
‘ලාංකේය පාපැදි ක්‍රීඩාව ඉහළ තලයට ඔසවා තැබූ, මෙරට පැවැත්වෙන දීර්ඝතම පාපැදි සවාරිය සහ වාර්ෂිකව පැවැත්වෙන මෙරට අංක එකේ පාපැදි ඉසව්ව වන, SLT Speedup පාපැදි සවාරියේ තෙවැනි තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීමට නියමිතය.
මෙම පාපැදි සවාරියේ පිරිමි තරගය සැප්තැම්බර් 4 වැනිදා ආරම්භකර 08 වැනිදා අවසන් වීමට නියමිත අතර කාන්තා තරගය සැප්තැම්බර් 07 සහ 08 යන දෙදින පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා පාපැදි තරග ඉතිහාසයේ කාන්තාවන් සඳහා දෙදින තරගයක් ක්‍රියාත්මක වන පළමු අවස්ථාව බවට මෙය පත්වනු ඇත. මෙරට පාපැදි තරග ඉතිහාසයට තවත් පරිච්ඡේදයක් එක් කරමින් පළමු වරට පැවැත්වෙන පැරා පාපැදි තරගය සැප්තැම්බර් 08 වැනිදා පැවැත්වීමට නියමිතය.
මෙවර පිරිමි තරගය කොළඹින් ආරම්භකර කිලෝමීටර 820ක දුරක් ගෙවා කුලියාපිටියෙන් අවසන් වන සේ ගමන් මාර්ගය සලකුණු කර ඇති අතර, කාන්තා තරගය කොළඹින් ආරම්භ කර කිලෝමීටර 175ක දුරක් ගෙවා කුලියාපිටියෙන්ම අවසන් වීමට නියමිතය. කුරුණෑගලින් ඇරැඹෙන පැරා තරගය කිලෝමීටර 75ක දුරක් ගෙවා කුලියාපිටියෙන් අවසන් වෙයි.
මෙරට ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය හා එක්ව මෙම පාපැදි සවාරිය සංවිධානය කරයි.
මෙම පාපැදි සවාරිය මෙරට පාපැදි ක්‍රීඩකයන් විසින් මෙන්ම ක්‍රීඩා ලෝලී ජනතාව විසින් වැඩිම ආකර්ශනයක් දිනා ගන්නා මෙරට පාපැදි තරග කැලැන්ඩරයේ වැඩිම අවධානයට පත්වන ඉසව්ව බවට පත්වන අතරම ජයග්‍රාහකයන් සඳහා ද දැවැන්ත මුදල් ත්‍යාග ද පිරිනමනු ලබයි.
ඒ අනුව SLT Speedup සවාරියේ පිරිමි අංශයේ තරගයේ ජයග්‍රාහකයාට රුපියල් මිලියනයක් ද කාන්තා සහ පැරා අංශයේ පළමු ස්ථානය වෙනුවෙන් පිළිවෙළින් රුපියල් 250,000 සහ රුපියල් 150,000 බැගින්ද පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

පාපැදියට නව ජවයක්
ජනිත සුරත් - ශ්‍රී ලංකා වොලිබෝල්
SLT පාපැදි සවාරිය මේ වන කොට අපේ රටේ අස්සක් මුල්ලක් නෑර ම පැතිරිලා තියෙනවා. මේ පාපැදි සවාරියට වරාය නියෝජනය කරමින් කණ්ඩායමක් තරග කරනවා. ඔවුන් ඇතුලුව මේ SLT පාපැදි සවාරියට එකතුවන සියලුම තරගකරුවන්ගෙන් තියුණු තරගයක් දැක බලා ගැනීමට අපේක්ෂා කරනවා.
ක්‍රීඩාවක් දියුණු වෙන්න- ඉදිරියට යන්න අනුග්‍රහකත්වය වැදගත් සාධකයක් වෙනවා. ඒ අතින් බලන කොට SLT මේ තරගාවලිය වාර්ෂිකව පවත්වමින් ලංකාවේ පාපැදි ක්‍රීඩාවට ලොකු සේවයක් කරනවා. ලංකාවේ සුපිරි පාපැදි ධාවකයන්වන ඩේන් නුගේරා මගේ පන්තියේ. නවින් රුචිර අපේ ඉස්කෝලේ. අපි එකට පාපන්දු ක්‍රීඩා කරලා තියෙනවා. ඒ දවස්වල මම ආධාරකරුවකු විදියටත් පාපැදි සවාරිවලට එකතු වෙලා තියනවා. විශාල තෑගි මුදල් ලබා දෙමින් පවත්වන SLT පාපැදි සවාරිය මේ පාරත් සාර්ථක තියුණු අවසානයක් බලාපොරොත්තු වෙනවා.
****************

ආබාධිතයන්ට වටිනාකමක්
ඉන්දුමති කරුණාතිලක
පැරා ක්‍රිඩිකා
පැරා ක්‍රීඩකයන්ට පාපැදි තරගාවලියක් තියෙන එක ඔවුන්ගේ සැඟවුණු දක්ෂතාවලට ඉඩකඩක් හදලා දිලා සමාජයේ කතාබහ කරන තැනකට ගන්න පළමුවැනි අවස්ථාව විදියට දකිනවා. SLT ආයතනය මලල ක්‍රීඩා සහ වෙනත් ක්‍රීඩාවලටත් අනුග්‍රහය දක්වනවා.
විශේෂයෙන් පැරා ක්‍රීඩකයන් සම්බන්ධ කර ගෙන මේ පවත්වන SLT පාපැදි සවාරිය අපේ ක්‍රීඩා ක්ෂේත්‍රයට අලුත් අත්දැකීමක් වෙයි. පැරා පාපැදි තරගය වගේ කාන්තා - පිරිමි පාපැදි තරග දෙකෙන් හොඳ තරග අවසානයක් බලාපොරොත්තු වෙනවා.
*********************

පාපැදියට පිබිදීමක්
ඉෂාන් දසනායක
යතුරු පැදි ශූර
ලංකාවේ විශාලම තෑගි මුදල් ප්‍රමාණයක් ලබා දෙන තරග ඉසව්වක් විදියට SLT පාපැදි සවාරිය දකිනවා. යතුරු පැදි ක්‍රීඩාවේ පවා හම්බ වෙන්නේ දහදාහක - පහළොස් දාහක වගේ තැගි මුදල් ප්‍රමාණයක් තමයි.
ක්‍රීඩාවක් දියුණු වෙන්න නම් ඒ ක්‍රීඩාව වටා අනුග්‍රහකයෝ එකතු වෙන්න ඕනෑ. අනුග්‍රහකයෝ වැඩිවන ප්‍රමාණයට ක්‍රීඩා දියුණු වෙනවා වගේ ම ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ටත් ඒ ගැන ආසාවක් ඇති වෙනවා . ජනතාව අතරට ක්‍රීඩාව යන්නේ නැත්නම් රදා පැවැත්මක් නෑ. ඒ අතින් බලන කොට SLT පාපැදි සවාරිය රටට ම ආවරණය කරමින් උපරිම ජනතා ආකර්ශනයක් දිනා ගනිමින් මේ තරගාවලිය පවත්වනවා. ඒක ක්‍රීඩාවේ වර්ධනයටත් ලොකු රුකුලක් වෙනවා.
 
 









