙන් ඉදිරියට එනකොට කොහොමද මේ දේවල් සැලසුම් කරගන්නේ?

ආර්ථික මට්ටම අතින් අපි හුඟක් පහළ මට්ටමක ඉන්නේ. දුවලාගේ තාත්තා ධීවර රස්සාව කරන්නේ. වාරකන් කාලයට හය මාසයක් රස්සාවත් නෑ. සමහර මාසවල කලපුවට යන්නේ. සමහර මාසවලට මාසයටම දෙතුන් දාහයි හම්බ වෙන්නේ. හම්බ වෙන මාසවල විසි තිස් දාහක් හම්බ වෙනවා. ඉස්සෙල්ලාම වියදම් කළේ පාරමීගේ අක්කාට. එයා අවුරුදු 1 ½ ක් පුහුණුවීම්වලට කොළඹ ලුම්බිණි විද්‍යාලයට ගියා. සර් රට ගිය නිසා. ඒ වෙලාවේ පර්චස් තිහක ඉඩම් කෑල්ලක් තිබිලා වික්කා. කොළඹ ඉන්න කොට ඒ වෙලාවේ කවුරුත් උදව් කළේ නෑ. අන්තිමේට හැම තැනටම ණය වුණා. ඔය අතර තමයි පාරමීටත් කුලියාපිටිය ඉස්කොලේට යන්න ඕනෑ වුණේ. අක්කා යැව්වා නම් මාවත් යවන්න කිව්වා.

අම්මා කැමැති වුණාද?

ඇත්තටම වියදම් කරන්න තත්ත්වයක් තිබුණේ නැති නිසා මම නම් කැමැති වුණේම නෑ. වියදම් කරන්න තරම් ශක්තියක් නැති නිසා බය වුණා. පස්සේ බලෙන් ම වගේ තමයි කුලියාපිටිය ඉස්කෝලෙට ගියේ.

දුවලාගේ තාත්තා කොච්චර හෙව්වත් ගෙදර යන විදිය දන්නේ මම‍නේ. රුසියාවේ ගිහින් ආවට පස්සේ මට ගොඩක් ආසා හිතුණා තව පොඩ්ඩක් දුර ගමනක් යන්න ඉන්න කෙනෙක් මගේ තීරණයක් නිසා නැති වෙන්න තිබ්බනේ කියලා පස්සේ හිතුණා.

ආර්ථික ගැටලු මඟහරවාගෙන මේ ගමන යන්නේ කොහොමද?

මොන දුක විඳගෙන හරි මේ ගමන යනවා කියලා පස්සේ තීරණය කළා. පාරමීට නම් ගෙදර මොන ප්‍රශ්නයක්වත් අදටත් දැනෙන්න දෙන්නේ නෑ. ගෙදර කිසිම ප්‍රශ්නයක් එයාගේ ඔළුවට දාන්නේ නෑ. එයා සමහර වෙලාවට හිතනවා අපිට හොඳට සල්ලි තියෙනවා කියලා. අපි ණය වෙලා පොලියට අරගෙන තමයි මේ දේවල් කරන්නේ. ඉන්න ගෙයත් උගස් තියලා මේ ළඟදී තමයි එංගලන්තයේ ඉඳලා ආපු මහත්තයෙක් ගිය සතියේ බේරලා දුන්නේ. ඉන්න තැන පවා උගස් කරලා තමයි මේ ගමන යන්නේ.

සොයන සේසතම අක්කට යවනවා, නංගිට වියදම් කරනවා. සමහර දවස්වලට මේ දෙන්නම බලලා ඇවිත් අපි ඕනෑ තරම් බඩ ගින්නේ ඉඳලා තියෙනවා. දෙන්නගේ වියදම් එක්ක අපිට ගෙයක් දොරක් හදා ගන්නවා තියා හිතන්නවත් බෑ. කුලියාපිටිය ඉස්කොලෙන් ලොකු ‍සහයෝගයක් දෙනවා. හැම සංචාරයකදීම අතේ වියදමට ඉස්කෝලෙන් මුදල් දෙනවා.

මේ දේවල් ගැන පාරමී අහනවාද? එයාට මේ ප්‍රශ්න තේරෙනවාද?

අහනවා, හැබැයි අපේ හැම ප්‍රශ්නයක් ම තේරෙනවාද දන්නේ නෑ. මේ ආර්ජන්ටිනා ගමන යන්න සතියකට විතර කලින් ගෙදර ආවා. අපි කතා කර ඉඳලා මං එළියට ගිහින් කල්පනා කරන කොට ළඟට ඇවිත් ඇහුව්වා මොනවද අම්මේ කල්පනා කරන‍්නේ කියලා. මම මොකුත් නෑ කිව්වා. එතකොට දුව කිව්වේ අම්මා කල්පනා කරන්න එපා මම ලොකු ගෙයක් හදලා හොඳ වාහනයකුත් ගන්නවා කියලා. ඒ ඉතින් එයාට තේරෙන තරම තමයි. එයාගේ යාළුවෝ එහෙම ගෙදර ආවා ම පාරමී ‍කෝ ඔයාගේ කාමර කියලා අහනවා. එහෙම කාමරයක් පෙන්වන්න නෑ. මේ දවස්වල ආපු හැම මාධ්‍යයකින්ම ඇහුව්වේ පාරමී පාඩම් කරන කාමරය කෝ කියලා. එහෙම පෙන්වන්න කාමරයක් නෑ. අපි ඔක්කෝම ඔය (ඇඟිල්ල දිගුකර පෙන්වයි) ඉස්තෝපුවේ තමයි නිදා ගන්නේ. පාරමී පාඩම් කරන්නෙත් ඔතන. අක්කත් ලොකුයි ඒ ගොල්ලන්ට ඒවා තදින්ම හිතට දැනෙනවා ඇති.

වහින දවස්වලට අපි නිදාගන්න හරිය හැර ඉතිරි ටික වතුරෙන් යට වෙනවා. කුස්සියේ පරාල ඔක්කෝම දිරලා. උළු කැඩිලා. මොන ප්‍රශ්න තිබ්බත් අපි මේ දෙන්න වෙනුවෙන් හැම දෙයක්ම කැප කරලා පොල් ගහක් යට වැටිලා හිටියත් දුකක් නෑ.

මේ හැම දෙයක් එක්කම අම්මාගේ බලාපොරොත්තුව?

2024 ඔලිම්පික් උ‍ෙලළේ පදක්කමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ තරගාවලියේ කෙල්ල පදක්කමක් දිනා ගෙන තමයි එන්නේ කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුණා.

දුවට හැබැයි මේ දිනපු ස්ථානය මදී එයාට හැම තරගයකින්ම ඕනෑ පළමු වැන්නා වෙන්න. කතා කරපු හැම වෙලාවෙම කිව්වේ මම තුන්වැනිය අම්මේ කියලා. මොන තරගාවලියකට ගියත් 2-3 වුණොත් සතියක් විතර ඒ ගැන කල්පනා කරනවා.

වයස අවුරුදු 17 දී පාරමී ක්‍රීඩාවෙන් මේ දුර එයි කියලා හිතුවාද?

නෑ. මම අසනීප තත්ත්වයෙන් හොඳටෝම හෙම්බත් වෙලා ඉන්න කොට බබෙක් හම්බ වෙන්න ඉන්නවාද කියලා හිතා ගන්න බැරි තරමට දුර්වලයි. ඇටකටු නහරවැල් පේන තරමට ම මම දුර්වල වුණා. පාරමීත් ඒ දවස්වල හුඟක් දුර්වලයි. ඔළුව අතගාන කොට නහර අහුවෙනවා. හුඟක් අය කිව්වේ අප‍රාදේ මේ ලෙඩ දුර්වල ළමයෙක් කියලා.

පස්සේ පාරමී දුවලා පැනලා ඉන්න කොට මම ගොඩක් සතුටු වුණා. ජපානයේ ගිහින් ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව වුණාම මට සතුට දරා ගන්න බැරුව ගියා. මම මැරෙන්න ගිහිල්ලත් ගොඩදාගත්තා දරුවා නේද මේ කියලා. එදා දොස්තරලා මොනදේ කිව්වත් මම හිටියේ මොන තත්ත්වයෙන් දරුවා හිටියත් මම හදාගන්නවා, ඒ මගේ දරුවා කියන තැනමයි. අද ඒ දරුවා ගැන තමයි රටක් ලෝකයක් කතා කරන්නේ.

පාරමී මේ කෙටි කාලයේ ලැබු ජයග්‍රහණ ගැන අම්මා වඩා සතුටු වුණේ කවදාද?

මම වඩාත් සතුටු වුණේ ජපානයේ දී රන් පදක්කමක් දිනා ගත්ත එකට. ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව කියන කොට මට දරුවා ගැන ලොකු ආඩම්බරයක් දැනුණා. ලොකු දුව අවුරුදු 16 දී තමයි චීනයට ගිහින් පදක්කමක් දිනා ගෙන ආවේ. පදක්කම් නම් අපේ ගෙදරට අලුත් දේවල් නම් නෙවෙයි.

පාරමීගේ ක්‍රීඩා ජීවිතය සම්බන්ධයෙන් අම්මා කණගාටු වෙච්ච සිද්ධි තියෙනවද?

ඔය තරගාවලියට යන්න කලින් පුහුණුවීම්වලට කොවුල්වැව ගියා. අකුණු ගගහා හොඳටම වහිනවා. මම ත්‍රීවිල් එකක තමයි පාරමීව එක්කරගෙන ගියේ. කුලියාපිටියෙනුත් තව දුර යන්න තිබ්බා. ඒ වැස්සේ පුහුණුවීම් කරලා ගිහින් තමයි පදක්කම දිනුවේ. දුව දුවන කොට පෙන්නේ නැති තරමට වහිනවා. මට ඇඬුණා මේ මොන දුකක්ද කියලා. ක්‍රීඩාව මේ තරම් දුකක් ද කියලා හිතුණා. අපේ පියතුමා දුව යන හැම තරගාවලියකදීම පූජා පවත්වනවා. හැ‍මෝටම කියනව‍ා ආශිර්වාද කරන්න කියලා. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුළු සියළුම දෙනා උපරිමයෙන්ම උදව් කරනවා. ජනිත් සර් තමයි මේ ගමනේ හැම තැනකම හිටියේ. ලොකු දුවගේ පුහුණුකරු විදියට කටයුතු කළෙත් ජනිත් සර්. හැම කෙනෙක් ම හුගක් උදව් කරනවා.

 

 

Comments