
පළමු ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියේ මූලික වටයේ සවුදි අරාබිය සමඟ පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීම පිළිබඳ මේ වන විට දැඩි කතා බහක් මතු වී තිබේ. මේ පරාජයට හේතු සාධක සෙවීම සඳහා වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.
මේ අනුව මෙකි කමිටු වාර්තාව සති දෙකක් ඇතුළත එළි දක්වන බව වොලිබෝල් සම්මේලනයේ ලේකම්වරයා පවසයි. පුහුණු කාර්ය මණ්ඩලය, කළමනාකරු, වෛද්‍යවරයා සහ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මෙහිදී කරුණු විමසන බව ද පවසයි.
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැති පළමු ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වූ අතර ඉරාකය ශුරයන්වන විට සවුදි අරාබිය අනුශූරයන් විය. ශ්‍රී ලංකාව මුලික වටයේදී සවුදි අරාබිය හමුවේ පරාජය වීම නිසා කුසලාන වටයේ අවසන් පුර්ව තරගයේදී ඉරාකය හමු වූ අතර එහිදී ප්‍රථම වටයේ ශ්‍රී ලංකාව ජයගත් නමුත් සෙසු තරග වට තුනම පරාජය විය. අනතුරුව පැවැති තුන්වැනි හතරවැනි ස්ථාන සඳහා තරගයේදී බංග්ලාදේශය පහසුවෙන් පරාජය කිරීමට සමත්විය.
ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියට පෙර පුධාන පුහුණුකරු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ආසියානු ක්‍රීඩා තරගාවලියට එක් වූයේ මේ තරගාවලියට පෙර පුහුණුවක් ලෙස බවත්. ආසියානු අභියෝග කුසලාන තරගාවලිය ජය ගැනීම මූලික අරමුණ බවයි. නමුත් ඉරාකය සමඟ පැවැති තරගය පරාජය වීමත් සමඟම ප්‍රධානම පුහුණුකරු ඩෙජාන් වුලිසෙවිච් ප්‍රකාශ කළේ පරාජයේ වගකීම තමන් බාර ගන්නා බවයි. මෙම තරගාවලියේ හොඳම උස පන්දු ප්‍රහාරකයා ලෙස දීප්ති රොමේෂ් සහ හොඳම ලිබරෝ ක්‍රීඩකයා ලෙස ඒ. ඩබ්ලිව්. ලක්මාල් සම්මාන දිනා ගත්හ. ආසියානු වොලිබෝල් ශ්‍රේණිගත කිරීම අංක 9 සිට 16 දක්වා කණ්ඩායම් මේ තරගාවලියට එක් වීය. ලොව වොලිබෝල් ක්‍රීඩාවේ නිරත රටවල් සංඛ්‍යාව 224 කි. ආසියාවේ රටවල් 65 කි. මේ අනුව ඉරාකය සහ සවුදි ආරබිය ලෝක ශ්‍රේණිගත කිරීම්වල මෙන්ම ආසියානු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණිමට මෙකී තරගාවලිය ඉවහල් විය.










