
සිය රියැදුරාට වලංගු බලපත්‍රයක් නොමැති වීම හේතුවෙන් පාගමනින් යෑමට වූ ඇමතිවරයෙක් පිළිබඳ අසන්නට ලැබීම විරල, ඇතැම් විට අරුම පුදුම සිදු වීමකි. නමුත් පසුගියදා බංග්ලාදේශයේ ධකා අගනුවර සිසු විරෝධතා අතරතුර එවන් සිද්ධියක් වාර්තා වූයේ ය. සතියකට වඩා වැඩි කාලයක් තිස්සේ පැවති සිසු විරෝධතා පාලනය කිරීම සඳහා පොලිසිය මෙන්ම දේශපාලන මැරයන් ද යොදාගන්නා ලදී. එම සිද්ධීන් කෙසේ අර්ථ දැක්වූව ද, එයින් රජය පැහැදිලි ලෙස ම අපකීර්තියට පත් වූයේ ය.
එම සිද්ධි දාමය ඇරඹුණේ ජූලි 29 වනදා බස් රථ අනතුරකින් සිසුන් දෙදෙනකු මිය යෑමත් සමඟ ය. ඡන්ද බලය ද නොමැති පාසල් සිසුන් ධකා නගරයේ වීථිවලට බැස්සේ මාර්ග සුරක්ෂිතතාව ඉල්ලමිනි. ඔවුන් ගෙනගියේ සාමකාමී විරෝධතාවකි. එමෙන්ම රථවාහන ගමනාගමනය මුළුමනින් ම කඩාකප්පල් කිරීමට ඔවූහු කටයුතු නොකළ හ. නමුත් රියැදුරන් ගේ බලපත් පරීක්ෂා කිරීම සහ වැරදි මංතීරුවෙන් ධාවනය වන වාහන නැවැත්වීම වැනි පියවරයන් ඔවුහු ගත් හ. ඔවුන්ගේ පණිවිඩය වූයේ මාර්ග නීති නියමාකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බව ය.
එම විරෝධතාවයට මුහුණ දෙන්නේ කෙසේද යන කරුණ පිළිබඳ රජය ව්‍යාකූලත්වයට පත් වූ බවක් පෙනුණි. එය ගණන් නොගෙන සිටිය නොහැකි විය; සමච්චලයට ලක් කිරීමද අපහසු විය. ඊට දේශපාලන මුහුණුවරක් දීම ද අපහසු විය. මර්දනය කිරීමට ද වලංගු හේතුවක් නොවී ය. නමුත් රජය මේ සෑම පියවරයක් ම විවිධ අවස්ථාවන් හි අනුගමනය කළේ ය.
රාජ්‍ය ප්‍රතිචාර
විරෝධතා ව්‍යාපාරය නොසලකා හැරීම නොකළ හැකි බව වටහාගත් අවස්ථාවේ රජය එය සමච්චලයට භාජනය කිරීමට ගොස් අපහසුතාවට පත් විය. එක් ඇමතියවරයකු සඳහන් කළේ ඉන්දියාවේ අනතුරකින් තිස් ගණනක් දෙනා මිය යද්දී කිසිවකුත් විරෝධය නොදැක්වූ නමුත් බංග්ලාදේශයේදී දෙදෙනකු මියගිය අවස්ථාවක විරෝධතා ව්‍යාපාර හටගත් බවයි. එම විරෝධතාව එක් සිද්ධියක් මගින් හට ගත්තේ වී නමුදු, දිගු කාලීනව ගොඩනැඟුණ අප්‍රසාදයක ප්‍රතිඵලය වන බව ඔහු වටහා නොගත්තේ ය. බංග්ලාදේශයේ පසුගිය වසර ඇතුළත මාර්ග අනතුරුවලින් මිය ගිය පදිකයන් සංඛ්‍යාව 4200 ඉක්මවයි. එය 2016 දී මියගිය පදිකයන් සංඛ්‍යාවට වඩා සියයට 25ක වැඩි වීමකි. අනෙකුත් දේශපාලන කරුණු සියල්ල ම පසෙක තිබියදී එම කරුණ පමණක් සැලකුව ද එහි විශාල ගැටලුවක් ඇති බව රජයකට නොපෙනීම කනගාටුවට කරුණකි.
මින් පසු රජය විරෝධය දක්වන සිසුන්ට ප්‍රතිඥා දුන්නේ ප්‍රශ්නය විසඳන බව ය. මාර්ග නීති තද කිරීම සඳහා කටයුතු කරන බව කියා සිටි අගමැතිනි ෂික් හසීනා සිසුන් ගෙන් ඉල්ලා සිටියේ පාසල් කරා යන ලෙස ය. නමුත් සිසුහු එ් ඉල්ලීම ඉවත දැම්මෝ ය. මූලිකව ම ඔවුනට රජය කෙරේ විශ්වාසයක් නොවී ය.
රජය උත්සාහ කළේ මේ විරෝධතාව විපක්ෂය විසින් මෙහෙයවන්නක් බව චෝදනා කොට එයට දේශපාලනික මුහුණුවරක් දීමෙන් සිය අසාර්ථකභාවය සඟවා ගැනීමට ය. පාසැල් සිසුන්ගේ විරෝධතාවකට දේශපාලන මුහුණුවරක් දීමට දැරූ උත්සාහය එක්තරා අතකට හාස්‍යජනක වන අතර, එයින් ද යළිදු පැහැදිලි වූයේ ඔවුනගේ නොහැකියාව ය.
එම උපක්‍රමය කලක් භාවිත කළේ නම් විරෝධතාව දේශපාලනික වීමත් එමඟින් එහි මුඛ්‍ය පරමාර්ථය බිඳ වැටීමෙන් එයට සහය අඩු වීමත් සිදු විය හැකිව තිබිණ. විරෝධතාව යම්තාක් දුරකට දේශපාලනික මුහුණුවරක් කරා ගමන් කිරීමක් පසු කාලීනව දැකිය හැකි වූ අතර ඒ පිළිබඳ ඇතැම් විරෝධතාකරුවන් තුළ අප්‍රසාදයක් වූයේ ය. මෙසේ දේශපාලනික මුහුණුවරක් ගනු ලැබුණේ පාලක අවාමි ලීගය කෙරේ විරෝධතාකරුවන්ගේ කෝපය වැඩිපුර යොමු වීමෙනි.
කෙසේ නමුත් මේ අවස්ථාවේ දිගුකාලීන දේශපාලන උපක්‍රම සඳහා රජයට කාලය නොවීය. ඉවසීම ද නොවී ය. සාධාරණ විරෝධතාවකට පිළිතුරක් නොවන තැන රජයක් සාමාන්‍යයෙන් යොමු වන ඊළඟ පියවර මර්දනය ය. බංග්ලාදේශ පාලක පක්ෂය වන අවාමි ලීගය මීළඟට යොමු වූයේ එ් පියවරට ය. අවාමි ලීගයේ ශිෂ්‍ය ව්‍යාපාරය වන බංග්ලාදේශ චත්‍ර ලීගයේ සාමාජිකයන් මේ ප්‍රහාර මෙහෙයවූ බවට බරපතල චෝදනා එල්ල වූයේ ය. හෙල්මට් පැලඳගත්, පොලු මුගුරු අතින් ගත් මැරයන් වීථි සරද්දී පොලිසිය බලා සිටිනු දක්නට ලැබිණ. පසුව සිසු විරෝධතාවට සරසවි සිසුන් ද එක් වූ අතර එ් විරෝධතා නිම වූයේ පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙනි. නමුත් සන්නද්ධ මැරයන්ට කඳුළු ගෑස් එල්ල වූයේ නැත.
මේ ප්‍රහාරයන්ගෙන් අනතුරුව කෙමෙන් විරෝධතා ව්‍යාපාරය යටපත් වූයේ ය. පාසල් සිසුනගේ ආරක්ෂාව පිළිබඳ ඇති වූ සැක සංකා මත දෙමාපියන් ඔවුන් ව නිවෙස් හි රඳවා තබා ගැනීම ඊට එක් හේතුවක් විය. තව ද රජය සත්‍ය වශයෙන් ම ඇතැම් තද නීති හඳුන්වා දීමට කටයුතු කිරීම ද ජයග්‍රහණයක් සේ සලකන ලදී. විශේෂයෙන් ම, හිතාමතා සිදු කරන මාර්ග අනතුරකින් ජීවිත අහිමි වීමට වරදකරුවකු වන්නකුට මරණ දඬුවම පැමිණවීමට රජය ක්‍රියා කළේ ය.
ෂහිදුල් අලාම් සිද්ධිය
නමුත් ෂහිදුල් අලාම්ගේ සිද්ධිය පෙන්නුම් කළේ රජය තවමත් විරුද්ධ අදහස් දරන්නන් මර්දනයට සූදානම් වන බව ය. අලාම් ප්‍රකට ඡායාරූප ශිල්පියෙක් සහ සමාජ ක්‍රියාධරයෙකි. ඔහු අල් ජසීරා පුවත් සේවය සමඟ වූ සාකච්ඡාවකදී රජය බරපතළ ලෙස විවේචනය කළේ ය. පැය ගණනක් ඇතුළත ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. බංග්ලාදේශ පොලිසිය සිසු උද්ඝෝෂණ මැඩීමට අවිගත් මැරයන්ගේ සහය ලබාගෙන තිබෙන බව පැවසීම ඊට මූලික හේතුව වූ බව විශ්වාස කෙරේ. අගෝස්තු 5 වන ඉරිදා අත්අඩංගුවට ගන්නා ලද ඔහු සඳුදා දිනයේ අධිකරණයක් හමුවට පමුණුවනු ලැබ සතියකට රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.
නමුත් පොදුවේ ගත් කල විරෝධතා ව්‍යාපාරය යම් සාර්ථකත්වයකින් යුක්ත වූ බව ඊට සහභාගී වූ ඇතමුන්ගේ අදහස ය. මක් නිසාද යත් ජනතාව වෙනදාට වඩා මාර්ග නීති පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන බවක් පෙනෙන හෙයිනි. මාර්ග නීති කඩන්නන්ට එරෙහිව එල්ල වන පැමිණිලි සංඛ්‍යාව වැඩි වී තිබේ. මේ අතර රජය ද ඒ පිළිබඳ යම් පියවර ගන්නා බවට අඟවයි. එය ක්‍රියාත්මක වේද යන්න සැක සහිත ය.
විකල්ප බලය
කෙසේ නමුත් බංග්ලාදේශ රජයට යම් කිසි දෙයක් කරන බවට පෙන්වීම ද අත්‍යාවශ්‍ය ය. මේ වසර අවසානයේ පවත්වනු ලබන මහ මැතිවරණය අබියස ඔවුන් යම් සාර්ථකත්වයක් මෙන්ම විශ්වසනීයත්වයක් පෙන්නුම් කළ යුතු ය. නමුත් අප්‍රේල් මාසයේදී මතුවූ සරසවි උද්ඝෝෂණ ද ජූලි-අගෝස්තු සිසු උද්ඝෝෂණ ද මර්දනය කළ ආකාරයෙන් එවන් විශ්වාසයක් ගොඩනැඟී නොමැත. මෙවන් පසුබිමක මැතිවරණය ජය ගැනීම සඳහා ද මැරබලය ම යොදා ගන්නවා හැර වෙනත් විකල්පයක් නොවන තැනට අවාමි ලීගය පත් වීමේ ඉඩක් පවතී.
අවාමි ලීගය පමණක් නොව ඕනෑම රටක ඕනෑම රජයක් මතක තබාගත යුතු කරුණක් පිළිබඳව ෂහිදුල් අලාම් යථෝක්ත අල් ජසීරා සාකච්ඡාවේදී කියා සිටියේ ය. සමස්ත ජාතියක් ම මර්දනය කිරීමෙන් කීකරු කරගත හැකි යැයි කල්පනා කිරීම කිසි විටෙක සිදු කළ නොයුතු වරදකි.
බංග්ලාදේශයේ මතුවූ එම සිසු නැගිටීම කල් පවතින බලවේගයක් වීමට නම් ජනතාව තුළින් මතු වන දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය ය. බංග්ලාදේශය පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක ම, එනම් අවාමි ලීගය සහ ජාතික පක්ෂය, තට්ටු මාරු ක්‍රමයට රට අගාධයට ගෙන ගියෝ ය. ඔවුහු සියල්ලෝ ම අදක්ෂ, අකාර්යක්ෂම සහ දූෂිත පාලනයන්ට වරදකරුවෝ ය. එහෙයින් විකල්ප බලවේගයකට විනා බංග්ලාදේශ දේශපාලනය සුද්ධ කිරීම පහසු නොවන්නේ ය. මෙය බංග්ලාදේශයට පමණක් නොව කලාපයේ බොහෝ රටවලට සත්‍යය වේ. පකිස්තාන ජනයාට ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය මෙන්, බංග්ලාදේශයට ද සාධනීය විකල්පයක අවශ්‍යතාව දරුණු ලෙස ම දැනෙමින් පවතී. ඒ සඳහා සුළු බලාපොරොත්තුවක් තවමත් ඡන්ද බලය පවා නොමැති පාසැල් සිසුන් වෙතින් මතු වීම සතුටට කරුණකි.