
ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයෙන් ම බංගලාදේශය සහ ඇෆ්ගනිස්තානය වෙතින් අන්ත පරාජයක් හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජනතාවගෙන් සමාව ඉල්ලන විට එළඹෙන්නේ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයයි.
මේ අතර සියලු පවුවලට කර ගැසූ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වූ අතර දිනේෂ් චන්දිමාල්ට වගකීම් පැවැරී ඇත. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලිය ආරම්භ කරමින් ඇන්ජලෝ මැතිව්ස් පැවැසුවේ අතීතයේ සියලු සිද්ධින් අමතක කර දමා මිළඟ ක්‍රිකට් ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් අත්වැල් බැඳ ගත යුතු බවය. එමෙන්ම හොඳ කණ්ඩායමක් සකසා ගැනීම සඳහා සියලු දෑ අලුතින් ආරම්භ කළ යුතු බවය. මේ සියලු දේවල් එක මිටකට ගොනු වන විට මීළඟ ක්‍රිකට් ලෝක කුසලානය දක්වා යන ගමනේදී ශ්‍රී ලංකාවට ඉතිරිව තිබුණේ එක්දින තරගාවලි තුනකි.
ශ්‍රීලංකා එක්දින කණ්ඩායම 2016 න් පසු දෙරටක් අතර පැවැති තරගාවලියන්හිදී පරාජය කර ඇත්තේ අයර්ලන්තය පමණි. බංග්ලාදේශය සමඟ පැවැති එක්දින තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්ව ඇති අතර ඉතිරි තරගාවලි සියල්ලම පරාජය වී තිබේ. පසුගිය වසරේ සිම්බාබ්වේ හමුවේ පවා 3 -2 ක් ලෙස පරාජය විය. ආසියානු කුසලාන තරගාවලියේ අන්ත පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිඩකයන් මේ ගෙවෙන මොහොත වන විට පසුවන දෙගිඩියාව පිළිබඳ අටුවා ටීකා ඇවැසි නැත. මේ දෙගිඩියාවෙන් ක්‍රීඩා පිටියේ කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද යන්නවත් හරි හැටි අවබෝධයෙන් පසුවේද යන්න නොදනිමු. කෙසේ නමුත් කිසිවෙකුටත් සැහැල්ලුවෙන් නම් මේ ගමන යා නොහැකි බව සියලු දෙනා අවබෝධකර ගත යුතුය.
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේදී දඟ කැවෙන තණ තීරු සකසා ගෙන තරග ජය ගත්තද, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ මෙන්ම එංගලන්ත සහ දකුණු අප්‍රිකානු තරගාවලියේ ඒ සියලු සෙල්ලම් ලෙල්ලම් වීමට ඇති ඉඩකඩ වැඩි බව අපි කල් ඇතුව ම අනතුරු ඇගෙවුවෙමු. ඒ නිසා එළැඹෙන ඕනෑම තරගාවලියකට මුහුණ දීමට හැකි තැනක ශ්‍රී ලංකා කණ්ඩායම සිටගත යුතුය.
අත්හදා බැලීම්වලට කාලය කා දැමීම තේරුමක් නැති වැඩකි. කකුල් කැඩුණු අශ්වයන් එළියේ තබා දුවන්නට හැකි ජව සම්පන්න අශ්වයන්ගෙන් ගාල පුරවාගත යුතුය. මෙහිදී සෑම ක්‍රීඩකයකුම සිතට ගත යුත්තේ පෞද්ගලිකව තමන්ටත්, කණ්ඩායමටත් සෑම තරගයක් ම කොතෙක් වැදගත් ද යන්නයි.
ලාංකික ක්‍රීඩා ලෝලීන් අපේක්ෂාභංගත්වයට පත්කරමින් සහ ලෝක ක්‍රිකට් ලෝලීන් විමතියට පත් කරමින්, ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට විසිව ගියේ ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම අවාසනාවන්ත ඉරණමට ලක්වූයේ, ක්‍රිකට් ලෝකය කලඹමින් ඉදිරියට එමින් සිටින කෝඩුකාර කණ්ඩායමක් වන ඇෆ්ගනිස්ථානය සමග අබුඩාබිහිදී පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 91 න් පරාජය වීම හේතුවෙනි.
බංගලාදේශය සමග පැවති පළමු තරගය ද ලකුණු 137කින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම, ප්‍රබල ඉන්දීය කණ්ඩායම තරගාවලියේ සිය පළමු තරගය ක්‍රීඩා කිරීමට ද මත්තෙන් තරගාවලියෙන් ඉවත්වීම සුවිශේෂී සිදුවීමකි.
ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය, විශේෂයෙන් ම උඩ පන්දු අත හැරීම දෙස් විදෙස් ක්‍රිකට් විචාරකයන්ගේ මෙන් ම ශ්‍රී ලංකික ක්‍රිකට් ලෝලීන්ගේ ද දැඩි විවේචනයට ලක් වීය.
මීට අමතරව, ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ කඩුලු අතර දිවීම ද දැඩි ගැටලු සහගත එකක් වූ අතර ආසියානු කුසලාන තරගාවලියේ තරග දෙකේදී ම දුවද්දී දැවී යාම් කිහිපයක් සිදුවිය.
ශ්‍රී ලංකා කණ්ඩායමක් ඇෆ්ගනිස්තානයට පරාජය වූ පළමු අවස්ථාව මෙය ලෙස සනිටුහන් වන අතර ආසියානු කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා - පාකිස්තාන හා ශ්‍රී ලංකා - ඉන්දියා තරග නොපැවැත්වුණු ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය වාර්තා වේ.
පස් වරක් ආසියානු කුසලානය දිනා ඇති කණ්ඩායමක් ලෙස තරගාවලියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙවැනි පසුබෑමකට ලක්ව ඉවත්ව යාම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු සැලැස්මක් නොමැතිව ක්‍රීඩා කරන බවට ක්‍රිකට් විචාරකයන් චෝදනා කළ අතර තරග විස්තර විචාරයේ යෙදී සිටි සංගක්කාර ද ශ්‍රී ලංකා පිතිකරු ස්ථානගත කිරීම්වල නිතර සිදුවන වෙනස්වීම් පිළිබඳ ප්‍රශ්න කළේ ය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ස්ථානගත කිරීම් නිරන්තරයෙන් වෙනස් කිරීම යහපත් නොවන බව පෙන්වා දුන් සංගක්කාර, දිගින් දිගට ම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරු ස්ථානයට සුදුසු නොවන බව ද අවධාරණය කළේ ය.
ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් තරග දෙකේදී ම කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියේ ය
පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේ එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි ම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස්ට, පිතිකරුවෙකු ලෙස මෙම තරගාවලියේදී සාර්ථක වීමට අවස්ථාවක් හිමි නොවී ය.
මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ගැන ප්‍රකාශයක් කරමින් කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක ක්‍රීඩා ලෝලීන්ගෙන් කණ්ඩායම වෙනුවෙන් සමාව ඉල්ලා සිටියේ ය.
තරගයෙන් අනතුරව ක්‍රීඩාංගණයේ සිට කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලය දක්වා ගමන ඉතා අසීරු එකක් වූ බව පැවැසූ ඔහු පරාජය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි සිත් වේදනාවෙන් පසුවන බව ද පවසා තිබේ.
තරග ප්‍රතිඵල පිළිබඳ අදහස් පළකළ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා "මේ පරාජය ගැන මම කණගාටු වෙනවා." යැයි පැවසීය.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නායකයන් කිහිප දෙනෙකු යටතේ 2017 වසරේ සිට තරග 40ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් ජය ගැනීමට හැකිව ඇත්තේ, තරග 10ක් පමණි.
දිගින් දිගට ම ලබන පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් වන අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර එක්ව සකස් කළ සැලැස්මක් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට භාර දුන්න ද, එය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු ප්‍රතික්ෂේප කළහ.
ආසියානු කුසලානයෙන් ඉවත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවේදී එංගලන්තය සමග එක්දින, විස්සයි විස්ස හා ටෙස්ට් තරගාවලි තුනක් ක්‍රීඩා කිරීමට නියමිත ය.
එම ටෙස්ට් තරගාවලිය, මුත්තයියා මුරලිදරන්ගෙන් පසුව ශ්‍රී ලංකාව ටෙස්ට් තරග ජයග්‍රහණ රැසක් සඳහා රැගෙන ගිය විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වන රංගන හේරත්ගේ අවසාන ටෙස්ට් තරගාවලිය ද වේ.










