
මීට සති කිහිපයකට පෙර පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට මුල් වටයෙන්ම ඉවත් වීමට සිදු විය. ඒ ඉතා දුර්වල මට්ටමින් ක්‍රීඩා කිරීම නිසාය.
එහිදී සමස්ත කණ්ඩායම දැඩි විවේචනයකට ලක් විය. ඒ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය හමුවේ ලත් දරුණු පරාජයන් හේතුවෙනි.
එසේ ජාතික කණ්ඩායම ඉතා දුර්වල වන විට තවත් ශ්‍රී ලංකා කණ්ඩායමකට සිය දක්ෂතා දැක්වීමට මහඟු අවස්ථාවක් උදාවිය. ඒ බංග්ලාදේශයේ පැවැති වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියේදීය. එහෙත් ඔවුන්ටත් ශූරතාව හිමි කර ගැනීමට හැකි වුයේ නැත. කෙසේ වුවත් ජාතික කණ්ඩායමට වඩා ඔවුන්ගේ දස්කම් ඉතා ඉහළ මට්ටමක පැවතිණි. එහි අවසන් ප්‍රතිඵලය වුයේ අනුශූරතාව ශ්‍රී ලංකාවට හිමි වීමයි. සුපුරුදු පරිදි මෙවරත් ශූරයෝ වූයේ ඉන්දියාවයි.
ආසියානු ක්‍රිකට් සභාව විසින් මෙම තරගවලිය සංවිධානය කරනු ලැබිණි. මෙවර පැවැත්වූයේ 07 වැනි අවුරුදු 19 න් පහළ තරගාවලියයි.
මෙවර තරගාවලිය සැප්තැම්බර් 29 - ඔක්තෝබර් 07 දක්වා පැවැත්විණි. එය පන්දු ඕවර 50 තරගාවලියකි. ඊට රටවල් 08ක් සහභාගි විය.
ඒ කාණ්ඩය - ඉන්දියාව, ඇෆ්ගනිස්තාන, නේපාලය, එක්සත් අරාබි එමිර්
බී කාණ්ඩය - ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්තානය, හොංකොං
මුල් වටයේදී ශ්‍රී ලංකාව අපරාජිත විය. ඒ බංග්ලාදේශය කඩුලු 06, හොංකොං කඩුලු 10, සහ පාකිස්තානය ලකුණු 23 කින් පරාජය කරමිනි. අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 31 කින් ඇෆ්ගනිස්තානය පරාජය කළේය. ගිය වර ශූරයන් වුයේ ඇෆ්ගනිස්තානයයි.
ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවත් මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අපරාජිතවයි. කෙසේ වෙතත් අවසන් පූර්ව තරගයේදී ඔවුන්ට ප්‍රබල අභියෝගයක් ඉදිරිපත් කිරීමට බංග්ලාදේශය සමත් විය. එහෙත් අවසානයේදී ඉන්දියාවට ලකුණු 02 ක ජයක් අත් විය.
මෙවර අවසන් මහා තරගය මිර්පුර් නුවර ෂියර් බංග්ලා ජාතික කීඩාංගණයේදී පැවැත්විණි. එය දිවා රාත්‍රී තරගයකි. කාසියේ වාසියත් තරගයෙන් ලකුණු 144 ක ජයත් ඉන්දියාවටයි. වමතින් දඟ පන්දු යැවු හාර්ෂ් ටියාගි තරගයේ වීරයා ය.
ඉන්දියාව 304 -3 (ඕවර 50)
යාෂාශ්වි ජයිස්වාල් 85, අනුජ් රවාට් 57, සිම්රාන් සිං (නායක) නොදැවි 65, අයුෂ් භාදෝනි නොදැවි 52, වෙල්ලාලගේ 24-1, සේනාරත්න 45-1
ශ්‍රී ලංකාව 160 (ඕ.38.4)
නිෂාන් මධුෂ්ක 49, පරණවිතාන 48, සූරියබණ්ඩාර 31, ටියාගි 38-6, සිද්ධාර්ත් දේසායි 37-2
19 න් පහළ ආසියානු කුසලාන තරගාවලිය ප්‍රථම වරට පැවැත්වුයේ 1989 වසරේදීය. මේ වන විට ඉන්දියාවට ශුරතා 06 කි. ඒ 1989,2003,2012 (පාකිස්තානය සමඟ සම ශුරතාව), 2013 -14, 2016 සහ 2018 දීය ඇෆ්ගනිස්තානයට 2017 ශුරතාවයයි. ශ්‍රී ලංකාවට අනුශූරතාම සතරකි. ඒ 1989, 2003, 2016 සහ 2018 දීය.
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම
නිපුන් ධනංජය (නායක), සෙල්වරාජ් මතුෂාන්, ශෂික දුල්ෂාන්, කල්හාර සේනාරත්න, නිෂාන් මධුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, නවීන් ප්‍රනාන්දු, නිපුන් මාලිංග, සඳුන් මෙන්ඩිස්, කමිල් මිෂාර, නවෝද් පරණවිතාන, කලණ පෙරේරා, රොහාන් සංජය, පසිඳු සූරියබණ්ඩාර, දුලිත් වෙල්ලාලගේ










