
පසුගිය තිස්වැනිදා වැලිවේරි ලියනගේ ක්‍රිෂාන්ත අජිත් කුමාර හෙවත් පත්තඬුවන කළු අජිත්ව ඝාතනය කිරීම ප්‍රධාන ඉලක්කකොට තැබු වෙඩි ප්‍රහාරය නිසා අහිංසක දෙදරු මවක් මිය ගියාය.
පාතාලයන් විසින් නිරපරාදේ වෙඩි තබා මරා දමන ලද්දේ ජාඇළ කපුවත්තෙ විසූ 40 හැවිරිදි රසිකා රොයෙල්වය. ඇයව ඝාතනය කළ ඝාතකයා ද මේ වන විට එලොව ගොස් අවසානය. පසුගිය 04 වැනිදා පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකය විසින් ඝාතනයට පැමිණි මෝටර් රථය සහ ඊට සහාය වූ මොහොමඩ් රහීම් හෙවත් ප්‍රීති නැමැත්තා අත්අඩංගුවට ගත්තේ අතුරුගිරියේදීය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඝාතනයේ ප්‍රධාන සැකකරුවා වූ ගම්පහ, ඉඹුල්ගොඩ, අමුණුගොඩ ප්‍රදේශයේ පදිංචි යුද හමුදා විශේෂ බළකායේ සේවය කොට 2004 වර්ෂයේදී ඉන් ඉවත්ව සිටි 44 හැවිරිදි ඉලන්දාරි හේවගේ සංජීව සිසිර කුමාර හෙවත් අමුණුගොඩ සංජීව ගැන සියලු තොරතුරු හෙළි විණි.
ඒ අනුව අමුණුගොඩ සංජීව ගැන පොලිසිය තොරතුරු සෙව්වේය. ඔහු අනුරාධපුර රාජාංගණ ප්‍රදේශයේ සැඟවී සිටින බව තහවුරු විය. ලැබුණු තොරතුරු අනුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් රාජාංගණයේදී සංජීව අත්අඩංගුවට ගත්තේය. ඒ පසුගිය 05 වැනිදා රාත්‍රියේදීය.
සංජීව 06 වැනිදා අලුයම කැලණිය අපරාධ කොට්ඨාසයට රැගෙන එමින් සිටියේය. ඒ වනවිට ඔහුට උදරාබාධයක් සෑදී තිබුණ බව කියැවිණි. කීප අවස්ථාවකදීම ඔහු ශරීර කෘත්‍ය කිරීමට අවශ්‍ය බව පවසා තිබිණි. ඒ අනුව ඔහුගේ ආරක්ෂාව බාරව සිටි උපපොලිස් පරීක්ෂක සමීර මංජුල සහ කොස්තාපල් (88617) අරවින්ද ඊට කීප විටෙකදීම ඉඩ දී තිබිණි.
ස්මැක් මංජුගෙන් පළිගැනීම
සංජීවට ජාඇළ දඬුගම්ඔය අසලදීද ශරීර කෘත්‍ය කිරීමට අවශ්‍ය බව පවසා ජීප් රථයෙන් එළියට බැස්ස බව කියැවිණි. පසුව ඔහුගේ ආරක්ෂාවට සිටි කොස්තාපල් අරවින්දගේ පපුවට හිසෙන් පහර දුන් සංජීව මාංචු පිටින්ම දඬුගම්ඔයට පැන පලා යෑමට තැත් කර තිබුණ බව පොලිසිය කීවේය.
මාංචු පිටින් ඔයට පැන්න සංජීව ගිලී ගියේය. වහාම ක්‍රියාත්මක වූ කොස්තාපල් අරවින්ද සහ උපපොලිස් පරීක්ෂක සමීර විසින් සංජීවව දඬුගම් ඔයෙන් ගොඩට ගෙන කෘතිම ශ්වසනය ලබා දී තිබුණේය. අනතුරුව 1990 ගිලන් රථයකින් රාගම රෝහලට රැගෙන ගියත් සංජීව ඒ වන විට මියගොස් සිටි බව වෛද්‍යවරු පොලිසියට දැනුම් දුන්හ.
සංජීව කුමාර සමරරත්න හෙවත් මාකිලංගමුවේ සංජීව හෙවත් ගණේමුල්ල සංජීව දැන් ඉන්නේ වැලිකඩ බන්ධනාගාරයේය. මිය ගිය අමුණුගම සංජීව මාකිලංගමුවේ සංජීවගේ ප්‍රධාන ගෝලෙයක්ය. අමුණුගොඩ සංජීව, මාකිලංගමුවේ සංජීව සමඟ අපරාධ රැසකටම දායක වී තිබේ. ඒ අතර අමුණුගොඩ සංජීවගේ නම කියැවෙන ප්‍රධාන අපරාධයක් වනුයේ ගම්පහ කෝටි හතේ මංකොල්ලය ය. ඊට ඔහු එක්වී තිබුණේ මාකිලංගමුවේ සංජීව සමඟය.
ගම්පහ ඔසීට තැබූ වෙඩි ප්‍රහාරය
කළු අජිත්ව ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවද අමුණුගොඩ සංජීවට පවරා තිබුණේ මාකිලංගමුවේ සංජීව විසිනි. දෙමටගොඩ චමින්ද නමැත්තාව බන්ධනාගාර බස් රථයෙන් රැගෙන යමින් සිටියදී දෙමටගොඩ ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයකට ලක් කිරීම සහ ගම්පහ කෝටි හතේ බැංකු මංකොල්ලයට අත්අඩංගුවට පත්වූ මාකිලංගමුවේ සංජීව, බන්ධනාගාරයේ සිට මේ වන විට පුද්ගල ඝාතන රැසකටම කොන්ත්‍රාත් ලබාගෙන ක්‍රියාත්මක කිරීමට තැත් කිරීමේදී ආරක්ෂක අංශවලට හසු විණි. ඔහුගේ ගෝලයන් ලවා එම ඝාතන සංජීව විසින් බන්ධනාගාරයේ සිට දුරකථන ඔස්සේ මෙහෙයවමින් ඇත.
මේ වනවිට මාකිලංගමුවේ සංජීව විසින් පසුගිය සමයේ බාරගත් ඝාතන කොන්ත්‍රාත් කීපයකම සුල-මුල සොයා ගැනීමට ආරක්ෂක සමත් වී තිබේ. ඒ අතර පසුගියදා රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකළ ප්‍රකට අන්තර්ජාතික මෝටර් රථ ධාවක ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවද මාකිලංගමුවේ සංජීව විසින් බාරගෙන තිබිණි. එම ඝාතනය මාතර කොල්ලයේදී අත්අඩංගුවට ගැනුණු කොස්ගොඩ තාරක ලවා සිදුකිරීමට නියමිතව තිබූ බවට වාර්තා වී ඇත.
එසේම මීට මාස තුනකට පමණ පෙරදී වැලිකඩ බන්ධනාගාරය අසලදී බන්ධනාගාරයේ සිටින මොරටුවේ ස්මැක් මංජු නමැති අපරාධකාරයා බැලීමට එන ඔහුගේ 21 හැවිරිදි පෙම්වතියව කපාකොටා ඝාතනය කිරීමටද මාකිලංගමුවේ සංජීව සහ බන්ධනාගාරගතව සිටින ගොත අසංක යන දෙදෙනා කොන්ත්‍රාත්තුවක් දී තිබිණි. එම කොන්ත්‍රාත්තුව ලබාගෙන තිබුණේ මට්ටක්කුලියේ අපරාධකාරයන් පිරිසකි. ඇයව ඝාතනය කිරීමට සැලසුම් වන්නේ ස්මැක් මංජු විසින් මාකිලංගමුවේ සංජීවට සහ ගොත අසංකට බන්ධනාගාරය තුළදී පහර දීමේ පළිය ගැනීම සඳහාය.
එහෙත් නිරපරාදේ කාන්තාවක් කපාකොටා ඝාතනය කිරීමේ සැලසුමට අදාල සියලු තොරතුරු නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයට ලැබිණි. එම තොරතුර පිළිබඳව ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදික සිල්වා ඇතුළු කණ්ඩායමක් සිදුකළ වැටලීමකින් අපරාධකාරයන් සියලු දෙනාම අත්අඩංගුවට පත්විය. ඔවුන් අත්අඩංගුවට පත් වන්නේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට බස් නැවතුම්පොළේදී සහ දෙමටගොඩ ගුවන් පාලම අසලදීය.
එලෙස මාකිලංගමුවේ සංජීව විසින් පසුගිය 30 වැනිදා කළු අජිත්ව ඝාතනය කිරීමටද අමුණුගොඩ සංජීවට කොන්ත්‍රාත්තුව ලබා දී තිබිණි. එහෙත් කළු අජිත් සහ මාකිලංගමුවේ සංජීව යනු කලෙක අඹ යහළුවෝ දෙදෙනෙකි. 2017 අප්‍රේල් 08 වැනිදා ගම්පහ, කිරිඳිවිටදී ගම්පහ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ජෝන් ඔස්මන් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන්ව ඝාතනය කිරීමට මාකිලංගමුව සංජීව උත්සාහ දැරුවේ කළු අජිත්ට කොන්ත්‍රාත්තුව බාර දෙමිනි. එහෙත් එදින කළු අජිත් තැබු වෙඩි ප්‍රහාරයෙන් ගම්පහ ඔස්මන් දිවි ගලවා ගත්තේය. ඔහුගේ ගෝලයෙක් එදින මරුමුවට පත්විය. පසුව පොලීසිය එදිනම ගිනි අවි දෙකක් සමග කළු අජිත්ව අත්අඩංගුවට ගත්තේය.
එදින අත්අඩංගුවට පත්වූ කළු අජිත් නැවතත් බන්ධනාගාරයෙන් ඇප මත නිදහස්ව පැමිණ තිබුණේ මීට මාස කිහිපයකට කලිනි. එදා ඔස්මන්ට වෙඩි තැබීමට කළු අජිත් ලබාගත් කොන්ත්‍රාත්තුවේ මුදල් නිසි පරිදි නොගෙවීම නිසා මාකිලංගමුවේ සංජීව සහ කළු අජිත් අතර විරසකයක් හටගෙන ඇති බවට මේ වන විට ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබේ.
මාකිලංගමුවේ සංජීවගේ පිහිටෙන් මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකම කප්පම් ගැනීම්, පස් සම්බන්ධ අපරාධවලට අත පොවා සිටි කළු අජිත්ට මේ වන විට මාකිලංගමුවේ සංජීවගෙන් මෙන්ම ගම්පහ ඔස්මන්ගෙන්ද බේරී සිටීමට සිදුව තිබේ. එදා ගම්පහ ඔස්මන්ට කළු අජිත් වෙඩි ප්‍රහාරයක් දියත් කළද ඉන් ගම්පහ ඔස්මන් බේරුණු ආකාරයටම පසුගිය 30 වැනිදා කළු අජිත්ද අමුණුගොඩ සංජීවගේ වෙඩි ප්‍රහාරයෙන් බේරුණේය.
අංගොඩදී වෙඩි කෑ කොණ්ඩ තාරක
පසුගිය 05 වැනිදා දහවල් තවත් අංගොඩදී තවත් පාතාල ඝාතනයක් සිදුවූයේ ය. එදින ඝාතනය වූයේ තාරක ඉරෝෂන් පෙරේරා හෙවත් කොණ්ඩ තාරක නමැත්තාය. පරණ හයිලෙවල් මාර්ගයේ අංගොඩ සිට කඩුවෙල දෙසට වන්නට පිහිටි සතොස ඉදිරිපිට විසිතුරු කුරුල්ලන් අලෙවි කරන වෙළෙඳසලක් පවත්වාගෙන ගිය කොණ්ඩ තාරක ඝාතනය වූයේ එම වෙළෙඳ සලේ සිටියදීය. යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් ටී56 ගිනිඅවියකින් සිදුකළ ප්‍රහාරයකින් ඔහු ඝාතනය කොට තිබිණි.
කලක් කඩුවෙල පාතාලයේ කෙරුමෙක් වූ රණාලේ සමයංගේ කල්ලියේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ කොණ්ඩ තාරකගේ ඝාතනය සමයංගේ කල්ලියට විරුද්ධව නැඟී සිටින දැනට ඩුබායිහි සැඟවී සිටින අංගොඩ ලොක්කාගේ කල්ලිය විසින් සිදුකරන්නට ඇතැයි සැක කෙරේ. මීට මාස කීපයකට කලින් විවාහ වූ කොණ්ඩ තාරකට එරෙහිවද වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සිදුකළ මිනිස් ඝාතනයක් පිළිබඳව චෝදනාවක්ද එල්ලවී තිබිණි. මුලින් කුරුලු ව්‍යාපාරය රාජගිරිය ප්‍රදේශයේ කරගෙන ගිය තාරක එම ව්‍යාපාරය පරණ හයිලෙවල් මාර්ගයේ ස්ථාපිත කොට තිබුණේ මීට මාස කීපයකට කලිනි. ඒ අනුව තාරකගේ ඝාතනයද පාතාල කල්ලි අතර පවතින ගැටුම්වලින් මෑතකදී සිදුවූ තවත් ඝාතනයක් ලෙස සැලැකිය හැකිය. මෙලෙස අපරාධ කල්ලි අතර සිදුවන ඝාතනවලට 'තිත' තැබීමට ආරක්ෂක අංශ විසින් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු කාලය එළැඹ ඇති බවට සිහිපත් කරමු.