
මට දේශපාලනයට පිවිසිමේ කිසිදු අභිලාෂයක් නෑ වගේ ම, තිබුණෙත් නෑ. ඒ වගේම මට අනාගතයේදීවත් දේශපාලනයට කැමැත්තක් ඇති වෙන්නෙත් නෑ. මම විශ්වාස කරනවා දේශපාලනයට සහ ජනතා සේවය වඩාත් භාරධුර වගකීමක්. ජනතා විශ්වාසය නොබිදෙන අයුරින් ජනතා සේවය වගකීමෙන් හා අවංකව සිදු කළ යුතුයි. ජනතා සේවයට මම ගරු කරනවා.
මට දේශපාලන බලාපොරොත්තුවක් නොමැති අතර ම ලාංකිකයන් ලෙස අප හොඳම සේවකයන් ඡන්දයෙන් පත් කර ගැනීමට විමසිලිමත් විය යුතුයි. එසේම ධනාත්මක සමාජ මෙන්ම ආර්ථික වෙනසක් එක රැයකින් ඇති කරගත නොහැකි අතර ම, ඒ සම්බන්ධයෙන් ඉවසීමක් තිබිය යුතුයි. ඒ වගේම සෑම කෙනෙකුට ම සමාජ සාධාරණත්වය ඉටුවන ලෙස ඡන්දයෙන් දේශපාලනඥයන් අවංකව, වගකීමෙන්, විනිවිදභාවයකින් හා ගරුත්වයකින් කටයුතු කරනවාද යන්නත්, එය ලබා ගැනීම සඳහා අඛණ්ඩව විවාද ඇතිකර ගැනීමට මෙන්ම ඉල්ලීම් කිරිමටත් අපට ශක්තිය ඇති බව මම විශ්වාස කරනවා.
ජරා ජීර්ණ දේශපාලනය
සංගා 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඇති ඉඩකඩ පිළිබඳ විශේෂයෙන් පසුගිය දිනවල මෙරට ඇති වූ කතාබහට ඉක්මන් නොවී එකි කතාබහ ඇවිලෙන්නට හැර පිළිතුරු සපයමින් අවසානයේ ප්‍රකාශ කළේ තමන් කිසි දිනෙක දේශපාලනයට නොඑන බවය. සංගා 2020 ජනාධිපතිවරණයට නම් එකි කතාබහ පිළිබඳ මතු වූ විවිධාකාර වූ අදහස් උදහස් ගැන වඩ වඩාත් විමසිලිමත් වූ බවද ප්‍රකාශ කරයි. සංගා රටේ පවතින මජර අවිචාරවත් ජරා ජීර්ණ දේශපාලනය පිළිබඳ කලකිරි මෙකි තීරණය ගත්තේ නම් ඒ ගැන ද පුදුම විය යුතු නොවේ.
තම අදහස් උදහස් මතවාද ඇත්ත ඇති සැටියෙන් කතා කිරීම පිළිබඳ සංගාට ඇත්තේ සුවිශාල වූ කීර්තිනාමයක් බව නොරහසකි. ඒ නිසාම සංගා පිළිබඳ දේශපාලනික කතාබහ වඩාත් මතුව ආවේ සංගා තැබූ සටහනක් නිසාවෙනි.
යුද්ධයේදී අහිමි වූ සියලු ජීවිත සම්බන්ධයෙන් සිහිපත් කිරීම සඳහා ගරු ගාම්භිර අවලෝකනයක යෙදීම සඳහා වන (මැයි 18 දා ) දිනයකි. පුර්ව විනිශ්චයකින් තොරව, තවත් අයකුගේ වේදනාව අපට ඇහෙන පරිදි අපගේ හදවත් විවර කළ හැකි නම්, එකිනෙකාට එසේ විවර කළ හැකි හදවතින් යුතුව සිටිය හැකි නම් ඒ අභාග්‍යය සම්පන්න ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය නොවනු ඇත.
කොලින් කවුඩ්රි දේශනය
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අග්‍රඵල වන ක්‍රීඩකයන් කිහිප දෙනා අතර ඉදිරියෙන්ම සිටින සංගා ලාංකේය. අග්‍රඵලය බවට පත් වූයේ 2011 දී එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ පැවැත්වූ කොලින් කවුඩ්රි දේශනය අවසානයේදීය. රට තුල මහත් ආන්දෝලනයක් ඇති කළ එකි දේශනයේ විනාඩි කිහිපයක කොටස් අල්ලාගත් මෙරට මජර දේශපාලනයේ තක්කඩියන් කිහිප දෙනකු සංගාගේ කොලින් කවුඩ්රි දේශනයට බොහෝ නිර්වචනයන් ඉදිරිපත් කිරීමට වෙර දරුවද මෑත ඉතිහාසයේ ලාංකේය ප්‍රතිරූපය ජාත්‍යන්තරයේ මහත් ඉහළින් ම ඔසවා තැබීමට හේතු වූ එකම කතාව එය බව නොරහසකි. සංගා අද කියන කතාවට කලින් කොලින් කවුඩ්රි දේශනයේද කළ කතාව මුල සිට අගට ප්‍රාමාණික තලයේ තබා අධ්‍යයනය කිරීමට හැකි වූෙය් නම් හෝ සිහි බුද්ධියෙන් එකි කතාවට සවන් දීමට හැකි වුයේ නම් සංගාව තේරුම් ගැනීමට තිබුණේ මීට වසර හතකට පමණ පෙරය.
“මම විශ්වාස කරනවා දේශපාලනය සහ ජනතා සේවය වඩාත් භාරධුර වගකීමක්. ජනතා විශ්වාසය නොබිදෙන අයුරින් ජනතා සේවය වගකිමෙන් හා අවංකව සිදු කළ යුතුයි. ජනතා සේවයට මම ගරු කරනවා.
නිදහසින් පසු ගෙවී ගියා වූ දශක හතක ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනයට පැමිණි අය අතර සංගා විශ්වාස කරන පරිදි මේවා තේරුම් බේරුම් කරගෙන කටයුතු කළ අතේ ඇගිලි ගණනටත් වඩා අඩු පිරිසක් හෝ සිටින්නට ඇති නමුත් මෑත දශක කිහිපයේ එකි අරමුණු - විශ්වාසයන්ට කණකොකා හැඬු බව නම් නොරහසකි. වර්තමානයේ දේශපාලනයට පිවිසෙන්නන් හුදෙක්ම තම සුඛවිහරණයට මෙය පාලමක් කර ගෙන බව පැහැදිලිය. ඒ තුළ යහපත් අරමුණු නැත. විශ්වාස වෙනුවට කිරුළ දරා සිටින්නේ අවිශ්වාසයයි.
වැරදුණු කුරුමානම්
රට ගැන ජනතාව ගැන නොහිතන දේශපාලකයන් මේ රටේ ම ජිවත්වෙමින්, දේශපාලනය කරමින් ජනතාවගේම ඊරි මාංශයම සුරාකමින්, ජනතාවගේ ම බදු මුදලින් සියල් සපිරි ජිවිත ගත කරමින් ජනතා සේවය සහ වගකීම් සම්භාරය තේරුම් ගෙන ඇත්තේ ඒ ආකාරයටයි. එපමණක් ද නොවේ. ජරා ජීර්ණ මජර දේශපාලන මඩ ෙගාහොරුවේ ලගිමින් මළ කුණු බුදින නිල මැස්සන් මෙන්ම රටේ ම සාර උරා බොන දේශපාලකයන්ට තම පශ්චාත් භාග තබන්නට අපේ රටේ වඩුවන්ගේ සුරතින් නිම වන පුටු නොවටිනා නිසා ම (ඔවුන්ගේ ඡන්ද වටියි) ඒවාද විදේශ රටවලින් ගෙන ඒම දක්වා වැරදුණු කුරුමානම් අල්ලන්නෝ ද නැතුවාම නොවේ. එවන් තත්වයක් තුළ සංගා මෙහි වගකීම් සම්භාරය තේරුම් ගැනීම අගය කළ යුතුය. සංගාට මේ තේරෙන දේ අද ප්‍රාදේශීය සභාවේ පටන් නගර සභා ,මහ නගරසභා, පළාත් සභා පමණක් නොව පාර්ලිමේන්තුවේවත් සිටින කිසිවකුට මේ වගකීම් සම්භාරය තේරුම් ගැනීමට හැකි දැයි නොදනිමු.
රටේ ජනතාව ගොනාට අන්දවමින් බලය ගැනීමට මාන බලන්නන් මීට දශක කිහිපයකට පෙර සිටම කළේ කාගේ හෝ කරමතින් ස්වකීය ගමන ගොස් ජනතාවගේ ඊරි මාංශයම උරා බොන්නන් බවට පත්වීමය. අවසානයේ සිද්ධ වූයේ ජනතාව හප බවට පත්ව මළ කුණු බුදින නිල මැස්සන් පිරිසක් පෝෂණය කිරීම පමණි.
මට දේශපාලන බලාපොරොත්තුවක් නොමැති අතර ම ලාංකියන් ලෙස අප හොඳම සේවකයන් ඡන්දයෙන් පත්කර ගැනීමට විමසිලිමත් විය යුතු බව ද තවද සංගා කියයි. ලාංකිකයන්ට සංගා පවසන මේ විමසිලිවන්ත භාවය තිබුණේ නම් රට සුඛිත මුදිත වී බොහෝ කල්ය. රටේ අවාසනාවට ලාංකිකයන්ට නිදහසින් පසු නොතිබුණේ සංගා පවසන මේ හොඳම සේවකයන් ඡන්දයෙන් පත් කර ගැනීමේ විමසිලිමත්භාවය බව අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු නොවේ.
ශ්‍රද්ධාව සහ භක්තිය අතර වෙනස හරි හැටි නොදන්නා අති බහුතරයක් වෙසෙන රටක, රටක් අයාලේ යාම ගැන පුදුමවිය යුතු නොවේ. පලාත් සභා ඡන්දයේ පටන් ඊට ඉහළින් ඇති ඕනෑම ඡන්දයකින් සිදුවිය යුත්තේ දක්ෂයන් අතරින් දක්ෂතම පිරිසක් තෝරා පත් කර ගැනීමය. නමුත් අපේ රටේ සිදු නොවන්නේ ද ඒ දේමය. එපමණක් ද නොවේ. දේශපාලනය සහ ජනතා සේවය සම්බන්ධයෙන් සුවිශේෂි දක්ෂතා, හැකියාවන් ප්‍රගුණ කළ පිරිස් ද අදාල තැන්වල නැත. ජනාධිපතිවරයා මෙරට හැර ගොස් තමන්ගේ හැකියාවෙන් දක්ෂතාවලින් උපරිම ප්‍රයෝජන ගන්න ලාංකේය බුද්ධිමතුන්ට නිතර දෙවේලේ ආරාධනා කරන්නේ මේ නිසාම විය යුතුය.
මේ අවාසනාවන්ත තත්වය නිසාම කොහේ හෝ කරක් ගහන පිරිස් තම නිලතල හෝ මුදල් බලය භාවිත කරමින් ප්‍රාදේශිය සභාවේ සිට ඉන් ඉහළට ඇති දේශපාලන බලාධිකාරියට රිංගා ගනිති. එකි පිරිස්වලට මේ තැන්වලට රිංගා ගැනීමට පාර විවර කර දෙන්නේ මුදලට - බත් පැකට් එකකට අන්ධ භක්තියෙන් කටයුතු කරනු විනා, අඩුම තරමේ මොවුන් මේ තනතුරු වලට පත් වී රටට කරන විනාශය අවබෝධ කර නොගැනිම රටේ අවාසනාව, කරුමය මිස වෙන දෙයක් නොවේ. ඡන්ද පොළකට යන ඡන්දදායකයා ජනතා නියෝජිතයා ලෙස පත් කර ගන්නේ ද වැඩිම කතිර ප්‍රමාණයක් ලැබූ පුද්ගලයා බව රටම දනියි. විභාගයකදී වැඩිම කතිර ප්‍රමාණයක් ලැබූ ප්‍රශ්න පත්‍රයකට හිමිවන ලකුණු ප්‍රමාණය සහ අඩුම කතිර ප්‍රමාණයක් ලැබු ප්‍රශ්න පත්‍රයකට හිමිවන ලකුණු ප්‍රමාණය පිළිබඳ අවබෝධ කර ගැනීමට මහා උගතකුවිය යුතු නොවේ. මෙවන් දේ තුළින් පවා ඉස්මතු වන්නේ අපේ ගැතිභාවය මිසක් වෙනකක් නොවේ. එවැනි ගැති අයගෙන් පවා රටට වන සුගතියක් නැත. ඡන්දයක් ළංවූ විට මුදල් ටිකක් විසිකර - කෑම වේලකින් සියල්ල ගොඩ යා හැකි බව මහ පුටුවල වැජඹෙන්නෝ සහ සුද්දෙන්ම දන්නා කරුණකි.
අපේ රටේ අන්ධ භක්තිය ගැන ඕනෑ තරම් කතා කරන නමුත් අන්ධ ශ්‍රද්ධාව ගැන කතා නොවෙන තරම්ය. ඒ නිසාම මේ වර්ග කිලෝ මීටර් හැට පන්දාහස තුළ දේශපාලනිකව ගත් කළ මැක්කාගේ න්‍යායෙන් ගොඩ යා හැකි සෙප්පඩ විජ්ජා ඕනෑ තරම් තිබෙන අතර ජනතාව ද හිතු හිතුසේ ඇත්ත වීමට ද හැකිය. සංගා යනු අද හෙට පමණක් නොව, තව දශක දෙක තුනක් වුවද, කිසිඳු අපුලකින් තොරව ම මේ වර්ග කිලෝ මීටර් හැට පන්දාහස තුළ මාර්කට් කළ හැකි මාර්කට් එකක් තිබෙන නාමයකි. 2020 ට සංගාව විකුණාගෙන කන්නට මාන බැලුවන්ගේ ඔලු ගෙඩිවල තිබුණේ මේ අදහස නම් සංගා එයට නියම පා පහර ම දෙවරක් නොසිතා එල්ල කර ඇත. අද සංගාගේ නම 2020 ට ගෙනා අය ගලේ පැහැරු බලලුන්ගේ තත්වයට පත්ව ඇත්තේ නිකම් ඉල්ලගෙනය.
සංගාගේ කතාව වටින් ගොඩින් මතුව ආවේ හදිසියේ නොවේ. ඒ මීට ටික කලකට පෙර සිටය. නමුත් එකි කතාව වඩාත් තීවර වූයේ ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අගමැතිවරයා වීමත් සමඟමය. සංගාගේ දේශපාලන කතාව එහෙන් - මෙහෙන් මතුව එන විට ඉම්රාන්ගේ දේශපාලනය දශක දෙකකටත් වඩා කාලයක් ඉක්මවා ගිය එකකි. එකී කාලය පුරාම ඉම්රාන් සිය ඉලක්කයට එන්නට ඇවැසි සුදුසුකම් සපුරා ගනිමින් මහජන විශ්වාස ගොඩනගා ගත්තේය.
ලාංකිකයන් ලෙස අප හොඳම සේවකයන් ඡන්දයෙන් පත්කර ගැනීමට විමසිලිමත් විය යුතුය. සංගා මේ වචන පවා භාවිත කරන්නේ බොහෝම අරපිරිමැස්මෙන් බව පැහැදිලිය. ලාංකිකයන් ලෙස අප අතීතය දෙස හැරි බලන්නේ නම් අප අපට ම මඩුවලිගෙන් තලා ගන්නවා නිසැකය.
පැරිෂුට් කාරයන්ගෙන් නන්නත්තාර වි ඇති රටකට සංගා තවත්පැරිෂුට් කාරයකු නොවීම එක් අතකින් වාසනාවකි. වෘත්තීය නිපුණතාවය දෙකේ කොළයට වැටි ඇති රටක පරිනත දේශපාලකයකු වූ කරු ජයසුරියට පබා සිය පළමු මහා මැතිවරණයේදීම ලාංකේය දේශපාලනයේ අයන්න, ආයන්න කියා දෙන්නට හැකි වන්නේ ඒ නිසාය. එවන් ජනතාවක් වෙසෙන රටක සංගා 2020ට ආවොත් එය සිම්පල් ගේමක් වන බවට සාධක සෙවිමට වැඩිය මහන්සි විය යුතු නොවේ.
 
 









