සචිනි ජයසූරිය වැඩ්ඩෝ සහ කබ්බෝ | සිළුමිණ

සචිනි ජයසූරිය වැඩ්ඩෝ සහ කබ්බෝ

අපේ රටේ පවතින ක්‍රීඩා සංගම් සම්මේලන 63 න් කැපවීමෙන් වැඩක් කරන කළ හැකි නිලධාරින් පිරිසක් සිටින්නේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ බව පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන පළමු ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියේ කුසලානය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින්ය.

දහ අටවැනි ආසියානු ක්‍රීඩා උලෙළට එක්වන්නට බලා සිටි ටෙනිස් ක්‍රීඩිකා සචිනි ජයසූරියට සිය දක්ෂතා කුණුකූඩයට දමා අධිකරණයේ පිහිට පතන්නට සිදු වූයේ ජාතික ඔලිම්පික් කමිටුවේ ජාතික තේරීම් කමිටුවේ සහ ටෙනිස් සම්මේලනයේ කෙරුවාවල්වල හොඳකම නිසාය. අධිකරණ තීන්දුවට පවා පයින් ගසා ඔලිම්පික් කමිටුව කටයුතු කරනවිට ක්‍රීඩා අමාත්‍යවරයා මැදිහත් නොවන්නට සචිනිට සිදුවන්නේ සිය හැකියාවන් සඟවා ගෙන හඬා වැටෙන්නටය.

අපට අධිකරණ තීන්දුවට පිටින් වැඩ කරන්න බෑ. ඒ නිසා තමයි අන්තිම මොහොතේ හරි සචිනිව මේ තරගාවලියට යවන්න තීරණය කළේ යැයි අමාත්‍යවරයා පවසයි.

ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රයේ මහා පුටුවලට පවතින උණුසුම මෙන්ම ඒ පිළිබඳ කතාබහ ද කිසිදිනක අඩු නොවේ. ක්‍රීඩා පනතට කළ නව සංශෝධනයන් ද මෙකී කතාබහ දෙගුණ - තෙගුණ කිරීමට හේතු වී තිබේ. කතාබස් දෙගුණ තෙගුණ වුවද, ලාංකේය සමස්ත ක්‍රීඩාවම ඇත්තේ අවිනිශ්චිතභාවයකය. අඳුරු සෙවණැලි ගොඩකය. මොන පොරොන්දු ලබාදී ක්‍රීඩා මහා පුටුවලට පැමිණිය ද කවුරු - කවුරුත් කළේ සමස්ත ක්‍රීඩාවම තමන්ගේ කෙවිටේ දිග ප්‍රමාණයට දක්කාගෙන යාම පමණි. ජයග්‍රාහී හැරවුම් ලක්ෂයක් හඳුනා ගන්නට වෙර දැරූ බවක් හෝ ගෙවී ගිය කාලය පුරාවටම දක්නට නොවීය. මේ සඳහා කදිම උදාහරණ දහඅටවැනි ආසියානු ක්‍රීඩා උලෙළ අවසානයේ දැකබලා ගැනීමට හැකිවනු ඇත.

පුටුවලට උණුසුම සේම කතාබස් පවතින්නේ සංගම් හෝ සම්මේලන කිහිපයක මිස සමස්තයේම නොවන බවට අමුතුවෙන් සාධක සෙවිය යුතු නොවේ. බහුතර සංගම්වල කතාබහ අඩු තරමේ එකී සංගම් තුළවත් නැත. සුළුතරයක් වූ සංගම් සම්මේලනයන්හි පුටුවලට උණුසුම ගිනියම්ව පැවතියද ඒවා තුළ ඇත්තේ ද තනතුරු ලාභ, ජනප්‍රියත්වය, ආර්ථික වාසි මෙන්ම රට සවාරි සිහින පමණි. තම තමන් බාර ගන්නට වළිකන ක්‍රීඩාවන් පිළිබඳ සැබෑම රුදාවක් ඇත්තේ කාටද යන්නත් මෙහිදී විමසා බැලිය යුතුය.

හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වරක් ප්‍රකාශ කළේ ක්‍රීඩාවේ උරුමක්කාරයන් ලාංකේය ක්‍රීඩාවේ කරුමක්කාරයන් වෙමින් වසරකට හෝ කාලය දිගු කර ගැනීමට මාන බලන්නේ ක්‍රීඩාවට ඇති ආදරයට නොවන බවය.

ක්‍රීඩා නිලවරණවලදී, සිදුවිය යුත්තේ දක්ෂයන් අතරින් දක්ෂම පිරිසක් ක්‍රීඩා පරිපාලනය අතට ගැනීමය. නමුත් අපේ රටේ සිදුනොවන්නේද එකී දෙයමය. එපමණක්ද නොව, ක්‍රීඩාව සම්බන්ධයෙන් හෝ ක්‍රීඩා පරිපාලනය සම්බන්ධයෙන් සුවිශේෂී දක්ෂතා ප්‍රගුණ කළ පිරිස් ලාංකේය ක්‍රීඩා පරිපාලන පුටුවල දක්නට ද නැත. මේ අවාසනාවන්ත තත්ත්වය නිසාම කොහේ හෝ කරක් ගසන පිරිස් තම නිලතල හෝ මුදල් බලය භාවිත කරමින් ක්‍රීඩා සංගම් සම්මේලනවලට රිංගා ගනිති.

එකී පිරිස්වලට ඡන්ද භාවිත කරන පිරිස් ද මේ නිලතල හෝ මුදලට වහල් වී කටයුතු කරනවා විනා මෙකී තනතුරුවලට පත්වී ක්‍රීඩාවට කරන විනාශය අවබෝධ කර නොගැනීම අපේ ක්‍රීඩාවේ කරුමයකි. අද ඡන්දයකට අසුන් ගන්නා බොහෝ නියෝජිතයන් තම ක්‍රියාකාරීත්වය අත එසවීමකට පමණක් සීමාකරගෙන තිබීම තුළ පැහැදිලි වන්නේ මොවුන්ගේ ගැතිභාවය පමණි.

මෙවැනි ගැත්තන්ගෙන් ක්‍රීඩාවට කවදාවත් සුගතියක් අත්වන්නේ ද නැත. දක්ෂයන් අතරින් වඩාත් දක්ෂයා තෝරා ගන්නා ක්‍රමයකට අවතීර්ණ වීමට හැකි වට පිටාවක් ඡන්දදායකයාට තිබිය යුතුය. එවිට සචිනිලා වැනි දක්ෂයන්ට සිය හැකියාවන්ගෙන්ම ඉදිරියට යාමට හැකි වටපිටාවක් නිර්මාණය වනු ඇත.

එසේ නොවුණහොත් සචිනිලා වැනි දක්ෂයන්ට සිදුවන්නේ ක්‍රීඩා පිටියේ පමණක් නොව, අධිකරණ ඉදිරියේ පවා සිය දක්ෂතා - හැකියාවන් ඔප්පු කර පෙන්වීමටයි. මේ ආසියානු ක්‍රීඩා උලළේ උස පැනීමේ ශූර උෂාන් තිවංකට සහ මීටර් 400 මිශ්‍ර ආර සහාය තරගය ඉන්දිකා උපමාලිට අහිිමිවන්නේ තරග ඉල්ලුම්පතක් හරි හැටි පුරවා ගැනීමට නිලධාරින්ට නොහැකිවීම නිසාය. බොහෝ නිලධාරින්ගේ කෙරුවාවන් මෙසේවන විට රටක ක්‍රීඩා වළපල්ලට යාම වැලැක්විය නොහැකිවනු ඇත.

Comments