කතරගම යන කෝච්චි පාරේ අලුත්ම විස්තරේ | Page 2 | සිළුමිණ

කතරගම යන කෝච්චි පාරේ අලුත්ම විස්තරේ

බ්‍රිතාන්‍ය ජාති­ක­යන් මීට දශක 7කට උඩදී ශ්‍රී ලාංකි­ක­යන්ට රට බාර දී ගියේ කෝපි ඇතුළු උඩ­රට වතු වගා­වන් කොළඹ කරා ගෙන ඒම පිණිස තනන ලද දුම්රිය මාර්ගයේ උරු­ම­යත් සම­ඟය.

එහෙත් බ්‍රිතාන්‍ය ජාති­ක­යන් අපට ලබා දුන් ඒ දුම්රිය මාර්ගයේ ඇතැම් කොටස් වසා දැමුවා විනා නව දුම්රිය මාර්ග ඉදි කර­න්නට අපට හැකි­යා­වක් ලැබුණේ නැත. කැල­ණියේ සිට සපු­ග­ස්කන්ද හා වෙළෙඳ කලා­පය වෙත දුම්රිය මඟක් ඉදි වුණු අතර එම මාර්ගයේ කිසිදු දුම්රි­යක් ධාව­නය වූයේ නැත.

එසේම අනු­රා­ධ­පු­රයේ සිට මිහි­න්ත­ලය දක්වා දුම්රිය මඟක් තැනු­වද එයද ඵල­දායි නොවුණේ එහි දුම්රිය ගමන් ගත්තේ පොසොන් සමයේ වීම නිසාය.

අපේ රටේ ජන­තා­වට අත්‍ය­ව­ශ්‍යම වූ තවත් දුම්රිය මාර්ග­යක් ගැන කතා බහට ලක් වුණේ 70 - 80 දශ­ක­වල සිට­මය. එහෙත් එය බොහෝ කාල­යක් තිස්සේම කතා­බ­හට පම­ණක්ම ලක් විය. ඒ මාතර සිට කත­ර­ගම දක්වා දුම්රිය මාර්ග­යක් ඉදි කිරීමේ භාර­දූර කාර්ය­යයි.

1990 වස­රේදී මේ මාර්ගය තැනී­මට අවශ්‍ය සියලු කට­යුතු සංවි­ධා­නය කර තිබුණ ද රට­පුරා අධි­වේගී මාර්ග තැනීමේ සංක­ල්පය මතු­වී­මත් රටේ ආර­ක්ෂක විය­දම් ඉහළ යෑමත් නිසා ‍මාතර - කත­ර­ගම දුම්රිය මාර්ගය තැනීමේ කට­යුතු දෙවන තැන­ටම වැටිණි.

සැල­සුම් හමස් පෙට්ටි­යට ගියේ මුදල් නොමැ­ති­කම නිසා­මය.

එසේ වුවත් මාතර සිට කත­ර­ගම දක්වා දුම්රිය මාර්ගය තැනීම මුල් තැන­කට ගෙන එහි වැඩ කට­යුතු 2006 වසරේ දී ආරම්භ කිරී­මට දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව කට­යුතු යෙදු­වේය. එහි දී දුම්රිය මාර්ගය තැනීමේ දී මතු වූ ප්‍රධා­නම බාධ­කය වූයේ නිල්වලා ගඟ හරහා පාල­මක් තැනී­මයි. එම පාලම ද ගඟ පම­ණක් නොව නිල්වලා නදි­යෙන් පසුව ගංව­තු­රට ලක්වන ප්‍රදේ­ශ­යන්ද ආව­ර­ණය කළ යුතු විය. පාලම තැනීම ආරම්භ කළ අතර මාතර සිට පිල­දූව දක්වා දුම්රි­යක් ද කෙටි කලක් ධාව­නය කරන ලදී.

එහෙත් දුම්රිය දෙපා­ර්ත­මේ­න්තු­වට රජ­යෙන් ඒ සඳහා ලබා දීමට මුදල් සැප­යී­මට නොහැකි වීම නිසා මාතර - කත­ර­ගම දුම්රිය මඟ අත­ර­මඟ ඇන­හි­ටිණි.

එසේ ඇන­හිට තිබූ මේ දුම්රිය මාර්ගය තැනී­මට ආධාර ලබා දීමට චීන රජය ඉදි­රි­පත් විය. ඒ 2012 වස­රේ­දීය. ඒ අනුව චීන එක්සීම් බැංකුව මගින් ඇම­රි­කන් ඩොලර් මිලි­යන 248.2ක මුද­ලක් ලබා දෙන ලද්දේ මාතර කත­ර­ගම දුම්රිය මඟේ 1 අදි­යර සඳ­හාය.

චීන රජ­යට අයත් ‘චයිනා නැෂ­නල් මැෂි­නරි ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝප­රේ­ෂන් ‘ සමා­ගම මඟින් එහි වැඩ කට­යුතු ආරම්භ කෙළේ ඒ අනු­වය.

මාතර - කත­ර­ගම දුම්රිය මාර්ගය අදි­යර තුනක් යටතේ මාතර සිට කත­ර­ගම දක්වා ඉදි­කි­රී­මට යෝජනා වූ අතර එහි පළමු අදි­යර ලෙස මාතර සිට බෙලි­අත්ත දක්වා මාර්ගය ඉදි­කි­රී­මට කට­යුතු යොදන ලදී.

දෙවන අදි­යර යටතේ බෙලි­අත්තේ සිට හම්බ­න්තොට දක්වාත් තුන්වන අදි­යර යටතේ හම්බ­න්තොට සිට කත­ර­ගම දක්වාත් දුම්රිය මාර්ගය ඉදි­කි­රී­මට සැල­සුම් කර ඇත. දෙවන තුන්වන අදි­යර කෙසේ වෙතත් 1 අදි­යරේ වැඩ කට­යුතු මේ වන විට නිම­වෙ­මින් පවතී‍. මේ වන විට එහි වැඩ කට­යුතු 94%ක්ම අව­සන්ව ඇත.

ඒ අනුව බ්‍රිතාන්‍ය සම­යෙන් පසුව මෙරට ඉදි කරනු ලබන පළමු නව­තම දුම්රිය මාර්ගය ලෙසින් මාතර සිට කත­ර­ගම දක්වා දිවෙන මේ මාර්ගයේ පළමු අදි­යර ඉති­හා­ස­යට එක් වනු ඇත. අපේ රටේ අනෙක් දුම්රිය මාර්ග හා සස­ඳන කල මේ මාර්ගයේ විශේ­ෂතා රැසක්ම දක්නට ඇත.

එයින් පළ­මු­වැන්න වන්නේ මෙරට අධි­වේ­ග­යෙන්ම දුම්රිය ධාව­නය කළ හැකි දුම්රිය මාර්ගය ලෙසින් මේ මාර්ගය ඉති­හා­ස­යට එක් වීමයි. මාතර - කත­ර­ගම මාර්ගයේ දුම්රිය පැයට කිලෝ­මී­ටර් 120ක වේග­යෙන් ධාව­නය කළ හැකි වේ.

එසේම මේ දුම්රිය මාර්ගය ඉදි කිරී­මේදී හරස් මාර්ග ආර­ක්ෂා­වට ප්‍රමු­ඛ­ස්ථා­න­යක් ලබා දී ඇත. ඒ සඳහා විශාල විය­ද­මක් දැරී­ම­ටත් සිදුව ඇත. ඒ අනුව අත්‍ය­ව­ශ්‍යම ස්ථාන­යන් හැරෙ­න්නට දුම්රිය මාර්ගය හරහා හරස් මාර්ග ඉදි කර නැත. හරස් මාර්ග දුම්රිය මාර්ගය යටින් හෝ ඉහ­ළින් යෑමට හැකි වන පරිදි ඉදි කර ඇත. ඒ අනුව දුම්රි­යට ද හරස් මාර්ග­ව­ලින් සිදු­වන බාධා­වන් අඩු වනු ඇත. මාතර සිට වෙහෙ­ර­හේන දක්වා දුම්රිය හරස් මාර්ග 8ක්ම ඉදි කර­න්නට සිදුව ඇත්තේ අත්‍ය­ව­ශ්‍යම නිසා වන නමුත් දුම්රිය මාත­රින් පිටත් වූ වහාම එම හරස් මාර්ග 8ම එක­වර වැසී යෑමට සලස්වා දුම්රියේ අධි­වේගී ගම­නට මාර්ගය සලසා දීමට කට­යුතු කෙරෙනු ඇත.

එප­ම­ණක් නොව මාතර - කත­ර­ගම දුම්රිය මාර්ගය ඉදි කිරී­මත් සම­ඟම මෙරට දුම්රිය ඉති­හා­සය වෙනස් කර­මින් නව වාර්තා කිහි­ප­යක්ම හිමි කර ගන්නට මේ දුම්රිය මඟ සමත් වී ඇත. එයින් පළමු වැන්න මෙරට දිගම බිම්ගෙය සහිත දුම්රිය මාර්ගය මෙහිදී ඉදි කිරී­මයි. එම බිම්ගෙය කැක­ණ­දුර දුම්රිය ස්ථානය අස­ලම ඉදි වන අතර එහි දිග මීටර් 615කි. මේ බිම්ගෙය පිහිටා ඇත්තේ නාකු­ටිය කන්ද මැදින් වන අතර එය කිලෝ­මී­ට­ර­යට අඩු වන්නේ මීටර් 385ක් පමණි. ඒ අනුව මේ දක්වා මෙරට දිගම බිම්ගෙයි ගෞර­වය හිමිව තිබූ සිංගි­මලේ උම­ගට (හැටන් සහ කොට­ගල අතර) දෙවන ස්ථාන­යට පත් වීමට සිදු වනු ඇත.

එසේම මෙරට භූමි මට්ටමේ සිට වැඩිම උස­කින් යුත් දුම්රිය පාල­මත් මේ මාර්ගයේ දී ඉදි කර ඇත. වෙහෙ­ර­ගොඩ ප්‍රදේ­ශයේ ඉදි කර ඇති ‘වෙහෙ­ර­ගොඩ පාලම‘ නමින් හඳු­න්වන ඒ පාලම මීටර් 21ක උස­කින් යුක්තය.

 මෙරට දිගම හා ප්‍රථම දුම්රිය ගුවන් පාලම

මාතර කත­ර­ගම දුම්රියේ යන මඟීන්ට නව­තම අත්දැ­කී­මක් මේ මාර්ගයේ දී හමුවේ. ඒ මෙරට පළමු දුම්රිය ගුවන් පාලමේ ගමන් කර­න්නට හැකි වීමයි. එය මෙරට දිගම දුම්රිය පාලම ද වනු ඇත. වට­ගම පාලම නමින් හඳු­න්වන එහි දිග කිලෝ­මී­ටර් 1.5ක් දීර්ඝ වප­ස­රි­ය­කින් යුක්ත වූ ප්‍රදේ­ශ­යක් හරහා මේ ගුවන් දුම්රිය පාලම ඉඳි කර ඇත. එම පාල­මට අම­ත­රව නිල්වලා නදි­යට සමී­පව තවත් දීර්ඝ තවත් ගුවන් පාල­මක් ඉදි කර ඇත. එයද දිගින් කිලෝ­මී­ටර් 1.04කින් යුක්තය.

මේ දුම්රිය මාර්ගය ඉදි කිරී­මේදී බලා­පො­රොත්තු නොවූ ආකා­රයේ දුෂ්ක­රතා රැස­කට මුහුණ පාන්නට සිදු වූ බව මෙම ව්‍යාපෘ­තියේ අධ්‍යක්ෂ චීන ජාතික හ පර්ෂි මහතා පෙන්වා දෙයි. දුම්රිය මාර්ගය ඉදි කරනු ලබන මාර්ගයේ එක් වගුරු බිම­කට යොදනු ලබන තාක්ෂ­ණය එම බිමෙන් මීටර් 100ක් ඔබ්බට යන විට යෙද­විය නොහැ­කිව ඇත. ඒ සඳහා තවත් තාක්ෂ­ණික පිය­ව­රක් භාවිත කළ යුතු බවද හ පර්ෂි මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ පස් වැඩිම උස­කින් පුරවා ඉදි කරන ලද දුම්රිය මඟ ද වැවු­රු­ක­න්නල ප්‍රදේ­ශ­යේදී එසේ ඉහළ භූමි­ය­කට පස් පුරවා ඉදි කරන ලද මාර්ගය ද මෙහි ස්ථාපි­තය.

දිගම දුම්රිය උමඟ ඉදි­රි­පිට සිට අද­හස් දක්ව­මින් ව්‍යාපෘති අධ්‍යක්ෂ  පෙර්සි

එමෙන්ම මෙරට දුම්රිය ස්ථාන­යක් හරහා ප්‍රථම භුගත පිට­වීම් මෙම දුම්රිය ස්ථාන­යන් හි ඉදි කර ඇත. වැවු­රු­ක­න්නල දුම්රිය ස්ථානයේ මෙරට ප්‍රථම වරට දුම්රිය ස්ථාන­යක් හරහා ඉදි කරනු ලබන ද්විත්ව භූගත මාර්ග­යක් ද ඉදි කර තිබේ.

බෙලි­අත්ත දක්වා වන කිලෝ­මී­ටර් 26ක දුර ප්‍රමා­ණය තුළ දුම්රිය ස්ථාන 6ක් ඉදි වන අතර එයින් ප්‍රධාන දුම්රිය ස්ථාන 4ක් සහ උප දුම්රිය ස්ථාන 2ක් ද ස්ථාපිත කෙරේ. එම දුම්රිය ස්ථාන මාතර සිට පිළි­වෙ­ළින් පිල­දූව (කි.මි. 1.2 ), වෙහෙ­ර­හේන (කි.මි. 3.4) කැකු­ණ­දුර (කි.මි. 6.00) බඹ­රැන්ද (කි.මි. 12.89) වැවු­රු­ක­න්නල (කි.මි. 17.10) බෙලි­අත්ත (කි.මි. 26.06) ස්ථාපිත කර ඇත. මේ අතු­රින් පිල­දූව හා වෙහෙ­ර­හේන උප දුම්රිය ස්ථාන­යන් ලෙස ඉදි කර ඇත.

මේ සිය­ලුම දුම්රිය ස්ථාන ඉදි කරන්නේ අන්ත­ර්ජා­තික මට්ට­මෙන් බව හ පර්ෂි මහතා පෙන්වා දෙයි. ඒ අනුව සියලු දුම්රිය ස්ථාන­වල සුපිරි වෙළෙද සල් මෙන්ම වාහන නැව­තුම් ස්ථාන ද ඉදි වේ. සියලු දුම්රිය ස්ථාන දෙම­හල් හෝ තෙම­හල් ලෙසින් ඉදි කෙරේ. දුම්රිය ස්ථාන­ව­ලට ඇතුළු වීම හා පිට වීම ගුවන් තොටු­පළ හා සමාන ලෙසින් සිදු කර ඇති අතර දුම්රිය ස්ථානයේ මඟී පර්ය­න්ත­යන් හැර අනෙ­කුත් මඟී නැව­තුම් ස්ථාන වායු සම­නය කිරී­ම­ටද කට­යුතු කරනු ඇත.

ඒ අතර අනා­ග­තයේ නවී­ක­ර­ණ­යන් සිදු කිරී­මට අව­ශ්‍යතා ඇති වුව­හොත් එය පහසු වන පරිදි දුම්රිය ස්ථාන සඳහා වර්ග මීටර් 24000ක් වෙන් කර තිබෙන බවද ඔහු පෙන්වා දෙයි. මෙම කාර්ය­යන් සඳහා 1000 ක පමණ කම්කරු සේවක පිරි­සක් හා සෙසු කාර්ය මණ්ඩල හා කළ­ම­නා­ක­රණ නිල­ධා­රීන් 400ක් පමණ මේ වන විට කඩි­නම් සේවය පිණිස යොමු කර ඇත. මේ වසර අව­සා­නයේ දී මාතර සිට බෙලි­අත්ත දක්වා දුම්රිය ධාව­නය පිණිස දුම්රිය මඟ විවෘත කිරීම එහි ප්‍රධාන අර­මුණ වී ඇත.

මේ වන විට දුම්රිය වර්ණ සංඥා පද්ධ­තිය ද ස්ථාපිත කෙරෙ­මින් පව­තින අතර සංඥා පද්ධ­තිය සදහා බ්‍රිතාන්‍ය හා ජර්මන් තාක්ෂ­ණ­යද එක් කර ඇති බව ව්‍යාපෘති අධ්‍ය­ක්ෂ­ව­රයා පව­සයි. එම සංඥා පද්ධ­තිය සඳහා පූර්ණ වශ­යෙන් වසර 3ක වග­කී­මක් ලබා­දෙන බව ද ඒ මහතා පව­සයි.

දුම්රිය මඟ සදහා වසර 15ක සම්පූර්ණ වග­කී­මක් ලබා දෙන අතර ධාව­නය වන දුම්රිය සංඛ්‍යාව අනුව එය නඩත්තු කිරීම නිසි පරිදි සිදු කිරී­මෙන් එහි ගුණා­ත්ම­ක­භා­වය වර්ධ­නය කර ගත හැකි වේ.

දුම්රිය මාර්ගයේ ගමන් කර­න්න­කුට ගුවන් අධි­වේගී මාර්ගයේ දී දෙප­සින් දිස්වන අලං­කාර කුඹුරු යාය සිහි කරන්නේ රජ­රට අඩ­වි­යයි. නාකැ­ටිය උම­ඟය සිහි කරන්නේ උඩ­රට ප්‍රදේ­ශ­යයි. නිල්වලා නදිය අසල දී පෙන්නුම් කෙරෙන්නේ දකුණු පළාතේ සොබා දම් දිනි­ති­යයි. බෙලි අත්ත දුම්රිය ස්ථානය සිහි කරන්නේ ලෝකයේ නවී­න­තම දුම්රිය ස්ථාන­යන්ය. අන්ත­ර්ජා­තික මට්ටමේ ඉදි වන මේ සිය­ලුම පහ­සු­කම් මධ්‍යයේ මාතර සිට නව ගම­නක් යාමට හැකි වනු ඇත.

මේ මාර්ගය ඉදි කිරී­මත් සමඟ හම්බ­න්තොට වරාය හා ගුවන් තොටු­පළ වෙත කඩි­න­මින් ගමන් කිරී­මට පහ­සුව සැල­සෙන අතර කත­ර­ගම දක්වා යන බැති­ම­තුන්ට ද බෙලි­අත්තේ සිට කඩි­න­මින් කත­ර­ගම දක්වා යාමට හැකි වනු ඇත. මාතර සිට හම්බ­න්තොට දක්වා දිව යන අධි­වේගී මාර්ගය නිසා බෙලි­අත්ත දක්වා පම­ණක් මේ වන විට කාර්ය­යන් සිදු කෙරෙන මාතර - කත­ර­ගම දුම්රිය මාර්ගයේ උප­රිම ඵල නෙළා ගත හැක්කේ එම මාර්ගය කත­ර­ගම දක්වා ඉඳි කළ­හොත් පමණි. මේ මාර්ගයේ බාර­දූර කාර්ය­යන් අයත් කොටසේ වැඩ මේ වන විට නිමවා ඇත. කත­ර­ගම දක්වා යෑමේදී යම් හෙය­කින් බාර­දූර කාර්ය­යක් ලෙසින් ඉතිරි වන්නේ වලවේ ගඟ හරහා පාල­මක් යෙදීම පමණි.

ඒ අභි­යෝ­ග­යද ජය ගැනීම අපට අප­හසු නොවනු ඇත. මාතර කත­ර­ගම දුම්රිය ම‍‍ඟේ අපි මේ වසර අව­සා­නයේ බෙලි­අ­ත්තට දුම්රි­යෙන් යමු. එලෙ­සම ඒ ගමන බෙලි­අ­ත්තට සීමා නොකර කත­ර­ගම දක්වා යෑමට හෙට නොව අදම පිය­වර ගත යුතුය. නොඑසේ නම් අපට සිදු­වන්නේ චිරාත් කාල­යක් අප අතරේ තිබෙන ‘දැන­ගෙන ගියොත් කත­ර­ගම මෙන්ම නොදැන ගියොත් අත­ර­මඟ‘ යන්න පසක් වීම පමණි.

සේයාරූ - රංජිත් අසංක

Comments