අගුළු ලා තිබූ දොර 3කින් පැන ඇවිත් සීගිරි ළඳුන්ට කළ අපරාධය | Page 2 | සිළුමිණ

අගුළු ලා තිබූ දොර 3කින් පැන ඇවිත් සීගිරි ළඳුන්ට කළ අපරාධය

කලබල වූ ඕවර්සියර් කෙනෙකු විසින් දෙන ලද හරියට තේරුම් ගත නුහුණු ටෙලිෆෝන් පණිවිඩයක් අනුව රාත්‍රියේදී කොළපාට තීන්තයක් කවුදෝ විනාශකාරීන් විසින් ඉසිනු ලදැයි වැට හී ගියෙන් සීගිරියට වහා ගොස් එම තීන්ත අස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස 1967 ඔක්තෝබර් මස 15 වැනි දා උදයේදී එවකට සිටි පුරාවිද්‍යා ‍කොමසාරිස් වරයා විසින් (ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා) මට (ආචාර්ය රාජා ද සිල්වා) දන්වන ලදී.

ලියන තීන්ත අස් කිරීම සඳහා විශාල ප්‍රමාණයක් රසායන ද්‍රව්‍යයන්ද රැගෙන මගේ තැහැවිරීමේ කණ්ඩායමත් කැටුව එදා සවස සීගිරියට ළඟා වුණෙමි. ඒ වන විට ඒ පළාතට වර්ෂා කාලය එළඹ තිබිණි. එහි ගිය අපට දැනගන්නට ලැබුණු අන්දමට එම මිල කළ නොහෙන බිතුසිතුවම් මත තවරා තිබුණේ ලියන තීන්ත නොව දැන් කාලයේ ජනෙල් දොරවල් වලට යෙදීමට ගන්නා වර්ගයක කොළපාට තීන්තයකි.

පෙරදින පරීක්ෂණයන්ට තදනන්තරව පොලිසිය විසින් බිතු සිතුවම් ගුහා දොරට අලුත් ඉබ්බෙකු යොදා තිබුණෙන් පසුදින උදයේ පොලිසියත් සමඟ චිත්‍ර පරීක්ෂා කරන ලදී. පොලිසියේ අදහස වූයේ විනාශකාරීන් අගුලුලා තිබුණු දොරවල් දෙකකට උඩින් පැන බිතුසිතුවම් ගුහාවේ අවසාන දොර යතුරකින් අරින ලද බවය. (1967 – 68 මුදල් වර්ෂය සඳහා පුරාවිද්‍ය කොමසාරිස් තැනගේ (ආචාර්ය රාජා ද සිල්වා) පාලන වාර්තාව පිටු අංක 23).

මේ මහා අපරාධය සිදු කළවුන් කළේ වසර 1500 වඩා පුරාණ කාලයකට අයත් වූ ලාංකික ශිෂ්ටාචාරයේ මුතුන්මිත්තන් විසින් සිය පණ සේ රැක ගෙන ආ ඒ ජාතික වස්තුවක් වූ සීගිරි බිතුසිතුවම් සිතාමතාම විනාශ කිරීම නොවේද! පිහිටි ‍ෙපාළොවක තිබුණු පුරාණ උරුමයක් නම් සමහර විට වන සතුන්ගෙන් ඊට හානි සිදුවන්නට ඉඩ තිබිණි. එහෙත් ඉතා ඉහළ ගිරි වෙයඳක පිහිටි මේ සීගිරි බිතුසිතුවම් විනාශ කිරීම මේ සියවසේ සිදු කළ මහා සංස්කෘතික හානියක්.

සීගිරි ලාලනියන්ගේ රූප විනාශ කර තිබූ අන්දම පිළිබඳ ඉහත සඳහන් පුරාවිද්‍යා පාලන වාර්තාවේ සඳහන් කරුණු වලින් කීපයක් මෙසේය.

බෙල් මහතාගේ අංක යෙදීම අනුව සංග සුරිය තරප්පුවෙන් ඇතුළු වන බී අක්ෂරය දරන ලොකු ගුහා‍ෙව් චිත්‍ර 14 ක් ද ඒ අක්ෂරය දරන උතුරු පැත්තේ ගුහාවේ චිත්‍ර පහක් ඇත. ඒ අක්ෂරය දරන කොටසේ අංක 3 හා 4 දරන අපැහැදිලි තත්ත්වයක තිබුණු චිත්‍ර දෙක මත තීන්ත උලා වසා තිබිණි. බී අක්ෂරය දරන කොටසේ සැඟවුණු තැනක ඇති අංක 2 දරන චිත්‍රයක් දකුණු කෙළවරේ ඇති අංක 14 දරන චිත්‍රයක් හැර අනෙක් චිත්‍ර සියල්ලම මත සම්පුර්ණයෙන්ම තීන්ත උලා වසා තිබිණි. 3 හා 4 දරන චිත්‍රවලට විශාල හානියක් සිදු කර තිබිණි. (පුරාවිද්‍යා පාලන වාර්තාව පි.23-24 1967- 68)

ජාතික හදගැස්ම කෙතරම් නම් මේ ඛේදනීය වූ සිදුවීම දැනුණේ ද යත් සීගිරියේ බිතුසිතුවම් විනාශ කළ බව දැනගන්නට ලැබුණු මො‍හොතේ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ දෑසට කඳුළු නැගිණි. තමන් ඉතාම අගය කළ ස්ථානයක් ලෙසින් නිතරම සඳහන් කළ ඒ මහා පුරුෂයා සැබැවින් මෙයින් කම්පනයට පත් වූයේය. ( තුන්කල් දුටු පරණවිතාන - සිරිසමන් විජේතුංග පී.191 සරසවි ප්‍රකාශකයෝ 2015) මෙම විෂය භාරව සිටි අමාත්‍යවරයා වූයේ ප්‍රකට ලේඛකයෙකු වුද අයි.ඇම්.ආර්.ඒ .ඊරියගොල්ල මහතාය. අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ඒ මහතා යටතේ පැවැතිණි. එහි ලේකම් වරයා වූයේ ද ඉතා ප්‍රකට විද්වතෙකු වන එම්.ජේ.පෙරේරා මහතාය. ඔහු මෙම සීගිරි ළඳුන් විනාශ කිරීමේ සිදුවීමට විෂය භාර අමාත්‍යවරයා සමඟ සීගිරියට ගොස් මේ පිළිබඳ විමසා ඉතාලියේ ඒ කාලයේ සිටි මෙවැනි බිතුසිතුවම් සංරක්ෂණය පිළිබඳ දැනුමින් යුත්ත ලුසියානෝ මරාන්සි මහතා ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළේය.

සීගිරියේ විනාශකාරි ක්‍රියාව ගැන අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට දැනගන්නට ලැබුණු වහාම අමාත්‍ය අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා විසින් බිතුසිතුවම් තහවුරු කිරීම හා සංරක්ෂණය කිරීම සඳහා ලැබිය හැකි සුදුසුතම විශේෂඥවරයෙකුගේ සේවය ලබා දෙන ලෙස ඉල්ලමින් යවන ලද කේබල් පණිවිඩයක ප්‍රතිඵලයක් වශයෙන් රෝමයේ පිහිටි සංස්කෘතික වස්තූන් හැදෑරීමේ හා සංරක්ෂණය කිරීමේ අන්තර් ජාතික මධ්‍යස්ථානය විසින් තහවුරු කිරීම හා සංරක්ෂණය පිළිබඳ ඉතාලි ජාතික ලුසියානෝ මරාන්සි මහතා එවන ලදි. ඔහු සති දෙකක සංරක්ෂණ කටයුතු සඳහා 1967 ඔක්තෝබර් මස 22 දා ලංකාවට පැමිණියේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන සංරක්ෂණ පිළිබඳ විශේෂඥයෙකු වූ ආචාර්ය ආර්.එච්.ද සිල්වා මහතා (ආචාර්ය රාජා ද සිල්වා මහතාගේ සංරක්ෂණ සහායකයින්ගේද ඔහුගේද පුර්ණ දායකත්වයෙන් සායම් ගා විනාශ කරන ලද සීගිරි බිතුසිතුවම් යළිත් යථා තත්ත්වයට පත් කරන ලද බව පුරාවිද්‍යා පාලන වාර්තා වලද සඳහන් වී ඇත.

විනාශ කරන ලද බිතුසිතුවම් සංරක්ෂණය කිරීමේ කටයුතු ආචාර්ය රාජා ද සිල්වා මහතාගේ ද පූර්ණ දායකත්වය ඇතිව මුල් අදියර නිම කළ ලුසියානෝ මරාන්සි මහතා 1967 වර්ෂයේ නොවැම්බර් මස 4 දා යළි සිය රටට ගියේය. ඉන්පසු 1968 මාර්තු මස ඔහු නැවතත් ලංකාවට පැමිණ සීගිරි බිතුසිතුවම් සංරක්ෂණය කිරීමේ කටයුතු වල නිරත විය.

එසේ සංරක්ෂණය කිරීමෙන් පසුව 1968 මැයි මස 09 වැනි දින සම්භාවනීය අමුත්තන් ද දහස් ගණනක් රට වැසියන්ගේ ද සහභාගිත්වයෙන් සීගිරි පර්වතයේ බටහිර පැත්තේ පිහිටි පැරණි රාජසභා ශාලාවේ පවත්වනු ලැබූ ඉතිහාසගත විය යුතු රැස්වීමකදී අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා විසින් සංරක්ෂණය කළ සීගිරි බිතුසිතුවම් සහිත ගුහාව උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

Comments