
- වවුනියාවේ ජනතාවට අලුත් නිවාස 400 ක්
- පානම ජනතාවට පාරම්පරික ඉඩම්
- රොටවල ගමට අලුත් විදුහල්පති කෙනෙක්
අම්බලන්තොට රොටවල විදුහලට මාස කීපයක් තිස්සේ විදුහල්පතිවරයකු සිටියේ නැත. මේ පිළිබඳව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට හා පළාත් සභාවේ වගකිවයුත්තන්ට කොතරම් කරුණු කීවත් ඉල්ලීම් කළත් සාධාරණයක් ඉටු වූයේ නැත. මේ විදුහල්පතිවරයකු නොමැති නිසා පාසලේ අධ්‍යාපන කටයුතු අඩාළ විය. දරුවෝ හා දෙමවුපියෝ ඉතා අපහසුතාවලට මුහුණ පෑහ.
මේ අතර මේ විදුහලේ ඉගෙනුම ලබන සිසුවියකගේ මවක වන සමාධිගම එම්.ඒ.පී. මල්කාන්ති මහත්මිය තොරතුරු පනත අනුව දකුණු පළාතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ෙතාරතුරු නිලධාරි වෙත තොරතුරු ලබාගැනීමේ අයදුම්පතක්, ඉදිරිපත් කළාය.
ඒ අනුව ප්‍රධාන ලෙසම ඉල්ලා සිටියේ රොටවැව කනිටු විදුහලට මාස දෙකක පමණ සිට විදුහල්පතිවරයකු පත් නොකරන්නේ දැයි යන්නය.
ඒ සමඟම මේ සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති පියවරවලට අදාළ ලිපි ලේඛනවල පිටපත් ද ඒ තොරතුරු ඉල්ලුම්පත මඟින් ඉල්ලා තිබිණි.
2018 ජූලි මස 24 වැනිදා මෙම ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කළ අතර ඊට දෙසතියක් ගතවීමට පෙර පාසලට අලුත් විදුහල්පතිවරයකු ලැබිණි. මල්කාන්ති මහත්මිය ඉල්ලූ සියලු තොරතුරු නොලැබුණත් ප්‍රධාන ගැටලුව වූ පාසලට විදුහල්පතිවරයකු නොමැති ගැටලුව විසඳීම ගම්වාසීන්ට සතුටක් විය.
තොරතුරු දැනගැනීමේ පනත අනුව ඉදිරිපත් කරන පාසල් වලට දරුවන් ඇතුළත් කිරීමේ තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පත්‍ර නිසා පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී සිදුවන අසාධාරණ ද වැළැකී ඇත.
ඊට අමතරව මාධ්‍යවේදින් ද තොරතුරු දැනගැනීමේ පනත අනුව තොරතුරු ලබාගෙන සුවිශේෂී ගවේෂණාත්මක විශේෂාංග ලිපි හා ප්‍රවෘත්ති සම්පාදනය කර තිබේ. ඒවාට ඉහළ පාඨක ප්‍රතිචාර ලැබී ඇත. අනුරාධපුර ලේක්හවුස් මාධ්‍යවේදියකු වන සරත් මනුල වික්‍රම මහතා උතුරු මැද පළාතේ අවිධිමත් සංවර්ධන කටයුතු පිළිබඳව හා වියදම් කළ මුදල්වලින් කළ වැඩ ගැන තොරතුරු ඉල්ලීමේදී ලැබුණු ප්‍රතිඵල අනුව එම පළාතට වැව් ජල පොකුණු හා පාරවල් ඉදිකිරීමට මුදල් අනුමත කර ඇතත් එවැනි සමහර වැව් පොකුණු හා පාරවල උතුරු මැද ප්‍රදේශයේ දක්නට නොමැති බව අනාවරණය කර ගෙන ඇත. කන්තලේ සීනිපුර ගමට තැපැල්කරුවෙක් නොමැතිවීම පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුවෙන් තොරතුරු විමසූ විට දින 14ක් ඇතුළත ඒ ගමට තැපැල්කරුවකු ලැබී ඇත.
ත්‍රිකුණාමලයේ ඉඩම් කච්චේරි පැවැත්වූවත් ඉන් ඉඩම් නොලැබුණු දුප්පත් ජනතාව ඉඩම් බෙදාදීමේ ක්‍රමවේදය පිළිබඳව දිසාපතිතුමාගෙන් තොරතුරු විමසූ විට ඒ අයට ඉඩම් ලැබුණු බව මේ ගැන අධ්‍යයනය කළ නීතිඥ ජගත් ලියනාරච්චි මහතා පවසයි.
ඊට අමතරව අම්පාර පානම්පත්තුව සුරැකීමේ සංවිධානය ලාහුගල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉදිරිපත් කර ඇත. තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රය අනුව වසර කිහිපයක් අවි දැරූ අය බලෙන් අල්ලාගෙන සිටි ජනතාවගේ පාරම්පරික ඉඩම්වල අයිතිය ඔවුන්ට යළි ලැබෙන ලකුණු පහළ වී ඇත.
මේ අනුව තොරතුරු පනත අද අපේ රටේ ජනතාවගේ ජීවන ගැටලු විසඳන පොදු ගැටලු විසඳා වංචා දූෂණ හෙළි කරන හා සැමට පොදුවේ තොරතුරු ලබාදෙන බලගතු අවියකි.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත අනුව යම් රාජ්‍ය ආයතනයක (පනත අනුව පොදු අධිකාරියක්) සතු තොරතුරු අපේ රටේ පදිංචි ඕනෑම පුද්ගලයකුට ඉල්ලුම්පත්‍රයක් මඟින් ලබාගත හැකියි.
ඒ අනුව එම ඉල්ලුම්පත්‍රය www.rti.gov.lk වෙබ් අඩවියෙන් බාගත හැකිය. වැඩි විස්තර 01125155700 මඟින් ලබාගත හැකි ය. ඊට අමතරව ලිඛිතව සාමාන්‍ය ලියුමක ලියූ ඉල්ලීමක් මඟින් හෝ විද්යුත් තැපැල් පණිවුඩයක් මඟින් හෝ වාචිකව අවශ්‍ය තොරතුරු අදාළ ආයතනයේ තොරතුරු නිලධාරීන්ගෙන් ලබාගත හැකි ය. පැහැදිලිව එම ඉල්ලුම් ඉදිරිපත් කිරීමෙන් පසු ඒ අදාළ තොරතුරු නිලධාරීන් අදාළ පෝරම පුරවා ඒ පෝරමය ලබාගත් බවට රිසිට් පතක් ලබාදෙනු ලැබේ. මේ අනුව ඔබ ඉල්ලා සිටින තොරතුරු අදාළ අධිකාරියේ සන්තකයේ භාරයේ පාලනයේ ඇති තොරතුරු අදාළ ආයතනය දින 14ක් ඇතුළත ඔබට ලබාදිය යුතු ය. ඔබ ඉල්ලන තොරතුරු අදාළ අධිකාරියේ ආයතනයේ නොමැති නම් ඒ පිළිබඳව අදාළ පුද්ගලයාට දින 14ක් ඇතුළත දැන්විය යුතු ය. තොරතුරු ලබාදුන්නේ නම් ඊට අදාළ ගාස්තුව පිළිබඳව ඉල්ලුම්කරු දැනුම්වත් කළ යුතු ය.
කෙසේ වුවත් තම තොරතුරක් ලබාදීම ප්‍රමාද වෙන බව පෙනේ නම් ඒ පිළිබඳව ඉල්ලුම්කරු දැනුම්වත් කළ යුතු ය. එසේ කළ හැක්කේ දින 7ක් පමණි.
මේ යටතේ අමාත්‍යාංශ - රාජ්‍ය දෙපාර්තමේන්තු පළාත් පාලන ආයතන, පොලීසිය, අධිකරණ රජය මගින් පිළිගත් හෝ යම්තාක් දුරට රජයේ අරමුදල් ලබන පෞද්ගලික අධ්‍යාපන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන රජයේ අරමුදල් ලබන උසස් අධ්‍යාපන ආයතනය ආදී පොදු අධිකාරිවල නිලධාරීන් සාමාන්‍ය පුරවැසියකුට තොරතුරු ඉල්ලීම අනුව තොරතුරු ලබාදීමට බැඳී සිටිය යුතු ය.
දින 14ක් ඇතුළත අදාළ ආයතනයේ තොරතුරු නිලධාරියා පිළිතුරු දුන් නැතිනම් හා දුන් පිළිතුර ප්‍රමාණවත් නැතිනම් දින 14ක් ඇතුළත අදාළ ආයතනයේ නම් කළ නිලධාරියාට අභියාචනයක් යැවිය හැකි ය. නම් කළ නිලධාරියකු ලෙස බොහෝ විට නම් කරන්නේ අදාළ ආයතනයේ ප්‍රධාන නිලධාරියකුය. අදාළ අභියාචනයට දින 21ක් යනතුරු පිළිතුරු නොලැබුණහොත් ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි ය.
මෙම අභියාචනය සමඟ ඔබගේ මුල් තොරතුරු ඉල්ලීමේ ලිපිය මුල් අභියාචනා ලිපිය එය යවන ලද බව සනාථ කරන තැපැල් ලදුපත් හා ඔබගේ තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ලිපිය ඒ සමඟ යැවිය යුතු ය. මේ පිළිබඳව වැඩි විස්තර 2691625, 2691007 හා 2691626 මඟින් දැනගත හැකිය.
මේ සියලු අවසන් අභියාචනා; අධ්‍යක්ෂ ජනරාල්/ සභාපති, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසන් සභාව අංක 203/ 204 කාමරය, 2 වන. කොටස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, කොළඹ 07 ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු බව කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා පවසයි.
කන්තලේ පදිංචි ධර්මදාස කරුණාරත්න මහතා පවසන්නේ තමන් තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍ර අදාළ ආයතනවලට ඉදිරිපත් කිරීම මඟින් නැඟෙනහිර පළාතේ පොදු ජනතාවට ඉමහත් සේවයක් ලැබෙන බවයි. කන්තලේ නගරයේ ඉඩම්වලට ඔප්පු නැත්තේ ඇයි? හා ඒ අයට නිත්‍යානුකූල ඔප්පු ලබාදෙන්නේ කවදාද? යන ගැටලුවලට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ඉඩම් කොමසාරිස් කාර්යාලයට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව ඔවුන්ට ලැබුණු පිළිතුර වුණේ කන්තලේ නගරය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇති නිසා එහිදී එම නගරයට අයත් ඉඩම්වලට ලබාදෙන්නේ සාමාන්‍ය ඔප්පු නොව වාණිජ ඔප්පු බවයි. ඒ අනුව කලක් ඒ නගරයේ පදිංචිකරුවන්ට තිබූ ගැටලුවකට උත්තර ලැබුණි. නමුත් ඒ ඔප්පු ලබාගැනීමට වැඩි මුදලක් ගෙවිය යුතු ය.
‘කට්ටිපුරම්’ යනු වවුනියාව දිස්ත්‍රික්කයට අයත් දුෂ්කර ගම්මානයකි. යුද්ධය අවසන් වීමෙන් පසු ඉන්දියානු නිවාස ව්‍යාපෘතියක් මඟින් ඔවුන්ට නිවාස ලබාදෙන බව පවසමින් රජයේ නිලධාරීන් පදිංචිකරුවන්ගේ විස්තර ලබාගෙන ඇත.
එසේ වුවත් වසර 5 – 6 ක් ගියත් ඔවුනට නිවාස නොලැබිණි. වවුනියාව ප්‍රාදේශීය ලේකම් වවුනියාව දිසාපතිතුමා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශ ලේකම්තුමා ආදී නිලධාරීන්ගෙන් පමණක් නොව ග්‍රාම නිලධාරීන්ගෙන් පවා ඒ නිවාස පිළිබඳ විමසූ විට යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ඊට පසු ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් මේ පිළිබඳව විමසුවත් පැහැදිලි පිළිතුරක් නොලැබිණි.
මේ අතර 2017 මාර්තු මාසයේදී ඒ ගැටලුවට තොරතුරු දැනගැනීමේ පනත යටතේ විසඳුම් සෙවීමට AFRIEL සංවිධානය පෙරමුණ ගත්හ.
ඒ අනුව එම සංවිධානය මඟින් මේ ගම්වැසියන් 40 කගේ තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පත් 40 ක් නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයට යොමු කරන ලදී.
ඒ අනුව උතුරු පළාතේ නිවාස ව්‍යාපෘති කොපමණ ක්‍රියාත්මක වෙනවාද? එම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කරන දවස කුමක්ද? එයට ආධාර දෙන්නේ කවුද?
නිවාස 50000 සාදා ව්‍යාපෘතියේ ප්‍රගතිය කුමක්ද? යන ප්‍රශ්න ඇතුළු තොරතුරු රැසක් ඉල්ලා කොළඹ පිහිටි නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය වෙත ගම්වැසියෝ තම ඉල්ලුම්පත් භාර දුන්හ.
මෙම අයදුම්පත් ලබාදී සතියක් ඇතුළත අමුතු දෙයක් සිදුවිය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ද ගමට පැමිණ ගම්වැසියනට සහතික වූයේ සියලු ගම්වැසියන්ට නිවාස ලබාදෙන බවයි. ඒ අනුව කට්ටිපුරම් හි සියලු වැසියන් සඳහා නිවාස ඉදිකිරීම් කඩිනමින් ආරම්භ වූ අතර මේ වනවිට එහි නව නිවාස 400 ක් ඉදිකර නිවාස ලාභීන්ට බාරදී ඇත.
මෙලෙස මේ ගැටලුව පිළිබඳව මෙතෙක් ඇල් මැරුණු අලස ස්වභාවයෙන් කටයුතු කළ නිලධාරීන් බලධාරීන් මෙලෙස තම ගම් බිම්වලටම පැමිණ නිවාස ඉදිකළේ තොරතුරු පනතේ ශක්තිමත් බව නිසා බව ගම්වාසීහු එකහෙළා පවසති.
මේ අනුව රාජ්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය අද අපේ රටේ සියලු ජනතාවට ලැබී තිබේ. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ඇති නියෝග අනුව කොමිසන් සභාවට කරන අභියාචනයක් අනුව අදාළ තොරතුරු ලබාදෙන ලෙස කොමිසන් සභාව නියම කළවිට එය නොකළහොත් රුපියල් 50000 නොඉක්මවන දඩ මුදලකට හෝ අවුරුදු දෙකක කාලයක් සිරදඬුවමක් ද ලබාදීමට නීතිමය ඉඩකඩ තිබේ.
මේ අනුව මේ බලවත් පනතේ ප්‍රතිලාභ ලබාගෙන ජන ජීවිත හා රට සමෘද්ධිය කරා ගෙන යාමට අපි උත්සුක වෙමු.