
‘හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් 2018’ ලයන්ස් ටොප් ස්පීඩ්
මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ සුවිශාලතම ත්‍යාග පිරිනමමින් ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) හා ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රිඩා සමාජය (AMRC) එක්ව හච් ටෙලිකොමියුනිකේෂන් පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇතිව සංවිධානය කරන “හච් ශ්‍රී ලංකා සුපර්සීරීස්” මෝටර් රථ හා යතුරුපැදි තරගමාලාවේ හයවන අදියර හා “ටාමැට්” මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දෙවන අදියර ‘ලයන්ස් ටොප් ස්පීඩ්’ තරගාවලිය පසුගියදා කටුකුරුන්ද ගුවන් පථයේදී නිමාවට පත් විය. එහිදී ඒරන් ගුණවර්ධන දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස අභිෂේක ලැබීමට සමත් විය.
අශාන් සිල්වා එස්.එල්./ජී.ටී. 3500 සී.සී. මෝටර් රථ තරග ඉසව් දෙකෙන්ම ජයගෙන දක්ෂතම මෝටර රථ ධාවකයා ලෙස සියලු ගෞරව දිනාගැන්මට සමත් වුවත් දෙවන තරගයේ අවසන් තරග ප්‍රතිඵල අභියෝගයට ලක් කළ ප්‍රවීණ මෝටර් රථ ධාවක අරවින්ද ප්‍රේමදාස මහතා නිසා තරග ප්‍රතිඵල තරග තීරක විසින් අත්හිටවනු ලැබීය. නැතිනම් වසරේ නව වැනි ජයත් හිමිකර ගැනිමට අශාන්ට හැකියාව තිබුණී.
ඒරන් ගුණවර්ධන ජාත්‍යන්තර අත්දැකීම් දේශිය තරග බිමේ මුදා හරමින් සිව්වැන්නා ලෙස 250 සී.සී. සුපර් ස්පෝට් යතුරුපැදි වීවෘත තරග ඉසව්ව අරම්භ කරමින් තමන් පසුකර ගිය හා තමන් ඉදිරියෙන් සිටි ප්‍රවිණයන් වු මධුරංග කල්දේරා, ශ්‍රීයන්ත අනුරාධ, ප්‍රමුඛ සේසත්, පූර්ණක ප්‍රසාද් හා සොයෙල් ඩැනියෙල් වැනි තරග කරුන් සෙමෙන් සෙමෙන් පසුකරමින් කලබලයකින් තොරව වට 16කින් යුත් තරග ඉසව්ව අවසානය තෙක් තරග කළේය. අවසානයේ ජයග්‍රහකයා ලෙස ඒරන් තරගය නිමා කළේය. ඒරන් පසුපසින් සිටි ශ්‍රීයන්ත අනුරාධ හා දිමුත් ද සිල්වා දෙවැන්නා හා තෙවැන්නා ලෙස තරගය අවසන් කළේය. මධුරංග හා ප්‍රමුඛ යන ක්‍රීඩකයන් දෙදෙනා තම තමන්ගේ යතුරුපැදියේ හටගත් කර්මික දෝෂයක් නිසා ධාවන පථයෙන් ඉවත් වු අතර අවසානයේ තරගය අවසන් කළේ තරග කරුවන් සිව් දෙනෙකු පමණයි. ඒරන් සොයුරු ජේඩින් ගුණවර්ධනද 250 සී.සී. සුපර් ස්පෝට් යතුරුපැදි වීවෘත තරග ඉසව්ව නියෝජනය කළත් ඔවුට ද සාර්ථක අවසානයක් ලබා ගත නොහැකි විය.
පෙරදින කාල ගණනයේදී පෙරමුණ ගත් අශාන් සිල්වා එස්.එල්./ජී.ටී. 3500 සී.සී. මෝටර් රථ පළමු තරගයෙන් ප්‍රථමයා ලෙස තරගය නිමා කළ අතර සජාඩ් සුහයිර් දෙවැන්නා විය. චරිත් පෙරේරා තෙවැන්නා විය, මිස්සක නවින් සිව්වැන්නා වු අතර අභීත් දංගල්ල පස්වැනැ ලෙස තරගය නිමා කළේය. නමුත් දෙවන තරගය අරම්භ වී පළමු හැරවුමේදි මෝටර් රථ හතරකට අධික ප්‍රමාණක් එකිනෙක ගැටීමේන් සිදු වු අනතුරේන් සජාඩ් තරගයෙන් ඉවත් විය. අනෙකුත් තරගකරුවන් නැවතත් ධාවන පථයට ප්‍රවිෂ්ට වි තරගයේ නියැලුනත් අශාන් සමීපයට ඒමට ඒ කිසිවෙකුට නොහැකි විය. මිස්සක හා දිනේෂ් ඒ අතරින් අශාන් පසුපස විය. තරගය අවසන් වන තෙක්ම මිස්සක දෙවන ස්ථානය රැකගත් අතර දිනේෂ් තෙවන ස්ථානය රැකගැනීමට සමත් විය. උෂාන් පෙරේරා සිව්වැන්නා ලෙස දෙවන තරගය නිමා කළ අතර ටිරෝන් හෙන්දවිතාරණ පස්වැන්නා විය. එස්.එල්./ජී.ටී. තරග ඉසව්වේ කැපීපෙනෙන තරග කරුවන් වූ අරවින්ද හා කුෂන් තරග ඉසව් නියෝජනය කළත් සාර්ථක අවසානයක් හිමිකර ගැනිමට ඔවුන්ට නොහැකි විය. නමුත් කුෂාන් හා අරවින්ද අනෙකුත් තරග කරුවන් සමග හොඳ තරගයක නියැළුණේය.
එස්. අමදෝරු එස්.එල්/එෆ්. ෆොමියුලා මැක්ලරන්ස් (කාබුයුලේටර්) පළමු තරග ඉසව්වෙන් ජයගත් අතර එස්.එල්/එෆ්. ෆොමියුලා මැක්ලරන්ස් (ඊ.එෆ්.අයි.) තරග ඉසව් දෙකෙන්ම ජය හිමිකර ගත්තේ බ්‍රයන් පෙරේරායි. එස්.එල්ච/එෆ්. ෆොමියුලා මැක්ලරන්ස් (කාබුයුලේටර්) දෙවන තරගය නොපැවැත් විය. පළමු තරග ඉසව්වේදි සිදුවු අනතුර නිසා මෝටර් රථ ක්‍රීඩා ලොලීන් දෙදෙනෙකුට තුවාල සිදුවිය. එම නිසා දෙවන තරගය නොපැවැත්විය.
නවීනතම මෝටර් රථ දෙකක් හා නවීනතම යතුරුපැදි දෙකක් පසු පස හබා යන මෝටර් රථ රියදුරන්ගේ හා යතුරුපැදි ධාවකයන්ගේ බලාපොරොත්තුවේ සුවිශේෂී නවාතැන් පෙළ වු ‘ලයන්ස් ටොප් ස්පීඩ්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියට මෝටර් රථ තරග ඉසව් නියෝජනය කරමින් තරග කරුවන් 150කට වැඩි පිරිසක් හා යතරුපැදි තරග ඉසව් නියෝජනය කරමින් තරග කරුවන් 130කට අදික පිරිසක් තරගාවලියට එක්ව සිටියේය. සැම තරග ඉසව්වක්ම උද්වේග කර තරග ඉසව්වක් වු අතර මෝටර් රථ තරග ඉසව් තුළ වැඩි තරගකාරීත්වයක් දැක ගත හැකිව තිබුණි.
එස්.එල්./ජී.ටී. 3500 සී.සී. මෝටර් රථ තරග ඉසව්ව නියෝජනය කරමින් තරග කරුවන් 15කට වැඩි පිරිසක් සහභාගී වු අතර එස්.එල්./එන්. 1500 සී.සී. ෆෝඩ් ලේසර්/මැස්ඩා තර ඉසව් හා එස්.එල්./එන්. 1300 සී.සී. ෆෝඩ් ලේසර්/මැස්ඩා තරග ඉසව්ව නියෝජනය කරමින් තරග කරුවන් 50කට අධික පිරිසක් ධාවන පථයට එක්ව සිටියේය.
දිනයේ දෙවන වේගවත්ම මෝටර් රථ තරග ඉසව්ව වු එස්.එල්./එච්. 1618 සී.සී. මෝටර් රථ තරග ඉසව්වෙන් සකීර් වහාබ් ජයගත්තේය. සෙසු මෝටර් රථ තරග ඉසව් වලින් ශෙනාල් ගුණවර්ධන, රජිත උළුවිට, මනුර වන්නිආරච්චියි, ඉම්රාෂ් ෆේරෝස්, චානක රත්නායක, මල්ලික කුරුවිටආරච්චි හා ඩිලංක විජේසූරිය ජයගත්තේය.
එස්.එල්./ඒ. 1050 සී.සී. නවීකරණය කරණ ලද මෝටර් රථ තරග ඉසව්වෙන් තිරාන් පෙරේරා ජයගත්තත් අවසන් තරග ප්‍රතිඵලය අභියෝගයට ලක්කළ තරග කරුවෙකු තිරාන්ගේ මෝටර් රථයේ අවශ්‍ය ප්‍රමිතියෙන් තොරයයි අභියෝග කළේය. තරග තිරක විසින් එම තරග ප්‍රතිඵලය ද අත්හිටවන ලදී.
සංගීත් සුරියගේ දීත්ව ශුරතා දිනමින් එස්.එම්. සුපර්මෝටාඩ් විවෘත 125 – 500 සී.සී.(2ටි) /250 – 750 සි.සී.(4ටී) තරග දෙකෙන්ම ජයගත්තේය. දුෂාන් මුදලිගේ තරග ඉසව් දෙකෙන්ම දෙවැන්නා විය. එස්.එම්. සුපර්මෝටාඩ් 100 – 125සී.සී.(2ටි)/175 – 250සි.සී.(4ටී) යතුරුපැදි තරග ඉසව්වෙන් කවිඳු දුෂාන් මුදලිගේ ජයගත් අතර දේශාන් සොලංකී දෙවැන්නා විය. මේ වසර පුරාවටම කැපී පෙනෙන දක්ෂතා දක්වමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ඉමල් මංචනායක ලයන්ස් ටොප් ස්පීඩ් තරගාවලියට එක් සිටියේ නැත.
‘ඕ’ කාණ්ඩයේ 125 – 160 සී.සී.(4ටී.) යතුරුපැදි තරග ඉසව්වේන් තරග කාරී තරග කාරිය වන හංසිකා අබේසිංහ දෙවැන්නා කරමින් කුෂාන් චමෝද් ජය වාර්තා කිරීමට සමත් විය.
සිවලිංගම් ඥානප්‍රකාශ්, එම්.රීස්වී, ටි.වී.කොඩිකාරච්චි, එච්.ජී. නිපුණ ඩිලංක හා ශාෂේන් ස්මිත් නූන් සෙසු සහයක යතුරුපැදි තරග ඉසව්වලින් ජයගැනීමට සමත් විය. දෙවන වරටත් 306 සී. 1 සිංහ සමාජය විසින් ලයන්ස් ටොප් ස්පීඩ් තරගාවලියට අනුග්‍රාහකත්වයෙන් දායකත්වය සපයා තිබූනි.
“හච් ශ්‍රී ලංකා සුපර් සීරීස්” තරගමාලාවේ අවසන් අදියරවල් දෙක ලෙස කටුකුරුන්ද මාණ්ඩලික තරගාවලිය හා මිරිගම කැන්වේ ඔටෝඩෝම් සුපර් සීරීස් තරගාවලියේ දෙවන අදියර නොවැම්බර් මස පැවැත්වීමට නියමිතය. ඉන් පසු වසරේ විශිෂ්ටයන් ඇගැයීමට නියමිතය.










