
ලාංකේය පාසල් මලල ක්‍රීඩා පිටිය ජය බිමක් කරගත් වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලය තිස්හතර වැනි ජාතික පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ බාලක ශුරතාව දහහතරවැනි වරටත් මිශ්‍ර පාසල් ශූරතාව අඛණ්ඩව දෙවැනි වරටත් හිමි කරගනිමින් සමස්ත බාලක තෙවැනි ස්ථානය ද දිනා ගනිමින් සුගතදාස පිටිය ජයබිමක් කරගනිද්දී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය හාපුරා කියා මෙවර බාලක ශුරතාව දිනාගැනීමට සමත් විය.
පසුගිය වසරේ හඳුන්වා දුන් නව වයස් කාණ්ඩ එනම් වයස අවුරුදු 12-14-16-18-20න් පහළ වශයෙන් තරග පැවැති අතර එහිදි නව තරග වාර්තා 46ක් මෙවර තරගාවලියේ බිහි වීමද කැපිපෙනෙන සිදුවීමකි. මෙවරද බාලක - බාලිකා වෙන වෙනම මෙන්ම ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ, මිශ්‍ර පාසල් වශයෙන් ශූරතා ප්‍රදානය කරන ලදි. තිස් හතර වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සමාප්තිය සටහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානය සිදු විය.
මෙවර තරගාවලියේ දක්ෂතම මලල ක්‍රීඩකයා වශයෙන් කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පසිඳු කොඩිකාර සම්මාන දිනා ගත් අතර දක්ෂතම මලල ක්‍රීඩිකාවට හිමි සම්මානය රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ රන්දි කුරේ විසින් දිනා ගන්නා ලදි. පසිඳු වයස අවුරුදු 20න් පහළ බාලක මීටර් 400 තත්පර 47.54කින් නිම කරමින් නව වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර, රන්දි 20 න් පහළ බාලිකා තුන් පිම්ම ඉසව්වේ මීටර් 12.74 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරන ලදි.
වයස් කාණ්ඩ 16-18 සහ 20න් පහළ බාලක සහාය දිවිමේ ශූරතාව ශාන්ත පීතර විද්‍යාලයට හිමි වූ අතර, එකි වයස් කාණ්ඩවල බාලිකා සහාය දිවීමේ ශූරතාව වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයට හිමි විය.
වයස් කාණ්ඩ 12- 14න් පහළ බාලක කනිෂ්ඨ ශුරතාව කොළඹ රාජකීය විද්‍යාලයට හිමි වූ අතර අනු ශූරතාව අම්බලන්ගොඩ විද්‍යාවර්ධන විද්‍යාලයට හිමි විය. බාලිකා කනිෂ්ඨ ශූරතාව කොළඹ මියුසියස් විද්‍යාලයට හිමි වූ අතර අනු ශූරතාව නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලට හිමි විය.
ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා බාලක ශූරතාව බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට හිමි වූ අතර පසුගිය වසර කිහිපයේම ශූරයන් වූ මීගමුව මාරිස්ස්ටෙල්ලා විද්‍යාලයට අනුශූරතාව හිමි විය. වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයට තෙවැනි ස්ථානය හිමි විය.
බාලිකා ශූරතාව වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයට හිමි වූ අතර, රත්නපුර සුමන බාලිකා විද්‍යාලයට අනුශුරතාව සහ ගේට්වේ ජාත්‍යන්තර පාසලට තෙවැනි ස්ථානය හිමි විය. සමස්ත මලල ක්‍රීඩා ශුරතාව සුපුරුදු පරිදි බස්නාහිර පළාතට හිමි වූ අතර, අනුශූරතාව මධ්‍යම පළාතටත්, තෙවැනි ස්ථානය වයඹ පළාතටත් හිමි විය. පිළිවෙළින් සබරගමුව, දකුණ, උතුර, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත් සෙසු ස්ථාන හිමි
කර ගැනීමට සමත් විය.
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උෙලළේ සියලු ක්‍රීඩා තරගවලින් අතිවිශිෂ්ට ම විද්‍යාලයට හිමි සම්මානය විශාඛා විද්‍යාලයට හිමි වූ අතර, අනුශූරතාව රාජකීය විද්‍යාලයට සහ තෙවැනි ස්ථානය ආනන්ද විද්‍යාලයට හිමි විය.
මිශ්‍ර පාසල් වයස් කාණ්ඩ 16, 18 සහ 20න් පහළ ශූරතාව වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයට හිමි වූ අතර, අනුශුරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට සහ තෙවැනි ස්ථානය ගේට්වේ ජාත්‍යන්තර පාසලට හිමි විය.
කඩුලු මතින් දිවීමේ දක්ෂතම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට හිමි සම්මානය ශාන්ත ජෝශප් විද්‍යාලයේ දිලුෂ කාරියවසම් ද, පැනීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයාට හෝ ක්‍රිඩිකාවට හිමි සම්මානය ගේට්වේ ජාත්‍යාන්තර පාසලේ රන්දි කුරේද, විසි කිරීමේ ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට හිමි සම්මානය ශාන්ත පීතර විද්‍යාලයේ රුමේෂ් තරංගද, ධාවන තරග ඉසව්වල දක්ෂතම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට හිමි සම්මානය මලියදේව විද්‍යාලයේ පසිඳු කොඩිකාර දිනාගැනීමට සමත් වූහ.

ඡායාරූප - චන්දන පෙරේරා










