

මහවැලි ගොවි ජනපදවල දූ දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යය උසස් මට්ටමක් කරා රැගෙන යාමේ අරමුණින් මහවැලි ක්‍රීඩා උලෙළ වාර්ෂිකව පවත්වනු ලබයි. ඉහත අරමුණ ගත වූ දශක තුනක කාලයක් තුළදී ඉටු වී තිබේ.
එනම් මහවැලි ක්‍රීඩා උලෙළේ දී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ම ජාතික සහ ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දීමට පසුව සමත් වූ බැවිනි.
ඊට තවත් පිරිසක් ඉදිරියේ දී එක්වනු ඇත. ඒ මෙවර මහවැලි ක්‍රීඩා උලෙළේ දී දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවෝය. මෙවර පැවැත්වෙන්නේ 30 වැනි මහවැලි ක්‍රීඩා උලෙළයි. එය සැප්තැම්බර් 15 - 16 දෙදිනේදී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
2018 මහවැලි ක්‍රීඩා උලෙළේ තේමාව වනුයේ “ස්වයං පෝෂිත යුගයක් - මහවැලි තාරුණ්‍යයට අපමණ අගයක්” ය. මෙවර ඊට සහභාගි වන මහවැලි ජනපද ගණන 10 කි. ඒ වික්ටෝරියා කලාපය, බී කලාපය, එච් කලාපය, වලව කලාපය, රඹකැන්ඔය කලාපය, හුරුළුවැව කලාපය, එල් කලාපය, මැදිරිගිරිය කලාපය, සී කලාපය සහ මොරගහකන්ද කලාපය වේ.
මහවැලි ක්‍රීඩා උලෙළ ප්‍රථම වරට පැවැත්වූයේ 1986 වසරේදී ය. ඒ එවකට අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ සංකල්පයකට අනුවයි. එය 1989, 2013 සහ 2014 වසරවලදී හැර වාර්ෂිකව පවත්වා ඇත. කෙසේ වෙතත් 1990 වසරේදී මහවැලි ක්‍රීඩා උලෙළවල් දෙකක් පැවැත්විය. මින් එකක් පැවැත්වූයේ 1989 උලෙළ වෙනුවෙනි.
1986 මංගල මහවැලි ක්‍රීඩා උලෙළේ සමස්ත ශූරතාව හිමිකර ගත්තේ ගල්නෑව කලාපයයි. එවර සත්කාරකත්වයත් ඔවුන් විසින් දරනු ලැබූහ.
ගිය වසරේ දී එනම් 2017 දී මහවැලි ක්‍රීඩා උලෙළ පැවැත්වූයේ පොළොන්නරුවේදීය. එහිදී සමස්ත ශූරතාව හිමි වූයේ බී කලාපයටයි. ඒ ලකුණු 82 ක් සමඟ රන් පදක්කම් 13 ක් හිමිකර ගනිමිනි. එවර දෙවන තැන එච් කලාපයටයි. ඔවුනට ලකුණු 63 කි. රන් පදක්කම් 07 කි. තෙවන තැන වික්ටෝරියා කලාපයටයි.
මෙවර සමස්ත ශූරතාවය කුමන කලාපයක් විසින් හිමිකර ගනු ලබයි ද යන්න බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුව වේ.
මහවැලි ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ වැඩි ම සමස්ත ශූරතා ගණනක් හිමිකර ගෙන ජනාධිපති ශූරතා ලාභින් වී තිබෙන්නේ වලව කලාපයයි. ඔවුනට ශූරතා 10 කි. ඒ 1990 (සත්කාරකත්වය ගල්නෑව), 1993 (බකමූණ), 1994 (දෙහිඅත්තකණ්ඩිය), 1996 (ගිරාඳුරුකෝට්ටේ), 2002 (ගල්නෑව), 2003 (වලව), 2004 (දෙහිඅත්තකණ්ඩිය), 2005 (පොළොන්නරුව), 2009 (මොරගහකන්ද) සහ 2010 (ගිරාඳුරුකෝට්ටේ) වසරවලදීය.
මෙවර ඔවුන් මහවැලි ක්‍රීඩා උලෙළට සහභාගි වනුයේ නැවත වතාවක් සමස්ත ශූරතාව හිමිකර ගැනීමේ බලාපොරොත්තුවෙනි.
එච් කලාපයට සමස්ත ශූරතා 08 කි. මෙවර ඔවුන්ගේ අරමුණ සිය සමස්ත ශූරතාවලට තවත් ශූරතාවක් එක් කර ගැනීමයි. එසේ වුවහොත් වලව කලාපය සතු වාර්තාවට තවත් සමීප වීමේ අවස්ථාව ලැබෙනු ඇත.
එච් කලාපය හිමිකර ගත් සමස්ත ශූරතා මෙසේය. 1999 (කොළඹ), 2000 (පොළොන්නරුව), 2006 (ගල්නෑව), 2007 (වලව), 2008 (පොළොන්නරුව), 2011 (වැලිඔය), 2012 (වලව) සහ 2016 (දෙහිඅත්තකණ්ඩිය)
මහවැලි ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ සාර්ථකම තෙවැනි කලාපය වනුයේ සී කලාපයයි. ඔවුනට සමස්ත ශූරතා 06 කි. එම ජයග්‍රහණ ඔවුන් ලැබුවේ 1987 (බකමූණ), 1990 (වලව), 1990 (ගල්නෑව), 1991 (වැලිකන්ද), 1992 (ගල්නෑව) සහ 1997 (ගල්නෑව) වසරවලදීය.
බී කලාපයට සමස්ත ශූරතා සතරකි. ඒ 1998 (බකමූණ), 2001 (දෙහිඅත්තකණ්ඩිය), 2015 (ගල්නෑව) සහ 2017 වසරවලදීය.
ගල්නෑව කලාපයට සමස්ත ශූරතා ද්විත්වයකි. ඒ 1986 (ගල්නෑව) සහ 1988 (ගිරාඳුරුකෝට්ටේ) වසරවලදීය.
මෙම ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ දී 1990 වසරට විශේෂිත ස්ථානයක් හිමි වේ. ඒ එම වසරේදී මහවැලි ක්‍රීඩා උලෙළවල් දෙකක් පැවැත්වීමයි. ඒවා පැවැත්වූයේ පෙබරවාරි සහ අගෝස්තු මාසවලදීය.
එමෙන් ම මේ ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ සම ශූරතාවයක් සමස්ත ශූරතාවට පිරිනැමූ ප්‍රථම සහ එකම අවස්ථාවත් එහිදී වාර්තා වීමයි.
මෙවර සමස්ත ශූරතාවත් ඉහත කලාපයන් අතරට ම අයත් කලාපයක් විසින් හිමිකර ගතහොත් ඒ ගැන පුදුම විය යුතු නැත. එමෙන් ම ප්‍රථම වතාවට වෙනත් කලාපයක් සමස්ත ශූරතාව හිමි කර ගැනීමට සමත් වුවහොත් ඒ ගැනත් පුදුම විය යුතු නැත.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකු ම බිහි වූයේත් මහවැලි ක්‍රීඩා උලෙළ තුළින්ය.
ඊට ශ්‍රියානි කුලවංශ, සුමේධ රණසිංහ, ශ්‍යාමලී ලක්මිණි, කසුන් කල්හාර, දිනුෂා සෙනෙවිරත්න, ගයාන් සමීර, සොනාලි වීරසේකර, ඉසුරු සඳරුවන්, ප්‍රේමසිරි රත්නායක, සමන් කුමාර, ඩී.ඒ. ඉනෝකා, දිනිඳු චතුරංග, ගයන්තිකා තුෂාරි අයත්ය.
මීට අමතරව වෙනත් ක්‍රීඩා තුළින් ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මහවැලි ක්‍රීඩා උලෙළේ දී දස්කම් දක්වා තිබේ.
දිල්රුක්ෂි රූපසිංහ (මලල ක්‍රීඩා / කබඩි), ඉන්ද්‍රාණි සමරරත්න (දැල්පන්දු), ජයන්ති මල්කාන්ති (වොලිබෝල්), ලලනි ප්‍රියංගා (දැල්පන්දු), තරංගා සෙව්වන්දි (වොලිබෝල්), ජනක ප්‍රසන්න (කබඩි), අශේන් දිල්ෂාන් (කබඩි), ටී.බී.එන්. සඳරේණු (කබඩි), එස්.එම්. අත්තනායක (කබඩි), ඩී.කේ. ඉන්දික (කෝ කෝ), ශ්‍රියන්ත ගුණවර්ධන (කෝ කෝ), පී.ජී. ලක්ෂ්මි (කබඩි), විමල් රෝහණ (කබඩි), ප්‍රභාත් නිශාන්ත (කබඩි), ඒ.ඩී.බී. චරිත් (කබඩි), ඉනෝකා වීරසිංහ (කබඩි), එස්. ලුපා දිල්හානි (කබඩි), වාසනා දිල්රුක්ෂි (කබඩි), කෝකිලා දිසානායක (කබඩි) නදීකා කුමාරි (කබඩි) එම්.කේ. බණ්ඩාර (කබඩි), යු.ඩී. ශ්‍රියාලතා (පාපැදි), රේණුකා අබේගුණවර්ධන යාපා (වොලිබෝල්).
1987 මහවැලි ක්‍රීඩා උලෙළෙහිදී තරග වාර්තා 15 ක් බිහි විය. එය 1988 දී වාර්තා 19 දක්වා ඉදිරියට ගියේය. සෙසු උලෙළවල්හීදී තරග වාර්තා බිහිවූයේ මේ ආකාරයටයි. 1990 සහ 1992 දී එක බැගින්ය. 1993 දී දෙකකි. 1994 දී හතරකි. 1996 දී පහකි. 1996 දී 03, 1997 දී 02, 1998 දී 01, 1999 දී 10, 2000 දී 07, 2001 දී 07, 2002 දී 11, 2003 දී 11, 2005 දී 07, 2006 දී 05, 2007 දී 01, 2008 දී 03, 2009 සහ 2010 දී එක බැගින්ය. 2011 දී 07, 2012 දී 07, 2015, 2016 සහ 2017 පහ බැගින්ය.










