සංගා පූර්වාදර්ශයක් කරගත් මන්දනා | සිළුමිණ

සංගා පූර්වාදර්ශයක් කරගත් මන්දනා

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර තම ක්‍රිකට් දිවියේ පුර්වාදර්ශය බව නැගී එන ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩිකාවක වන ස්ම්‍රිති මන්දනා පවසන්නීය.

මෙවර එංගලන්ත ප්‍රාන්ත විස්සයි විස්ස තරගාවලිය අතරතුර කුමාර සංගක්කාර හමුවීමට ලැබීම තම ක්‍රිකට් දිවියේ භාග්‍යයක් බව මන්දනා පැවසුවාය.

මෙවර එංගලන්ත කාන්තා විස්සයි විස්ස තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වීමට 22 හැවිරිදි ස්ම්‍රිති මන්දනා මේ වන විට සමත්වී තිබෙන අතර මෙම තරගාවලියේ එක් ඉනිමක වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාව වීමට ද ඇයට හැකි විය.

"මම මගේ පළමු තරගය (එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ) ක්‍රීඩාකරද්දී ඔහු විස්තර විචාරයේ යෙදී තිබෙනවා, මම ඒක දැනගෙන හිටියේ නැහැ, නමුත් ඔහුගේ ට්විටර් පණිවිඩයක් මම දැක්කමයි දැන ගත්තේ ඔහු ඇවිල්ලා ඉන්නවා කියලා"

"මම එතකොටම මගේ කළමනාකරුට කිව්වා මට කොහොමහරි ඔහුව මුණගැහෙන්න ඕනේ කියලා, මම ඒවගේ ඉල්ලීමක් වෙන කාගැනවත් කරලා නැහැ, මම ඔහුව මගේ පුර්වාදර්ශය කරගෙන තියෙනවා දැන් සැහෙන කාලයක් ඉඳන්" ඇය කියා සිටියාය.

කුමාර සංගක්කාර සමග පෙනීසිටි ජායාරුපයක් ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළකර තිබුණේ එය "රසිකාවියකගේ විශේෂ අවස්ථාවක්" ලෙස හඳුන්වමින්.

තමන් ලකුණු අතර නොමැති අවස්ථාවල කුමාර සංගක්කාර ක්‍රීඩා කරන වීඩියෝ දර්ශන බලා තමන් ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නා බව ඇය ප්‍රකාශ කළාය.

"මම ඔහුගේ දැඩි රසිකාවියක්, ඔහු කතාකරන්න රුචියක් ඇතිවන කෙනෙක්, අපි විනාඩි 15ක් විතර කතා කළා, මම පන්දුවට පහරදෙන ආකාරය ගැන ඔහුගෙන් ඇහුවා, ඔහු කිව්වා ඔයා හොඳට බැට් කරනවා, ඒගැන වැඩිය හිතන්න එපා කියලා, මේ විදිහටම ක්‍රීඩා කරන්න කිව්වා" කුමාර සංගක්කාර සමග කතාකළ ඒ විනාඩි 15 තමන්ට දැඩි ආත්ම විශ්වාසයක් හා සතුටක් එක් කළ බව ස්ම්‍රිති කියා සිටියාය.

2017 වසරේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා ගෙනයාමට ස්ම්‍රිති මන්දනා විශාල දායකත්වයක් දුන් අතර ඉතා කෙටිකලකින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ උපනායක තනතුර ද ඇයට හිමිවිණි.

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිතිකාරිනියන් වර්ගීකරණය යටතේ ඇය දැන් 4 වෙනි තැනට ද පැමිණ තිබේ.

1996 වසරේ ජූලි 18 වෙනිදා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපත ලැබූ ස්ම්‍රිති මන්දනා ගේ පියා මෙන්ම සහෝදරයා ද ප්‍රාදේශීය මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලී තිබේ.

වයස අවුරුදු 9 වන විට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත අවුරුදු 15 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත්, අවුරුදු 11 දී එම ප්‍රාන්ත 19න් පහළ කණ්ඩායමටත්, 2014 වසරේදී ඉන්දීය ජාතික කාන්තා කණ්ඩායමටත් ඇය ඇතුළත් විණි.

මේ වසර අවසානයේ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ දක්ෂතා අතර ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාවන් අතර ඇය ද සිටිනු ඇති බව ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති.

මන්දනා ආරම්භක පිතිකාරිණියකි. සංගක්කාර මෙන්ම ඇයත් වමතින් පන්දුවට පහර දෙයි. ඇය එක්දින ජාත්‍යන්තර සහ 20 - 20 ජාත්‍යන්තර තරග වරම් ලැබුවේ 2013 වසරේදීය. ඇය තම මංගල ටෙස්ට් තරගයට 2014 දී ක්‍රීඩා කළාය.

 

ක්‍රිකට් දස්කම්

ටෙස්ට් තරග - 02, ලකුණු 81, වැඩිම 51 සාමාන්‍යය 27.00, අර්ධ ශතක 01.

එක්දින ජාත්‍යන්තර තරග - 41, ලකුණු 1464, වැඩිම 135, සාමාන්‍යය 37.53, ශතක 03, අර්ධ ශතක 11, උඩපන්දු 13.

20 - 20 ජාත්‍යන්තර තරග - 42, ලකුණු 857, වැඩිම 76, සාමාන්‍යය 23.16, අර්ධ ශතක 05, උඩපන්දු 08.

Comments