‘කොළ නැති ගහෙන්’ දෙවරක්ම ‌බේරී බඩ කපාගෙන බේරුණු සුමතිපාල | Page 2 | සිළුමිණ

‘කොළ නැති ගහෙන්’ දෙවරක්ම ‌බේරී බඩ කපාගෙන බේරුණු සුමතිපාල

එල්ලුම් ගහ කියන්නේ හැමදාමත් අලුත් වන මාතෘකාවක්. එල්ලුම් ගහට නියම වී හිඳින්නෝ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නට යන්නේයැයි ඇසෙන විටද භීතියට පත් වෙති. අද එසේ වූවත් එල්ලුම් ගහ ක්‍රියාත්මක වූ යුගයේදී ඊට නියම වී සිටියවුන් හිත හදාගෙන සිටි බව එවකට බන්නධනාගාර සේවයේ රාජකාරි කළ ඇත්තෝ පවසති. එවකට එල්ලා මැරීමට දින නියම කරනු ලබන්නේ ආණ්ඩුකාර කාර්යාලයෙනි.

එවිට අහවල් දවසේ සිරකරු එල්ලා මරණ බවට ඔහුට දැනුම් දෙන්නේ දවස් හතකට පෙරය. මරු සිරා හෙවත් සිරිපාලගේ එකම තීරණය වූයේ තමන් බන්ධනාගාර නිලධාරීන් අතින් මිය යන්නේ නැතැයි කියාය.

‘තොපි අතින් මැරෙන්නේ නැහැ!’ මෙය ඔහුගේ සටන්පාඨය විය. බෝගම්බර පෝරකයට ගිය සිරිපාලගේ මරණය අදටද කුතූහලය දනවන්නකි. කොහොම වුවත් සිරිපාලගේ මරණය මෙන්ම එකල බන්ධනාගාරයේ සිටි බොහෝ දෙනකුට මතක ඇති තවත් චරිතයකි පොලොන්නරුවේ සුමතිපාල. තුන් පාරක්ම එල්ලා මරන්නට නියම වූ සුමතිපාල එල්ලුම් ගහට යන්නට පෙර දින රාත්‍රියේ බඩ කපාගත්තේය. එදින රාත්‍රියේ හිරගෙදර පැවැතියේ පුදුමාකාර කලබලකාරි බවකි.

කිසිවක්, එනම් කිසිදු ආයුධයක් ළඟ තබාගැනීමට අවසර නැති සුමතිපාල බඩ කපාගත්තේ කොහොමද? ඔබේ සිතේ මේ ප්‍රශ්නය නිරන්තරයෙන්ම මතු වනු ඇත. කාලයක් තිස්සේ එල්ලුම් ගහ ගැන කතා කරන හැම විටම සුමතිපාල ගැනද විවිධ කතා කියවෙයි. මේ කතා සියල්ල එකට එකතු කර එක් කතාවක් කියන්නටයි මේ සූදානම.

සුමතිපාලට හිර ගෙදරට එන්නට සිදු වූයේ මිනීමැරුම් චෝදනාවකට වරදකරු වීමෙනි.

සුමතිපාල කලක් ගරාජයක වැඩ කර ඇත්තේය. ඔහු වැඩ කළ ගරජයේ ලොකු බාස් උන්නැහේ කරුණාවන්ත මිනිසකු වූ අතර ඔහු තම බිරියට වඩා වයසින් වැඩි අයෙක් වූයේය. කෙසේ හෝ ගැරෙජ් බාස්ගේ තරුණ බිරිය හා සුමතිපාල අතර අනියම් සම්බන්ධතාවක් පැවැතිණි. මේ සම්බන්ධතාව දුර-දිග යෑමෙන් දේපළ අයිති කරගැනීමේ අරමුණින් සුමතිපාල හා බාස්උන්නැහේගේ බිරිය එක්ව බාස් උන්නැහේ මරාදැමූහ.

මරාදැමුණු බාස් උන්නැහේගේ අත්දෙකේ මහපට ඇඟිලි කපා ඔප්පුවල ඇඟිලි සලකුණ තබා ඇත. බාස්ගේ මිනිය වළ දමා ඇත්තේ ඉන් පසුවය. කෙසේ හෝ මාස කිහිපයක් ගිය තැන බාස් උන්නැහේගේ මරණය සැකයැයි ඔහුගේ ඥාතීන් පැමිණිල්ලක් කර ඇත. සැකය මතු වී ඇත්තේ ඔප්පුවල තිබූ ඇඟිලි සලකුණු සමඟය. එමෙන්ම මළ සිරුරේ මහපට ඇඟිලි නැතැයිද ඔත්තුවක් ලැබී තිබිණි.

සිද්ධිය පිළිබඳ කළ පරීක්ෂණවලින් පසු සුමතිපාල අත්අඩංගුවට ගැනණු අතර, මේ මිනීමැරුම සුමතිපාල කළ බවට ඔප්පු වීමත් සමඟ අධිකරණය විසින් ඔහුට මරණ දඬුවම නියම කරනු ලැබුණේය. එල්ල‍ා මැරීමට දිනය නියම වීමත් සමඟ සුමතිපාල එල්ලුම් ගහට නියම වූවන් සිටින කාමරයට යොමු කෙරිනි.

ඇත්තටම සුමතිපාලට මොකද වුණේ? මේ සියල්ල දෑසින් දුටුවන් කිහිප දෙනෙක්ම සිටිති. ඒ අතරින් අපගේ මතකයට ආවේ ජනතා විමුක්ති පෙරමුණේ එවකට සාමාජිකයකුව සිට හැත්තෑ එකේදී අත්අඩංගුවට පත් චාල්ස් දයානන්ද මහතාය. සුමතිපාල ගැන තම අත්දැකීම් ඔහු සිහිපත් කළේ මෙලෙසිනි.

“මම හැත්තැතුනේ ඉඳලා හැත්තෑ හය වන තුරු හිටියේ බෝගම්බර හිරගෙදර. මට මතකයි ඒ කාලේ පහක් එල්ලලා මරණවා. එල්ලා මරපු කෙනාගේ මිනිය ගිලන් ඇඳක දාලා සිරකරුවන් දෙදෙනෙක් අරගෙන යන්නේ අපි හිටපු හිර කාමර ඉස්සරහින්. එහෙම ගෙනියනකොට ඒ මළසිරුරුවල ඔළුව දෙපැත්තට වැනෙනවා මට දැනුත් මැවිලා පෙනෙනවා. සුමති

පාල එල්ලා මරන්නට නියම වෙච්ච කාලේ මම කුස්සිපාටියේ හිටියේ. ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ අපි කෑගහලා කුස්සි පාටියේ වැඩ ඉල්ලගත්තා. එහෙම කළේ හිරකාරයන්ට කුස්සියේ හරියට උයන්නේ නැති නිසා. කොහොම වුණත් හිරකාරයෝ දාහකට විතර උයපු කුස්සියේ වෙනම ළිපක් බැඳලා සුමතිපාලට වෙනම කෑම ඉව්වා. ඔහු විශේෂයෙන් කියලා ඉල්ලලා තිබුණේ පීකුදු. මැරෙන්න යන අය වැඩියෙන්ම කන්න ඉල්ලන්නේ පීකුදු, පැපොල්, අඹ වගේ දේවල්.

එල්ලා මරණ අයට වෙනම කාමර දෙකක් තිබුණා මේ කාමර දෙකෙන් එකක් සුද්ද කරනකොට හිරකාරයාව අනෙක් කාමරේට මාරු කරනවා. සුමතිපාල හිටියෙත් ඒ විදිහට. මේ මම ඇස්දෙකින් දැකපු ඒවා. එල්ලලා මරන්න නියමිත අයගේ ඥාතීන්ට ඔවුන් බලන්න එන්න පුළුවන්. ඒ ආවත් දැලකින් එහා-මෙහා ඉඳලා තමයි දෙගොල්ලන්ට කතාරන්න පුළුවන්. එල්ලුම් ගහට යන හිරකාරයාගේ ළඟම ඥාතියා එන්නේ සුදු ඇඳගෙන. හිරකාරයා ඉන්නෙත් සුදු ඇඳගෙන. මේ දෙන්නා දැලෙන් එහා-මෙහා ඉඳගෙන කතා කරනවා මම කවදාවත් දැකලා නැහැ. ඒ මුළු කාලය තුළම ඔවුන් අඬා-වැලපෙනවා තමයි මම දැකලා තියෙන්නේ.

ඒක දුටුවම හිත කඩාවැටෙනවා. හරියට මළගෙයක් වගෙයි.”

චාල්ස් දයානන්ද පවසන්නේ තමන් යොවුන් වියේදී සිරකරුවකු ලෙස බෝගම්බර හිරගෙදරදී ලැබූ අත්දැකීම්ය. මරණයේ වේදනාව ඇත්තේ මිය යන්නවුන්ට නොව ජීවත්ව හිඳින්නන්ටය.

එහෙත් දින නියමු වූ මරණයක් වරක් නොව, දෙවරක්ම කල් ගිය විට හිතින් මරණ බය විඳි මිනිසකුගේ හිත හඳුනන්නේ එවැනි අත්දැකීමකට මුහුණ දුන් අයෙක්ම පමණි. පොලොන්නරුවේ සුමතිපාල එවැනි අත්දැකීම් විඳි අයෙකි.

“එල්ලා මරන්න කලින් දවසේ තමයි අලුගෝසුවයි ඔහුගේ සාහයකයි බන්ධනාගාරයට එන්නේ. ලුවිස් සිංඥෝ තමයි අලුගෝසුවා. ඔහු බොහෝම කෙසඟ මනුස්සයෙක්. මේ දෙන්නා ඔය කියන දවසේ හැන්දෑවෙත් වැනි වැනී එනවා අපි දැක්කා. හිරකාරයෝ අතරේ කතාවක් තිබුණා මේ දෙන්නා බීලා තමයි මේ රාජකාරිය කරන්නේ කියලා.

ඒ වගේම තමයි හිරකරුගේ බර කිරලා ඒ බරට වැලි කොට්ටයක් හදලා කඹේ දාලා එල්ලනවා. එහෙම කරන්නේ කඹේ හයිය බලන්නලු. කෙහොම වුණත් හැම දේම සූදානම් වුණාට පස්සේ එදා රෑ හැමෝගෙම හිතේ වැඩ කළේ පහුවදා උදේට මිය යන සුමතිපාල ගැන.

ඒත් රාත්‍රියේ ආව දුරකතන ඇමතුමකින් ඒ මරණය නතර වුණා. හේතුව පසුදාට මොකක්දෝ ආගමික උත්සවයක් තිබීම. ඉස්සර හිරගෙදර කාගෙත් අදහසක් තිබුණා, එල්ලා මරන්න නියමිත වෙලාවේ ඒ කෙනා එල්ලා මරන්න බැරි වුණා නම් නැවත එය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා.

අපි හැමෝමත් හිතුවා සුමතිපාලට ආයේ මරණ දඬුවම ලැබෙන්නෙ නැහැ කියලා. මාසයක් දෙකක් ගෙවිලා ගියා. මෙන්න සුමතිපාලට ආයේ ‘දිනේ’ ආවා. පෙර විදියටම සියල්ල සූදානම් වුණා.

එදත් මරණ දියට පෙර රාත්‍රියේ දුරකතන ඇමතුමක් ඇවිත් තිබුණා සුමතිපාල එල්ලා මැරීමට නියමිත දිනයේ ක්‍රිස්තියානි ආගමික උත්සවයක් නිසා මරණය කල් දැම්මා කියලා.

අපි හිතුවා ආයෙ නම් කවදාවත් සුමතිපාලට මැරෙන්න වෙන එකක් නැහැ කියලා. ඒත් ආයෙමත් මාස කිහිපයකට පස්සේ සුමතිපාලට දිනේ ආවා. පෙර විදිහටම සියල්ල සූදානම් වුණා. එදා රෑ දහයට විතර හිරගෙදර සුමතිපාල ඉන්න පැත්තෙන් ලොකු කලබලයක් ඇහුණා. වාහන යන සද්දේ ඇහුණා. හිර කාමරවල හිටපු හැමෝම කලබල වෙලා.

කාටත් කුතුහලේ මොකද වෙලා තියෙන්නේ කියලා. ගාඩ් කෙනෙත් ඇවිත් කිව්වා සුමතිපාලට කරදරයක් කියලා. ඔහු විස්තරේ හොයන් එන්නම් කියලා ගියා. අපිටත් හරිම කුතුහලේ. පස්සේ තමයි දැන ගත්තේ සුමතිපාල බඩ කපාගෙන කියලා. මේ ආරංචිය අහලා අපි බොහෝම කම්පා වුණා.”

ඒ චාල්ස් දයානන්ද කියන කතාවය.

සුමතිපාල බඩ කපාගත්තේ කොහොමද? බඩ කපාගත්ත සුමතිපාලට මොකද වුණේ? අපිට මේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ එවකට දෙවන පෙළ ජේලර්වරයකු ලෙස බෝගම්බර බන්ධනාගාරයේ සේවය කළ විශාමික බන්ධනාගාර අධිකාරි රංජිත් ඒකනායක මහතාය.

“ඒ කාලේ හිරගෙදර ඇතුළේ ප්‍රසිද්ධ දෛවඥයෙක් හිටියා. ඔහු තිලකරත්න කියලා සුබසාධක නිලධාරියෙක්. ඔහු බොහෝම කටකාරයි.

තිලකරත්ත හරි දක්ෂයා. ඔහු එක එක්කෙනාගේ අත බලලා අනාවැකි කියනවා. දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමාටත් ඔහු අනාවැකි කිව්වා. ඒවා හරි ගිහින් තිබුණා. මම දවසක් තිලකරත්නගෙන් ඇහුවා කොහොමද අනාවැකි කයන්නේ කියලා.

ඔහු මට කිව්වා ‘මම දන්න සාස්තරයක් නැහැ, මම ඉගෙනගත්ත සාස්තරයකුත් නැහැ. මම මගේ දැනුමෙන් බුද්ධියෙන් අනුමාන කරලා තමයි කියන්නේ‘ කියලා.

කොහොම හරි තුන්වැනි පාර සුමතිපාල එල්ලලා මරන්න නියම වෙලා ඉන්දැද්දි තිලකරත්න සුමතිපාල ගාවට ගියා, ‘සුමතිපාල දීපං බලන්න උඹේ අත!’ කිව්වා සුමතිපාල අත දික්කරා. ‘උඹව මරන්න මේ ලෝකේ ජගතෙක් නැහැ. උඹව මරන්න කෙනෙකුත් නැහැ!’ කියලා කිව්වා.”

(තිලකරත්න එහෙම කියලා තියෙන්නේ එදා සුමතිපාලගේ බර, වයස ආදි තිබූ අංක සියල්ල එකතු කළ විට 7 ඉලක්කම ඇවිත් තිබූ නිසයි)

“එදා රෑ සුමතිපාලට බත් කන්න දීලා තිබුණ බෙලෙක් පිඟාන නවලා නවලා පිහියක් වගේ හදාගෙන බඩයි බෙල්ලයි කපාගෙන. ඔහුට ඕන වෙලා තිබිලා තියෙන්නේ හෘදය වස්තුව එළියට ගන්න. බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා තමයි වෛද්‍ය පනාගමුව. ඔහු ඇවිත් සුමතිපාලට සේලයින් එක දී එක අතකින් තුවාලවලට මැහුම් දමමින් තමයි ඔහුව රෝහලට ගෙන ගියේ. මහනුවර රෝහලේදී සුමතිපාලට සැත්කමක් කර තිබුණා.

සුමතිපාලගේ තුවාලවලට මැහුම් තුන්සිය ගණනක් දමා තිබුණලු. ඔහු දවස් කිහිපයක් රෝහල්ගතව සිටියා, නැවත බන්ධනාගාරයට පැමිණියා.

ටික කාලයක් ඉන්න විට ඔහුට ජීවිත සමාව ලැබුණා. පසුව ඔහු හිටියේ එළිමහන් සිරකඳවුරක. මම බෝගම්බරින් පල්ලේකැලේට යන විට සුමතිපාල පල්ලේකැලේ කඳවුරේ වගාවන්වලට වතුර දාන වතුර පොම්පය බාරව හිටියා. පසුකාලෙක ඔහු සිරගෙදරින් නිදහස්ව ගියා. ඒ ගියේ ඩොලර් පාම්, කෙන්ට් පාම්වලට. මේවාට අසූ ගණන්වල ත්‍රස්තවාදීන් පහර දී සමුල ඝාතනය කළා. මෙහිදි සුමතිපාලත් මැරුණා කියලා තමයි මම පසුව දැනගත්තේ.”

රංජිත් ඒකනායක මහතා පවසන්නේ වසර ගණනාවක් පැරණි අප අසා ඇති කතාවක නොදන්නා කතාවකි. සුමතිපාලගේ කතාව මෙතැනින් අවසන් නොවේ. ඔහු රෝහල්ගතව සිට පැමිණීමෙන් පසු චාල්ස් දයානන්දට කී කතාවක්ද තිබේ.

“එදා සුමතිපාල තුවාල වෙලා රෝහලට ගෙනියනකොට ඔහු සිහි මූර්ඡා වෙලා ඉඳලා තියෙන්නේ. මේ කතා අපට කිව්වේ ඒ කාලේ හිටපු ගාඩ් මහත්තුරු. හිර ගෙදරින් රෝහලට ගියාලු සුමතිපාලව එල්ලා මරන්න අරගෙන එන්න.

ඒත් වෛද්‍යවරයා කිව්වලු නීතිය මොක වුණත් දැන් සුමතිපාල ඔහුගේ රෝගියෙක් නිසා රෝහලෙන් එළියට දෙන්න බැහැ කියලා. සුමතිගේ මරණය කල් ගියා.

නුවර රෝහලින් ආවට පස්සේ ඔහු බන්ධනාගාර රෝහලේ හිටියා.

දවසක් මම රෝහල හරියෙන් යද්දි සුමති අව්ව තැප-තැප ඉන්නවා. මම ඔහුට ළං වෙලා කතා කළා. ඒ කතා කරන ගමන් මම මිනිහගෙ මැහුම් පාරවල් ගණන් කළා. කැපුම් පාරවල් විස්සක් මම දැක්කා. ඔහුගේ බෙල්ල ගැඹුරට කැපිලා තිබුණා. ඔහු කතා කළේ ගොර-ගොර හඬින්. මම ඇහුවා මොකක්ද එදා වුණේ කියලා.

“මම බඩ කපාගත්තා. බඩ ඇතුළට අත දාලා බඩවැල් කපාගත්තා. ඒවා හංකඩ වගේ කැපෙන්නේ නැහැ. බඩ ඇතුළ හරි රස්නෙයි. මට ඕනෑ වුණේ මැරෙන්න. පස්සේ මම බෙල්ල කපාගත්තා. මම මැරුණා.’ (‘මැරුණා’ යන්නේන් ඔහු අදහස් කළේ සිහිමූර්ඡා වීම විය යුතුය) ඔහු මට කිව්වේ හිනා වෙවි.

මම නම් දකින්නේ සුමතිපාල කියන්නේ පුදුම ආත්මශක්තියක් තිබුණ කෙනෙක් හැටියටයි. කොහොම හරි එල්ලුම් ගහෙන් ගැලවුණ සුමතිපාල අන්තිමට මැරුණේ කොටි ත්‍රස්තවාදීන් ඩොලර් ෆාම්වලට ගහපු වෙලාවේ.” විශ්‍රාමික ගුරු උපදේශකවරයකු වන චාල්ස් දයානන්ද මහතා පවසන්නේ තමන් තරුණවියේදී හිරගෙදරදී ලැබු අත්දැකීම්වලින් බිඳකි. එල්ලුම්ගහ පාමුල තවත් කතාවක් අවසාන වූයේ ඒ ලෙසිනි.

සේයාරූ - තුෂාර ප්‍රනාන්දු

Comments