සිහිනය සැබෑ කරගත් න‍යෝමි | සිළුමිණ

සිහිනය සැබෑ කරගත් න‍යෝමි

මෙවර ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලිය ඇරඹෙන විට එහි කාන්තා කේවල (තනි) ශූරතාව හිමි කර ගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූ ක්‍රීඩිකාවක් සිටියාය. ඒ ඇමෙරිකාවේ සෙරිනා විලියම්ස්ය.

36 හැවිරිදි සෙරිනා මේ වන විට හිමි කරගෙන සිටින ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල මුළු ශූරතා ගණන 23 කි. ඒ අනුව ඇයට කාන්තා ලෝක වාර්තාව සම කිරීමට අවශ්‍ය වන්නේ තවත් ශූරතාවක් පමණකි. දැනට එම වාර්තාවට ශූරතා 24 කි. එහි හිමිකාරිනිය වන්නේ ඔස්ට්‍රේලියාවේ මාග්‍රට් ස්මිත්ය.

මෙවර විම්බල්ඩන් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සෙරිනා සමත් වූ විට වාර්තාව සම කිරීමට අවස්ථාවක් උදා විය. එහෙත් ජර්මනියේ ඇන්ජෙලික් කර්බර් ඊට හරස් වූවාය.

‍ෙම් නිසාම සිය රටේදී ම සෙරිනා වාර්තාව සම කරනු ඇතැයි බොහෝ දෙනා සිතූහ. ඇය මීට පෙර ඇමෙරිකානු කේවල ශූරතා හයක් ම හිමිකර ගෙන සිටියාය. ඒ 1999, 2002, 2008, 2012, 2013 සහ 2014 වසරවලදීය.

එම බලාපොරොත්තු ඉටු කරමින් සෙරිනා මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් හිමිකර ගත්තාය. එහිදී ඇගේ ප්‍රතිවාදිනිය වූයේ ජපානයේ 20 හැවිරිදි නයෝමි ඔසාකා ය. මෙම අවසන් තරගය ආන්දෝලනාත්මකය. එය තරග වට 2 - 0 කින් ජය ගත්තේ නයෝමිය. ඒ ලකුණු 6 - 2, 6 - 4 ක් වශයෙනි. මේ නිසා ඇයට හිමි වූ ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් 3,800,000 කි.

මෙම ජය වාර්තාගතය. එනම් ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාවක් හිමිකර ගත් ප්‍රථම ජපන් ජාතිකයා ඇය වන බැවිනි. මෙය සත්‍ය වශයෙන් ම නයෝමිගේ සිහිනයක් සැබෑ වීමකි.

“ඔව්. ම‍ෙග් එක ම සිහිනය වූයේ ඇමෙරිකානු විවෘත අවසන් තරගයකදී සෙරිනා සමඟ තරග කිරීමයි. එය ඉටු කර ගැනීමට හැකි වීම ගැන මට සතුටුයි.” ජයග්‍රහණයෙන් අනතුරුව න‍යෝමි පැවසුවාය. නයෝමිගේ ක්‍රීඩා වීරවරිය ව න්නේත් සෙරිනාය.

නයෝමි ඔසාකා මේ වන විට ජපන් වීරවරියක් බවට පත් වී අවසන්ය. නයෝමි අපූරු තරුණියකි. ඇය උපත ලැබුවේ ජපානයේ ඔසාකා නුවරදී ය. ඒ 1997 ඔක්තෝබර් 16 වැනිදාය. ඇගේ උස අඩි 5 අඟල් 11 කි. ක්‍රීඩා කරන්නේ දකුණතිනි.

ඇගේ පියා හයිටි ජාතික ලෙනාර්ඩ් ෆ්‍රැන්කොයිස්ය. මව ජපන් ජාතික ටමාකි ඔසාකා ය. වැඩිමහල් සොහොයුරිය මාරිය. ඇයත් ටෙනිස් ක්‍රීඩිකාවකි. ලෙනාර්ඩ් කලක් අධ්‍යාපනය හැදෑරුවේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේය. හෙතෙම පසුව ජපානයට ගියේය. එහිදී ටමාකි හමුවිණි.

කෙසේ වෙතත් ලෙනාර්ඩ් සහ ටමාකිගේ පෙම් සබඳතාවට ඇගේ පියා කැමති වූයේ නැත. ඒ ලෙනාර්ඩ් කළු ජාතිකයකු වූ බැවිනි. මේ නිසා ටමාකි සහ ඇගේ පවුල අතර වසර දහයකට වැඩි කාලයක් සබඳතා බිඳ වැටුණි.

ලෙනාර්ඩ් සිය බිරියත් දියණියන් දෙදෙනාත් සමඟ පසුව ඇමෙරිකාවේ පදිංචියට ගියහ. එවිට නියෝමි තෙහැවිරිදිය. ඉන් අනතුරුව නයෝමිගේ ස්ථිර පදිංචිය ඇමෙරිකාවයි. “මම ජපානයට ගියාම ඒ මිනිසුන් අන්දමන්ද වෙනවා. මගේ නමත් සමඟ ඔවුන් කළු ජාතිකයෙක් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා.” නයෝමි 2016 වසරේදී පැවසුවාය.

නයෝමි ක්‍රමයෙන් ටෙනිස් ක්‍රීඩාවෙන් ඉදිරියට යමින් සිටියාය. 2013 - 14 වන විට ඇගේ පියා ජපන් ටෙනිස් සංගමයේ සාමාජිකාවක ලෙස නියෝමිව ලියාපදිංචි කළේය. 2013 සැප්තැම්බර් වන විට ඇය වෘත්තීයම ක්‍රීඩිකාවක් බවට පත් වූවාය. ඇය 2014 සිට කාන්තා ටෙනිස් සංගමයේ (ඩබ්.ටී.ඒ.) තරගවලට සහභාගි වූවාය. ඇයට ජපාන සහ ඇමෙරිකානු ද්විත්ව පුරවැසිකම හිමිය.

නයෝමි ඔසාකාගේ දක්ෂතා දෙසට ප්‍රථම වරට ජාත්‍යන්තර අවධානය යොමු වූයේ 2014 වසරේදීය. ඒ ඇය 16 හැවිරිදි වියේදී ඔස්ට්‍රේලියාවේ සමන්තා ස්ටෝසර් පරාජය කිරීමත් සමඟිනි. සමන්තා 2011 ඇමෙරිකානු විවෘත ශූරියයි.

නයෝමිගේ ක්‍රීඩා රටාව ආක්‍රමණශීලීය. එමෙන්ම වේගවත් ය. ඇය සමහරවිට පන්දුව පිරිනමන වේගය පැයට සැතැපුම් 125 කි. ඇය මෙවර ජයග්‍රහණයත් සමඟම ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 07 ට පත්වී සිටින්නීය. මේ වන විට ඇයට ඩබ්.ටී.ඒ. ශූරතා දෙකකි. එමෙන් ම අනුශූරතාවයකි. තවද ජාත්‍යන්තර ටෙනිස් සම්මේලන අනුශූරතා සතරකි.

සුප්‍රකට ෆෝබ්ස් සඟරාවේ නවතම වාර්තාවකට අනුව 2018 වසරේ වැඩිම මුදලක් ඉපයූ ක්‍රීඩිකාවන් අතර නයෝමිට දෙවැනි ස්ථානය හිමිය. එහි මුල් ස්ථානය සෙරිනාටය.

මේ අතර සුප්‍රකට අඩිඩාස් සමාගම නයෝමි සමඟ තිබූ ගිවිසුම අලුත් කිරීමට කටයුතු කළේය. නව ගිවිසුමට අනුව න‍යෝමිට හිමි වන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 10 කි. එය අඩිඩාස් සමාගම ක්‍රීඩිකාවකට ලබා දුන් වැඩිම මුදලයි. මීට අමතරව නිසාන් සමාගමේ සන්නාම තානාපතිනිය ලෙසටත් නයෝමිව තෝරා ගෙන තිබේ.

නයෝමි ඔසාකා ජපානයට අත්කර දුන් කීර්තිය අති විශාලය. එම නිසා ජපන් වැසියන් අතර ඇයට සුවිශේෂී ස්ථානයක් දැනටමත් හිමි වී අවසන්ය. එම වැසියන් අතර නයෝමිගේ සීයාත් සිටියි.

ඔහු නයෝමි ගැන ආඩම්බර වෙයි. “මගේ මිනිබිරිය ක්‍රීඩා කරනවා මමත් මගේ බිරියත් රූපවාහිනියෙන් දැක්කා. ඇය ජය ගත් විට මට ඇඬුණා. මට පුදුමාකාර ලෙස සතුටුයි. ඇය නිරෝගිමත්ව සිටිමින් දිගටම හොඳ වැඩ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2020 ටෝකියෝ ඔලිම්පික් ජයග්‍රහණයත් ඇය හිමි කර ගනු ඇතැයි මගේ බලාපොරොත්තුවයි.”

 

Comments