සුපිරි තරු අතර සුපිරි සටනක් | සිළුමිණ

සුපිරි තරු අතර සුපිරි සටනක්

චීනය ආසියානු කලාපයේ බලවතා බව නිතරම දක්නට ලැබෙන ස්ථානයක් වන්නේ ක්‍රීඩා ලොවයි. දැන් පැවැත්වෙන 2018 ආසියානු ක්‍රීඩා උලෙළේදීත් ඔවුන් ඒ බව කදිමට සනාථ කරමින් සිටිති. එහි ආරම්භය ඔවුන් සාර්ථක කර ගත්තේ මෙවර ප්‍රථම රන් පදක්කමත් තමන් සතු කර ගෙනයි.

සමාරම්භය මනරම්

2018 ආසියානු ක්‍රීඩා උලෙළ ඉතා මනරම් සමාරම්භක උත්සවයකින් ඇරඹිණි. එය නිල වශයෙන් විවෘත කළේ ඉන්දුනිසියානු ජනපති ජෝකෝ විදෝදෝ මහතාය. හෙතෙම 57 හැවිරිදි ය.

එහිදී ඔලිම්පික් පහන දැල් වූයේ හිටපු විශිෂ්ටතම බැඩ්මින්ටන් ශූරියක් වන සුසි සුසන්ති විසිනි. 47 හැවිරිදි සුසන්ති ඉන්දුනිසියාවට ප්‍රථම ඔලිම්පික් රන් පදක්කම හිමිකර දුන්නේ 1992 වසරේදී ය. ඒ කාන්තා කේවල ශූරිය වෙමිනි.

මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් දිවුරුම සිදු කළේ තවත් විශේෂිත පුද්ගලයෙකි. ඒ බාස්කට්බෝල් හෙවත් පැසිපන්දු ක්‍රීඩක ආර්කි ඩිකානියා විස්නුය. 30 හැවිරිදි ඔහුගේ උපන් රට වන්නේ ඇමෙරිකාවයි.

ක්‍රීඩා උලෙළ ඇරඹීමට පෙර ප්‍රධාන ක්‍රීඩාංගණයට රැස්වී සිටි සියලුම දෙනාම විනාඩියක නිශ්ශබ්දතාවයකින් සිටියහ. ඒ පසුගියදා සිදුවූ ලොම්බොක් භූමි කම්පාවට ගොදුරු ව‍ූ ජනතාව වෙනුවෙනි. ලොම්බොක් යනු ඉන්දුනිසියා‍වට අයත් දූපතකි.

ඉන්දුනිසියාව සිය 73 වැනි නිදහස් දිනය සැමරුවේ අගෝස්තු 17 වැනිදාය. ආසියානු ක්‍රීඩා උලෙළ නිල වශයෙන් ඇරඹුණේ අගෝස්තු 18 වැනිදාය.

මෙවර තරග කරන රටවල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූ ආචාර පෙළපාලියට විශේෂ අවධානයක් යොමු විය. ඒ උතුරු සහ දකුණු කොරියාව එක් කණ්ඩායමක් ලෙසට ඊට සහභාගි ව‍ූ බැවිනි. ඔවුන් ආසියානු ක්‍රීඩා උලෙළකදී 

එවැනි දෙයක් කළේ වසර 12 කට පසුවය.

මෙම සමාරම්භක උත්සවයට ආසියානු ඔලිම්පික් සභාවේ සභාපති අහ්මඩ් අල් ‍ෆහාඩ් අල් අහ්මඩ් අල් සබා, දකුණු කොරියාවේ අගමැති ලී නාක් යෙඔන් සහ ‍‍උතුරු කොරියාවේ උප අගමැති රි රියොන්ග් නාම් ද සහභාගි වී සිටියහ.

දිනුෂාට විශේෂ වාර්තාවක්

සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ ගෞරවය අත්වූයේ දිනූෂා හංසනි ගෝමස්ටය. එය විශේෂ වාර්තාවකි. එනම් ජගත් ක්‍රීඩා උලෙළකදී එසේ සිංහ ධජය රැගෙන පෙරටුව සමාරම්භක ආචාර පෙළපාලියකට සහභාගි වූ ප්‍රථම ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩිකාව ඇය වීම නිසා ය.

25 හැවිරිදි දිනූෂා මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළෙහිදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය. ඒ කිලෝග්‍රෑම් 48 බර පන්තියෙනි.

පිලිපීන ධජය ඇමෙරිකානුවාට

පිලිපීනය වෙනුවෙන් එරටේ ජාතික ධජය රැගෙන පෙරටුව ගියේ ජෝර්ඩන් ක්ලාර්ක්සන්ය. හෙතෙම පැසිපන්දු ක්‍රීඩකයෙකි. 26 හැවිරිදි ජෝර්ඩන් උපතින් ඇමෙරිකානුවෙකි. ඔහුගේ පියා වන මයික් අප්‍රිකානු ඇමෙරිකන් ජාතිකයෙකි. මව ඇනෙට් අර්ධ පිලිපීන කාන්තාවකි. ජෝර්ඩන්ගේ ආච්චි පිලිපීන ජාතිකයෙකි. මේ නිසා ම ඔහුට ඇමෙරිකන් සහ පිලිපීන ද්විත්ව පුරවැසිකම ලැබී තිබේ. ජෝර්ඩන් මේ වනවිට සුප්‍රකට එන්.බී.ඒ. (ජාතික බාස්කට්බෝල් සංගමය) තරගාවලියට ඇමෙරිකාවේ දී ක්‍රීඩා කරන සුපිරිතම ක්‍රීඩකයෙකි. හෙතෙම අඩි 6 අඟල් 5 ක් උසැතිය. ඔහු ක්‍රීඩා කරන්නේ ක්ලිව්ලන්ඩ් කැවලියර්ස් කණ්ඩායමටයි.

එන්.බී.ඒ. තරු ත්‍රිත්වයක්

මෙවර ආසියානු ක්‍රීඩා උලෙළේදී එන්.බී.ඒ. තරු ත්‍රිත්වයකගේ දස්කම් දැක ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව ලැබෙනු ඇත. ඒ ජෝර්ඩන් ක්ලාර්ක්සන්, චීනයේ ෂොයු කුයි සහ එරටේම ඩින්ග් යැන්යුහාන්ග් ය.

ෂොයු හුස්ටන් රොකට්ස් කණ්ඩායමට ක්‍රීඩා කරයි. 22 හැවිරිදි ය. අඩි 7 අඟල් 2 ක් උසැතිය. ඩින්ග් 25 හැවිරිදි ය. අඩි 6 අඟල් 7 ක් උසය. ඔහු ක්‍රීඩා කරන්නේ ඩැලස් මැව්රික්ස් කණ්ඩායමට ය.

මීට පෙර එන්.බී.ඒ. ක්‍රීඩකයන්ට ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගිවීමේ අවස්ථාව ලැබුණේ නැත. මෙවර ඊට අවසරය හිමි වූයේත් අවසන් මොහොතේදී ය. ලොව සුපිරිතම පැසිපන්දු ක්‍රීඩකයන් වාර්ෂිකව ක්‍රීඩා කරන ප්‍රධානතම තරගාවලිය වන්නේත් මෙම එන්.බී.ඒ. ශූරතාවලියයි‍.

ප්‍රථම රන් පදක්කම චීනයට

ආසියානු ක්‍රීඩා උලෙළෙහි මෙවර ප්‍රථම රන් පදක්කම හිමිකර ගැනීමේ ගෞරවය අත්කර ගත්තේ චීනයේ සුන් පෙයියුවාන්ය. ඒ පිරිමි වූෂු ක්‍රීඩාවෙනි. එහි රිදී පදක්කම ඉන්දුනිසියාවේ එඩ්ගාර් ෂේවියාර් මාර්වෙලෝටය. චීන තායිපේහි ට්සායි ට්සේ මින්ට ලෝකඩ පදක්කමයි.

ඩිෆියා සත්කාරකයන්ගේ වීරවරිය

ඉන්දුනිසියාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම හිමිකර ගැනීමට මෙවර සමත් වූයේ ඩිෆියා රොස්මානියාර්ය. ඒ කාන්තා ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙනි. 23 හැවිරිදි ඩිෆියාගේ ජයග්‍රහණය එරටේ ජනාධිපතිවරයා ඉදිරියේම සිදුවිය. මෙම කේවල තරගයේ රිදී පදක්කම ඉරානයේ 21 හැවිරිදි මාරියාන් සාලාහ්ස්හුරි හිමිකර ගත්තා ය.

ඉන්දියාවේ ප්‍රථම ජය පුනියාගෙන්

බජ්රාන්ග් පුනියා මෙවර ඉන්දියාවේ ප්‍රථම රන් පදක්කම හිමිකර ගත්තේ ය.‍ ඒ මල්ලවපොර පිරිමි කිලෝ ග්‍රෑම් 65 නිදහස් ඉසව්වෙනි. 24 හැවිරිදි පුනියා 2014 ආසියානු ක්‍රීඩා උලෙළෙහි රිදී පදක්කම්ලාභියෙකි. එවර ඔහු තරග කළේ කිලෝ ග්‍රෑම් 61 ඉසව්වටයි.

උතුරු කොරියාව වාර්තාව සම කරයි

කාන්තා පාපන්දු මූලික වටයේ තරගයකදී උතුරු කොරියාව ගෝල 16 – 0 ක දැවැන්ත ජයක් ලැබීය. ඒ තජිකිස්තානය හමුවේය. මෙය ආසියානු ක්‍රීඩා උලෙළෙහි වාර්තාව සම කිරීමකි. මෙහිදී සන් හ්යැන්ග් සිම් ගෝල 04, කිම් යුන් මි 03, රිම් සි ඔක් 03, කිම් අන් හ්වා 02, යු ජොන්ග් ඉම්, කිම් ප්හ්යොන්ග් හ්වා, කිම් නැම් හුයි සහ රි හාඊ යොන් ගෝලය බැගින් රැස් කර ගත්හ.

පොඩ්ඩො දෙන්නෙක්

මෙවර ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වන ළාබාලතමයින් දෙදෙනෙක් සිටිති. ඒ ඉන්දුනිසියාවේ අලිකා නොවෙරි කායිසා සහ මලයාසියාවේ ඉයන් නුරිමන් අම්රිය. අලිකා 09 හැවිරිදිය. ඉයන් 11 හැවිරිදිය. ඔවුන් තරග කරන්නේ ස්කේට් බෝර්ඩිං ක්‍රීඩාවයි.

වියපත් ක්‍රීඩකයෝ බ්‍රිජ් ක්‍රීඩාවට

කාඩ් ඇසුරින් කරනු ලබන ක්‍රීඩාවක් ලෙසට බ්‍රිජ් හැඳින්විය හැකිය. මෙවර ක්‍රීඩා උලෙළට සහභාගි වන වයස්ගතම ක්‍රීඩකයන් සිවුදෙනාම බ්‍රිජ් තරගකරුවන්ය.

ඔවුන් නම් පිලිපීනයේ 85 හැවිරිදි කොංග් ටි යැන්ග්, සිංගප්පූරුවේ 82 හැවිරිදි ලායි චුන්ග් න්ග්, මලයාසියාවේ 81 හැවිරිදි හුන්ග් ෆොංග් ලී සහ ඉන්දුනිසියාවේ 78 හැවිරිදි මයිකල් බැම්බැන්ග් හාර්ටොනෝ ය.

 

ධනවතා ඉන්දුනිසියාවෙන්

ඉහත මයිකල් බැම්බැන්ග් හාර්ටොනෝ මෙවර ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වන ධනවතා වේ. හෙතෙම දුම්කොළ, බැංකු සහ විදුලි සංදේශ යන ව්‍යාපාරවලින් ධනවත් වූ පුද්ගලයෙකි.

ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 16.7 කි. සුප්‍රකට ‍ෆෝබ්ස් සඟරාවට අනුව ලොව 75 වැනි ධනවත්ම පුද්ගලයාත් මයිකල් ය. එමෙන් ම ඉන්දුනිසියාවේ මහ ධනවතුන් දෙදෙනා ලෙසට සැළකෙන්නේත් මයිකල් සහ ඔහුගේ සොහොයුරු රොබට්ය.

සුපිරි තරු රැසක්

විවිධ ක්‍රීඩා සඳහා ලෝක මට්ටමේ සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ම මෙවර ක්‍රීඩා උලෙළට සහභාගි වෙති.

නිකොල් ඩේවිඩ් (මලයාසියාව/ ස්කොෂ්)

35 හැවිරිදි ය. හිටපු ලොව අංක 01 ක්‍රීඩිකාවකි. 1998 – 2014 අතර ආසියානු ක්‍රීඩා උලෙළහිදී රන් පදක්කම් 06 ක් සහ රිදී පදක්කමක් හිමිකර ගත්තේ කේවල සහ කණ්ඩායම් තරගවලිනි.

ජෝශප් ස්කූලිංග්

(සිංගප්පූරුව/ පිහිනුම්)‍

23 හැවිරිදීය. 2016 ඔලිම්පික් උලෙළෙහිදී රන් පදක්කම මීටර් 100 සමනල ආරට හිමිකර ගත්තේ ඇමෙරිකාවේ මයිකල් පෙල්ප්ස් පරාජය කරමිනි. 2014 ආසියානු ක්‍රීඩා උලෙළෙහිදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම බැගින් හිමිකර ගත්තේ ය.

ලින් ඩැන්

(චීනය/ බැඩ්මින්ටන්)‍

35 හැවිරිදි ය. 2008 සහ 2012 ඔලිම්පික් ශූරයා ය. ආසියානු ක්‍රීඩා උලෙළෙහි රන් පදක්කම් රැසක හිමිකරුවෙකි.

 

සොන් හියුන්ග් මින්

(දකුණු කොරියාව/ පාපන්දු)

26 හැවිරිදිය. මෙවර ලෝක කුසලානයටත් සහභාගි විය. කිසියම් හෙයකින් රන් පදක්කම හිමිකර ගැනීමට ඔහුට හැකි වුවහොත් මාස 21 ක අනිවාර්ය හමුදා සේවයෙන් නිදහස් වනු ඇත.

 

කෙන්ටෝ මොමෝටා

(ජපානය/ බැඩ්මින්ටන්)

23 හැවිරිදිය. මේ වසරේ බැඩ්මින්ටන් කේවල (තනි) ලෝක ශූරයා ය. එවැනි දස්කමක් දැක්වූ ප්‍රථම ජපන් ක්‍රීඩකයාය.

 

න්ගුයෙන් තියි අන්හ් වියින්

(වියට්නාමය/ පිහිනුම්)

කුඩා දිය කිඳුරිය ලෙසට ජනප්‍රියව සිටින්නීය. 21 හැවිරිදි ය. 2014 ආසියානු ක්‍රීඩා උලෙළෙහි ද්විත්ව ලෝකඩ පදක්කම්ලාභිණියකි.

 

අබ්දෙර්රහ්මන් සැම්බා

කටාර්/ මලල ක්‍රීඩා

22 හැවිරිදි ය. මීටර් 400 කඩුලු මතින් දිවීමේ ලෝක මට්ටමේ ක්‍රීඩකයෙකි‍. උපත ලැබුවේ අප්‍රිකානු රටක් වන මොරිටේනියාවේදී ය.

 

සුන් ‍යැන්ග්

(චීනය/ පිහිනුම්)

මෙවර නිදහස් ආර ඉසව් සතරකට තරග කරයි. 26 හැවිරිදිය. ඔලිම්පික්, ලෝක සහ ආසියානු ශූරයෙකි. අඩි 6 අඟල් 7 ක් උසැති ය.


මැතිව්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

පිරිමි පිහිනුම් මීටර් 200 නිදහස් ආර තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වූයේය. ඒ විනාඩි 1 තත්පර 50‍.97 ක කාලයක් වාර්තා කරමිනි.
ඔහු විසින් බිඳ දමනු ලැබුවේ 2016 වසරේදී පිහිටු වූ තමන්ගේම වාර්තාවයි. එහි කාලය විනාඩි 1 තත්පර 52.14 කි.
කෙසේ වෙතත් මෙවර මෙම තරග ඉසව්වේදී තරගකරුවන් 34 ක් අතරින් මැතිව්ට හිමි වූයේ 12 වැනි ස්ථානයයි.


 ***************


චමරිටත් ශ්‍රී ලංකා වාර්තාවක්

කාන්තා බර ඉසිලීමේ කිලෝ ග්‍රෑම් 53 බර පංතියෙන් තරග කරමින් ශ්‍රී ලංකාවේ චමරි වර්ණකුලසූරිය නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය. ඒ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 96 ක බරක් ඔසවමිනි.
ඇය ස්නැච් ක්‍රමය යටතේ ඔසවන ලද බර ප්‍රමාණය කිලෝ ග්‍රැම් 73 කි. ඒ අනුව ඇ‍ගේ මුළු දක්ෂතාවය කිලෝ ග්‍රෑම් 169 කි. එහිදී චමරිට හිමිවූයේ 10 වැනි ස්ථානයයි.
  

Comments