
ලාංකේය පාපැදි ක්‍රීඩාවට නව ජවයක් එක් කළ SLT ස්පීඩ් අප් පාපැදි සවාරිය සැප්තැම්බර් 04 දා ගාලුමුවදොර පිටියෙන් ආරම්භ වන අතර පිරිමි තරගයේ පළමු අදියර මාතරින් අවසන්වීමට නියමිතය.
පාපැදි භාවිතය මෙරට ජනතාව අතර ජනප්‍රිය කරවීමටත්, පරිසරහිතකාමී ප්‍රවාහන මාධ්‍යයක් ලෙසත්, ශාරීරික ව්‍යායාමයක් ලෙසත්, ලාංකිකයන්ට නව සංස්කෘතියක් හඳුන්වාදීමටත් SLT ස්පීඩ් අප් පාපැදි සවාරිය අරමුණු කරගෙන තිබේ.
ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රීඩාව මේ තිබෙන අඩියෙන් තව පියවරක් ඔසවා තැබීමේ සමාජ වගකීමක් සහිත සමාගමක් වශයෙන් SLT මෙකී පාපැදි සවාරියට උරදීමට පෙරමුණ ගෙන තිබිම ලාංකේය පාපැදි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට ද හේතු වී තිබේ.
‘ලාංකේය පාපැදි ක්‍රීඩාව ඉහළ තලයට ඔසවා තැබූ, මෙරට පැවැත්වෙන දීර්ඝතම පාපැදි සවාරිය සහ වාර්ෂිකව පැවැත්වෙන මෙරට අංක එකේ පාපැදි ඉසව්ව වන, SLT Speedup පාපැදි සවාරියේ තෙවැනි තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීමට නියමිතය.
මෙම පාපැදි සවාරියේ පිරිමි තරගය සැප්තැම්බර් 4 වැනිදා ආරම්භකර 08 වැනිදා අවසන් වීමට නියමිත අතර කාන්තා තරගය සැප්තැම්බර් 07 සහ 08 යන දෙදින පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා පාපැදි තරග ඉතිහාසයේ කාන්තාවන් සඳහා දෙදින තරගයක් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව බවට මෙය පත්වනු ඇත. මෙරට පාපැදි තරග ඉතිහාසයට තවත් පරිච්ඡේදයක් එක් කරමින් පළමු වරට පැවැත්වෙන පැරා පාපැදි තරගය සැප්තැම්බර් 08 වැනිදා පැවැත්වීමට නියමිතය.
මෙවර පිරිමි තරගය කොළඹින් ආරම්භකර කිලෝමීටර 820ක දුරක් ගෙවා කුලියාපිටියෙන් අවසන් වන සේ ගමන් මාර්ගය සලකුණු කර ඇති අතර, කාන්තා තරගය කොළඹින් ආරම්භ කර කිලෝමීටර 175ක දුරක් ගෙවා කුලියාපිටියෙන්ම අවසන් වීමට නියමිතය. කුරුණෑගලින් ඇරැඹෙන පැරා තරගය කිලෝමීටර 75ක දුරක් ගෙවා කුලියාපිටියෙන් අවසන් වෙයි.
මෙරට ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය හා එක්ව මෙම පාපැදි සවාරිය සංවිධානය කරයි.
මෙම පාපැදි සවාරිය මෙරට පාපැදි ක්‍රීඩකයන් විසින් මෙන්ම ක්‍රීඩා ලෝලී ජනතාව විසින් වැඩිම ආකර්ශනයක් දිනා ගන්නා මෙරට පාපැදි තරග කැලැන්ඩරයේ වැඩිම අවධානයට පත්වන ඉසව්ව බවට පත්වන අතරම ජයග්‍රාහකයන් සඳහා ද දැවැන්ත මුදල් ත්‍යාග ද පිරිනමනු ලබයි.
ඒ අනුව SLT Speedup සවාරියේ පිරිමි අංශයේ තරගයේ ජයග්‍රාහකයාට රුපියල් මිලියනයක් ද කාන්තා සහ පැරා අංශයේ පළමු ස්ථානය වෙනුවෙන් පිළිවෙළින් රුපියල් 250,000 සහ රුපියල් 150,000 බැගින්ද පිරිනැමීමට කටයුතු යොදා තිබේ.










