
සෙරිනා විලියම්ස්
සෑම වසකදීම පැවැත්වෙන ප්‍රධානතම ටෙනිස් තරගාවලී සතරකි. එම තරගාවලි හැඳින්වෙන්නේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා ලෙසිනි.
ඔස්ට්‍රේලියානු විවෘත, ප්‍රංශ විවෘත, විම්බල්ඩන් (එංගලන්තය) සහ ඇමෙරිකානු විවෘත මෙම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයන්ට අයත් වේ. මේ අතරින් අවසානයට පැවැත්වෙන්නේ ඇමෙරිකානු විවෘත ශූරතාවයි. 2018 ඇමෙරිකානු විවෘත ශුරතාවලිය මීට සති කිහිපයකට පෙර නිමාවට පත් විය.
ඒ පිරිමි කේවල (තනි) ශූරතාව සර්බියාවේ නොවැක් ජොකොවියවිච්ට හිමිකර දෙමිනි. මෙවර කාන්තා කේවල ශූරිය වූයේ ජපානයේ නයෝමි ඔසාකාය.
කෙසේ වෙතත් මෙවර බොහෝ දෙනාගේ අවධානය යොමු වුයේ කාන්තා කේවල අවසන් තරගය වෙතටයි. ඒ එම තරගය අතරතුරදී සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් නිසාය. ඊට සම්බන්ධ වූයේ ප්‍රධාන විනිසුරු වූ කාර්ලොස් රාමොස් සහ ඇමෙරිකානු සුපිරි ශූරිය වන සෙරිනා විලියම්ස්ය.
තරගයේ ගැටලු මතු වූයේ දෙවන වටයේදීය. පළමු වටය නයෝමි ජය ගත්තේ ලකුණු 6-2 ක් වශයෙනි. දෙවන වටයේ අවස්ථාවකදී විනිසුරු රාමොස් විසින් සෙරිනාට අනතුරු ඇඟවීමක් කළේය. එනම් තරගය අතරතුරදී පුහුණුකරුගේ සහාය ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙසටයි.
සාමාන්‍යයෙන් ටෙනිස් තරග අතරතුරදී පුහුණුකරුවෝ පිටිය මැද සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත් සංඥා මඟින් විවිධ උපදෙස් ලබා දෙති. මෙහිදීත් සෙරිනාගේ පුහුණුකරු වන පැට්රික් මොරාටොග්ලු අත් සංඥා වලින් සෙරිනාට උපදෙස් දෙන ආකාරය රූපවාහිනි දසුන්වල පැහැදිලිවම දක්නට ලැබුණි.
ඉහත ක්‍රියාව එසේ වුවත් අන්තර්ජාතික ටෙනිස් සම්මේලනයේ නීති - රීතිවලට අනුව ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලදී එසේ කළ නොහැකිය.
මෙම ක්‍රියාව විනිසුරු රාමොස් පැහැදිලිවම දැක තිබුණි. හෙතෙම තරග අතරතුරදී නීති- රීති අකුරටම ක්‍රියාත්මක කරන පුද්ගලයකු ලෙසට ප්රකටය. පුහුණුකරු ලබා දුන් උපදෙස් සෙරිනා දුටු බවට පැහැදිලි නැත. තරගයෙන් අනතුරුව තමන් උපදෙස් ලබා දුන් බව පැට්රික් පිළිගත්තේය. “ඔව්. මම එහෙම කළා. හැම පුහුණුකරුවෙක්ම එහෙම කරනවා. එය සෙරිනා දැක්කා කියලා මම හිතන්නේ නැහැ”
විනිසුරු රාමොස් තමන්ට අනතුරු ඇඟවීම් ගැන සෙරිනා කෝපයට පත් වූවාය. ඇය රාමොස්ට මෙසේ පැවසුවාය. “මම දිනන්න වංචා කරන්නේ නැහැ. ඊට වැඩිය පරදිනවා”
යළිත් තරගය ඇරඹුණි. එහිදී සෙරිනා වෙතින් අතපසුවීම් කිහිපයක්ම සිදු විය. මින් ඇය තවත් කෝපයට පත් වූවාය. එහි ප්‍රතිඵලය වූයේ සිය ටෙනිස් පිත්ත පොළොවේ ගැසීමට ඇය ක්‍රියා කිරීමයි.
එසේ කිරීමත් වැරදි ක්‍රියාවකි. රාමොස් දඬුවම් ලකුණක් සෙරිනාට එරෙහිව ලබා දුන්නේය. එහිදී යළිත් වතාවක් සෙරිනා රාමොස් සමඟ මත ගැටුමක යෙදුණාය. “මට මෙය විශ්වාස කරන්න බැහැ. මම මෙහි ක්‍රීඩා කරන හැම විමට ප්‍රශ්න ඇති වෙනවා. ඔබ (රාමොස්) වහාම නිවේදනය කරන්න මම උපදෙස් ගත්තේ නැහැ කියලා. ඔබ මගෙන් සමාව ගත යුතුයි. මගේ ජීවිතේටම වංචා කරලා නැහැ. මට දුවෙක් සිටිනවා. ඇය වෙනුවෙන් නිවැරදි දේ සඳහා මම පෙනී සිටිනවා. මම ක්‍රීඩා කරන කිසිම තරගයක් ඔබ විනිශ්චය කරන්නේ නැහැ.” ඊට රාමොස් පිළිතුරු දෙනු ලැබුවේ සෙරිනා තෙවන වරටත් වරදක් කළ බවට තීරණයක් ලබා දෙමිනි. ඒ ඊළඟ ජය නයෝමි ඔසාකාට පිරිනමමිනි.
සෙරිනා තවදුරටත් රාමොස්ට එරෙහිව අදහස් දැක්වුවාය. “ඔබ ක්‍රීඩකයන්ට එරෙහිව මෙහෙම කරනවාද? මම කාන්තාවක් නිසයි මේ සේරම” තරගයේ දෙවන වටයේ නිමාවට ආසන්න වීමත් සමඟම තරගාවලි තීරක බ්‍රයන් අර්ලි සහ කාන්තා ටෙනිස් සංගමයේ සුපර්වයිසර්වරියක් වන ඩෝනා කෙල්සෝට වහාම පිටියට පැමිණෙන ලෙසට සෙරිනා දැඩි බලපෑමක් කළාය. ඒ අනුව ඔවුන් පැමිණියහ. එහිදීත් සෙරිනා සිය හඬ යළිත් අවදි කළාය. “මීට පෙරත් මෙම තරගාවලියේදී මට මෙවැනි දේවලට මුහුණ දෙන්න සිදු වූවා.”
සාමාන්‍යයෙන් ටෙනිස් ක්‍රීඩාවේ සම්පූර්ණ තරගයම නිමා වූ විට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විනිසුරුවන්ට අතට අත ලබා දෙති. නමුත් මෙහිදී සෙරිනා එසේ කළේ නැත. මේ අතර මෙම සිදුවීමේදී බහුතරයක් වූ නරඹන්නන් සිය සහාය ලබා දුන්නේ සෙරිනාට ය. විනිසුරු රාමොස්ට එරෙහිව ඔවුහු ශබ්ද කළහ. එමෙන්ම ශුරතාවලිය අවසානයේදී විනිසුරුවන්ට පිරිනමන තිළිණ ලබා ගැනීමටත් රාමොස් යළි පිටියට පිවිසියේ නැත.
මෙම සිදුවීමේදී වත්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බහුතරයකගේම සහාය හිමිවූයේ සෙරිනාටය. එමෙන්ම කාන්තා ටෙනිස් සංගමයේ ප්‍රධාන විධායක ස්ටීව් සයිමන් සහ ඇමෙරිකානු ඇඩම්ස් සෙරිනාට පක්ෂ වූහ.
සෙරිනා වෙනුවෙන් පෙනී සිටිය ඇතැමුන්ට අනුව විනිසුරු රාමොස් මීට වඩා සංයමයකින් ක්‍රියා කළ යුතුව තිබුණි. එසේ වුවත් අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය විනිසුරු රාමොස් වෙනුවෙන් ඉදිරිපත් විය. රාමොස් නීති - රීතිවලට අනුව ක්‍රියා කළ බව එම සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කළේය. බොහෝ දෙනාගේ දැඩි අවධානයට ලක් වූ කාර්ලොස් රාමොස් පෘතුගාල විනිසුරුවරයෙකි. හෙතෙම 47 හැවිරිදිය. 1991 වසරේ සිට විනිශ්චයේ නිරත වෙයි.
හිටපු සුපිරිතම ටෙනිස් ශූරියක වන මාටිනා නව්රතිලෝවා මෙම තරගයේ දී සෙරිනා ක්‍රියා කළ ආකාරය වැරදි බව පැවසුවාය. සෙරිනා වැනි ශුරියකගෙන් එවැනි හැසිරීමක් බලාපොරොත්තු විය නොහැකි බව මාටිනා ප්‍රකාශ කළාය. එය අනුමත කළ හිටපු විනිසුරුවන් සහ මධ්‍යස්ථ පුද්ගලයන්ගේ මතය වූයේත් සෙරිනාගේ හැසිරීම ඉතා පහත් මට්ටමක තිබූ බවයි.
මේ අතර පසුව ඇමෙරිකානු ටෙනිස් සංගමය අවසන් තරගයේදී විනය විරෝධිව හැසිරුණු සෙරිනාට එරෙහිව දඩ ගැසීමකුත් නියම කළේය. එම දඩ මුදල ඇමෙරිකානු ඩොලර් 17,000 කි. කෙසේ වෙතත් මෙවර ඇමෙරිකානු විවෘත කේවල අනුශූරිය වීම නිසාම සෙරිනාට විශාල ත්‍යාග මුදලක් හිමි විය. ඒ ඇමෙරිකානු ඩොලර් 1,850,000 කි.










