තුර්කියේ කුස්කෝයි ගැමි­යන්ගේ කුරුලු භාෂාව | Page 2 | සිළුමිණ

තුර්කියේ කුස්කෝයි ගැමි­යන්ගේ කුරුලු භාෂාව

රටක හෝ ප්‍රදේශයක අනන්‍යතාව හෝ සංස්කෘතිය නියෝජනය වන එක් අංගයක් තමයි එහි භාෂාව. දැන් ලෝකය දියුණු නිසා ගම් නගර යාවී තිබුණත් අතීතයේදී එසේ නොතිබූ නිසා බොහෝමයක් ප්‍රදේශවලට එයටම ආවේණික වූ භාෂා භාවිතාවී තිබුණා. එහෙත් දිනෙන් දින එවැනි ප්‍රාදේශීය භාෂා වියැකී යන්නේ ප්‍රධාන භාෂාවලට වැඩි තැනක් ලැබෙන නිසායි. සෑම භාෂාවකටම එයට ආවේණික වූ කොටස් තිබෙන අතර තුර්කියේ තිබෙන ගම්මානයක භාවිතා කෙරෙනා අපූරු භාෂාවක් ගැන තොරතුරු අද ඔබ වෙත ගෙන එනවා.

උතුරු තුර්කියේ කළු මුහුදු තීරයේ තිබෙන කුඩා ගම්මානයක් තමයි කුස්කෝයි (Kuskoy) කියන්නෙ. ඉතාමත් දැකුම්කලු කඳුකර ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශය අනිකුත් ප්‍රදේශ වලින් තරමක් හුදකලා වී තමයි තිබෙන්නේ. මෙහි වෙසෙන ජනයා ජීවත්වන්නේ කඳු බෑවුම් හි ඈතින් ඈතින් නිවාස සාදාගෙනයි. මෙම කුස්කෝයි ජනතාව අපි සාමාන්‍යයෙන් භාවිත කරන භාෂාවක් වෙනුවට විසිල් ගැසීමක් එසේත් නැතිනම් උරුවම් බෑම මඟින් තම අදහස් ප්‍රකාශ කරගන්නවා.

මෙම භාෂාව හඳුන්වන්නේ කුස් ඩිලි (kus dili) එසේත් නැතිනම් කුරුලු භාෂාව නමින්. ඔවුන් ඇඟිලි, දිව හා තොල් යොදාගෙන කුරුලු නාදයන්ට සමාන ශබ්ද සිදු කරන නිසා මෙම නම ලැබී තිබෙනවා. සැබෑ ලෙසම ගත් විට ඔවුන් භාවිතා කරන්නේ සාමාන්‍ය තුර්කි භාෂාවයි. එහෙත් සාමාන්‍ය ලෙසින් එය උච්චාරණය කරනවා වෙනුවට ඔවුන් විවිධ විසිල් ශබ්ද එයට ආදේශ කරගෙන තිබෙනවා.

එයට හේතුව වන්නේ මෙහි නිවාස එකිනෙකට බොහෝ දුරින් පිහිටා තිබෙන නිසා ඔවුනොවුන් අතර සන්නිවේදනය කිරීම මෙම කුරුලු භාෂාව මඟින් පහසුවෙන් කිරීමට හැකියාව ලැබීම නිසායි. මෙම විසිල් නාදයන් සැතපුම් භාගයක් පමණ දුරකට ඇසෙන නිසා මෙම කඳුකර වැසියන් වසර සියගණනක් පුරාවට මෙම කුරුලු භාෂාව භාවිත කරනවා.

මෙම ගම්මානයේ තිබෙන පාසලේ මේ භාෂාව ඉදිරි පරපුරට කියා මෙය ඔවුන්ගේ සාම්ප්‍රදායික උරුමයක් නිසා එය රැකගැනීමේ අරමුණෙන්. එහෙත් මේ වනවිට ජංගම දුරකතන භාවිතය නිසා මේ භාෂාවේ භාවිතය කෙමෙන් කෙමෙන් වියැකී යනවා. යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින්ද මෙම භාෂාව නම් කර තිබෙන අතර සෑම වසරකටම වරක් මෙම ගම්මානයේ උත්සවයක්ද පවත්වන්නේ ඔවුන් සතු මේ උරුමය ලොවටම පෙන්වීමටයි.

මෙම කුරුලු නාද මඟින් ඕනෑම වචනයක් පැවසීමට හැකි වූවත් දුර සිටින පුද්ගලයාට ඒ සියල්ලක්ම හඳුනා ගැනීමට අපහසු නිසා ඉතා දිග යමක් පැවසීමට අවශ්‍ය වූ විටදී ඔවුන් කරන්නේ කුරුලු භාෂාව මඟින් එම පුද්ගලයා ළඟට කැඳවා ඔහු සමග එය තුර්කි බසින් සාකච්ඡා කිරීමයි.

ලෝකයේ මෙවැනි විසිල් හඬින් අදහස් හුවමාරු කරගත් සෑම ප්‍රදේශයක්ම ඉතා කඳුකර හෝ අධික වනගහනයෙන් යුතු ප්‍රදේශ වන අතර මෙම තුර්කි ගම්මානය ඒ අතරින් විශේෂ වන්නේ ඔවුන් අතර තවමත් එම භාෂාව භාවිතයට ගැනෙන නිසායි. භාෂාව හා සංස්කෘතිය අතින් මෙය ඉතා විශාල වටිනාකමකින් යුතු දෙයක් වන අතර, විද්‍යාඥයන් විසින් මෙම විසිල් නාද හඳුනාගැනීම ඔස්සේ මොළයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට විවිධ අධ්‍යයන කටයුතු පවා සිදු කරනු ලබනවා.

 
 

Comments