ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් අහිමි වීමේ අවදානමක්! | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් අහිමි වීමේ අවදානමක්!

ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සිද්ධි අතිශයින් බරපතළ බවත්, දිගින් දිගටම මේ තත්ත්වය පැවතුණ හොත් ශ්‍රී ලංකාවේ ටෙස්ට් තත්ත්වය අහෝසි වීමේ අවදානමක් පවතින බවත් අයිසීසීය ශ්‍රී ලංකා රජයට අනතුරු හඟවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු හා ක්‍රීඩකයන් කීපදෙනකු මෙන්ම ක්‍රිකට් පරිපාලනයේ ඉහළම තනතුරු දරන පුද්ගලයන් රැසක්ද එක්ව කළ තරග පාවාදීම් සහිත බරපතළ වංචා රැසක් හෙළිදරවු කරගැනීමට හැකි වීමත් සමඟ අයිසීසීය මෙවැනි තීන්දුවක් ගැනීමට සැරසෙයි.

අයිසීසී දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් ඇතුළු කණ්ඩායමක් මේ සතියේ මුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් නොදන්වා ලංකාවට පැමිණීමෙන් අනතුරුව අගමැතිවරයා, ජනාධිපතිවරයා හා ක්‍රීඩා ඇමැතිවරයා හමු වී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති මේ බරපතළ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර තිබේ. එමෙන්ම මේ තත්ත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මුදාගැනීමට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමටත්, අයිසීසීයේ දූෂණ මර්දන ඒකකයේ ශාඛාවක් ලංකාව තුළ ස්ථාපිත කිරීමටත් ඔවුන් යෝජනා කර තිබේ.

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයේ පසු වන එංගලන්ත කණ්ඩායමේ ලංකා සංචාරය ආරම්භ වීමත් සමග අයිසීසීය මේ ඇති කර තිබෙන තත්ත්වය ගැඹුරින් විමසා බැලිය යුතු බවත්, යුරෝපීය කණ්ඩායමකට ශ්‍රී ලංකාව සමඟ ශ්‍රී ලංකාව තුළ තරගාවලියක් ජයග්‍රහණය කිරීම අතිශය දුෂ්කර කටයුත්තක් සේ සැලකෙන බැවින් සිදු වන සියල්ල සබුද්ධිකව

විමසිය යුතු බවත් ක්‍රිකට් ආරංචිමාර්ග පවසයි.

Comments