යෝධ ඇළේ තට්ටු ගෙවල් හදලා; වැව් බැම්මේ ගඩොළුත් කපලා | Page 2 | සිළුමිණ

යෝධ ඇළේ තට්ටු ගෙවල් හදලා; වැව් බැම්මේ ගඩොළුත් කපලා

මෙරට සුවිශේෂී ඉපැරැණි වාරි තාක්ෂණය අනුව ඉදි කළ අනුරපුර යෝධ ඇළ මත තට්ටු නිවාස පාලම් බෝක්කු හා වෙළෙඳසල් වැනි අනවසර ඉදිකිරීම් හා අවිධිමත් වාරි කටයුතු නිසා ඉපැරැණි යෝධ ඇළ දැන් සම්ප‍ූර්ණයෙන්ම විනාශ වෙමින් පවතින බව විද්වත්හු හා යෝධ ඇළ සුරැකීමේ සංවිධානය පවසති.

මේ පිළිබඳව අදහස් දක්වන ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලාංකික උපදේශක ආචාර්ය පී.බී. ධර්මසේන මහතා පැවසුවේ කලාවැවේ සිට තිසාවැව දක්වා සැතපුම් 54ක් දිගට සැතපුමකට අඟල් 6ක බැස්මක් ඇතිව ධාතුසේන රජතුමා ඉදි කළ මේ යෝධවැව මඟින් අතීතයේ කුඹුරු අක්කර 114,000කට හා වැව් 120කට ජලය සැපයූ බවයි.

මේ අනුව යෝධ ඇළේ මහඉලුප්පල්ලම සිට බටුවත්ත දක්වා ප්‍රදේශවල යෝධ ඇළ මත හා යෝධ ඇළේ බැම්ම මත තට්ටු ගෙවල්, තනි ගෙවල්, ගඩොල් පෝරනු වගා බිම් පාලම් බෝක්කු ආදියද ඉදි කර ඇත.

ඊට අමතරව එම ප්‍රදේශවල යෝධ වැවේ ඉවුර ගඩොළු කැපීමට කපාගෙන ගොස් ඇති බවත් මෙරට සුවිශේෂ වාරි තාක්ෂණය අනුව ඉදි කළ මේ යෝධ ඇළ සුරැකීමට රජය කටයුතු කළ යුතු බවත් යෝධ ඇළ සුරැකීමේ සංවිධානය පවසයි. මෙවැනි ඇළක් ලෝකයේ කොතැනක වත් නැති බැවින් මේ පිළිබඳව වාරිමාර්ග, මහවැලි කෘෂිකර්ම බලධාරීන්ගේ නිලධාරීන්ගේ ක්ෂණික අවධානය යොමු කළ යුතු බවද, මේ විනාශය නිසා අපේ ලෝක උරුමයක් ලෙස හැඳින්විය හැකි යෝධ ඇළ ජාතියට අහිමි වනු ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.

Comments