වර්ගවාදයට පයින් ගසා මිෂුට් ඕෂිල් ගෙදර යයි | Page 2 | සිළුමිණ

වර්ගවාදයට පයින් ගසා මිෂුට් ඕෂිල් ගෙදර යයි

උපත - 1988 ඔක්තෝබර් 15

උපන් පළාත - ගෙල්සෙන්කර්ෂන්, බටහිර ජර්මනිය

උස - අඩි 5 අඟල් 11

ක්‍රීඩා කරන ස්ථානය - ආක්‍රමණශීලි මැද පෙළ

වෘත්තීය කණ්ඩායම් -

(2006 – 08) ෂල්කා 04 (ජර්මනිය)

(2008-10) වර්ඩර් බ්‍රේමන් (ජර්මනිය)

(2010-13) රියල් මැඩ්රිඩ් (ස්පාඤ්ඤය)

(2013 සිට ) ආර්සනල් (එංගලන්තය)

ජාතික කණ්ඩායම් - ජර්මනිය

අවුරුදු 19 න් පහළ / 21 න් පහළ

ජර්මනිය 2009 – 2018 තරග 92 (ගෝල 23)

ලෝක කුසලාන

2014 ( ශූරතාව)

2010 (ලෝකඩ - තෙවැනි ස්ථානය)

යුරෝ තරගාවලිය

2012 (ලෝකඩ)

ජර්මනිය මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූයේ ලොව අංක 01 කණ්ඩායම ලෙසටයි. නමුත් ඔවුනට සිදු වූයේ මුල් වටයෙන්ම ඉවතට යාමටයි. ගත වුයේ දින කිහිපයකි. ජර්මන් කණ්ඩායමේ සුපිරිතම තරුවක් වන මිෂුට් ඕෂිල් ජාත්‍යන්තරව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළේය.

හෙ‍ෙතම සමු ගත්තේ පිටු සතරක දැවැන්ත ලිපියක් මඟින් වත්මන් ජර්මන් පාපන්දු සංගමයේ සභාපති රෙයින්හාර්ඩ් ග්‍රයින්ඩෙල්ව ප්‍රසිද්ධියේම විවේචනය කරමිනුයි.

මෙම ලිපිය මඟින් වත්මන් ජර්මන් පාපන්දු ක්‍රීඩාව වර්ගවාදයට ලක් වී ඇති බවත් තමන් එහි ගොදුරක් බවත් එම නිසා ජාතික කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කළ බවත් ඕෂිල් ප්‍රකාශ කළේය.

“ග්‍රයින්ඩෙල් සහ ඔහුගේ ආධාරකරුවන්ට අනුව අපි දිනන විට මම ජර්මන්. නමුත් අපි පරදන විට මම සංක්‍රමණිකයෙක්”. ඕෂිල් ප්‍රකාශ කළේය. එමෙන්ම ලෝක කුසලානයේදී ජර්මන් අසාර්ථකත්වයට තනිවම තමන් වගකිව යුතු බවට ඇතැමුන් ප්‍රකාශ කරන බවත් ඕෂල් පැවසීය. මී‍ට හේතු වූයේ තමන්ගේ තුර්කි සම්භවය බවත් හෙතෙම වැඩි දුරටත් පැවසුවේය.

ඕෂිල් උපතින් තෙවැනි පරම්පරාවේ ජර්මන් - තුර්කියානුවෙකි. තුර්කි සම්භවයක් සහිත මිලියන තුනකට වැඩි ජනතාවක් මේ වන විට ජර්මනියේ සිටිති. එමෙන්ම ඔහු මුස්ලිම් ජාතිකයෙකි.

ඕෂිල් විවිධ ගැටළුවලට ලක් වූයේ ඡායාරූපයක් නිසාවෙනි. ඒ මෙම වසරේ මැයි මාසයයි. ඕෂිල් සහ තවත් ජර්මන් පාපන්දු ක්‍රීඩකයකු වූ ඉල්කේ ගුන්ඩොගාන් ලන්ඩන් නුවරදී තුර්කි ජනපති රිසෙප් ටේයිප් ඉර්ඩොගාන් සමඟ ඡායාරූපයකට පෙනී සිටියහ. මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ බොහෝ ජර්මානුවන් ක්‍රීඩකයන් දෙදෙනාව විවේචනයට ලක් කළහ. ඕෂිල් මෙන්ම ගුන්ඩොගාන් ද ජර්මනියේ උපන් තුර්කි ජාතිකයෙකි. ඔවුන් මෙම ක්‍රීඩකයන්ගේ දේශප්‍රේමිත්වය පිළිබඳ ප්‍රශ්න කළහ.

වත්මන් තුර්කි ජනපතිවරයා විවිධ කරුණුවලදී ජර්මනිය දැඩි ලෙස විවේචනය කරන්නෙකි. ඔහු සමඟ ජර්මන් ක්‍රීඩකයන් ඡායාරූපයකට පෙනී සිටිමින් හෙතෙම දේශපාලන වාසි අත්කර ගන්නා බවට ඇතැම් ජර්මානුවන් චෝදනා කළහ. තුර්කි මහා මැතිවරණය ජුනි මාසයේදී පැවැති අතර එය ඉර්ඩොගාන්ගේ පක්ෂය ජය ගත්තේය.

මෙවැනි ඡායාරූපකට තමන් පෙනී සිටිය හේතු ගැනත් ඕෂිල් පසුව පැහැදිලි කළේය. “මගේ පවුලේ අයගේ රටේ ඉහළතම කාර්යාලයට ගෞරව කිරීමක් තමයි කළේ. ඔහුත් (තුර්කි ජනපති) සමඟ පාපන්දු ගැනත් කථා කළා.” වත්මන් තුර්කි ජනපති කෙටි කාලයක් වෘත්තීයමව පාපන්දු ක්‍රීඩා කර ඇත.

“මට හදවත් දෙකක් තියෙනවා. එකක් ජර්මන්. එකක් තුර්කි.” ඕෂිල් පවසයි. මෙම ඡායාරූපයට ක්‍රීඩකයන් දෙදෙනෙක් පෙනී සිටියත් වැඩිම විවේචනයකට ලක් වූයේ ඕෂිල්ය. සමහර විට ඔහු වඩාත් ප්‍රචලිත වීම ඊට හේතුව වන්නට ඇත. මෙම ඡායාරූපයට අමතර ප්‍රසිද්ධියක් ලැබීමට තවත් හේතුවක් බලපෑවේය. එනම් අන්ත දක්ෂිනාංශික ජර්මානුවන් මෙය විවේචනය කරමින් ප්‍රචාරය කිරීමයි.

‍මේ අතර 1990 ලෝක ශූර ජර්මන් නායක ලෝතර් මතායස් සහ රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් පෙනී සිටිය ඡායාරූපයකුත් ප්‍රසිද්ධියට පත් වී තිබුණි. නමුත් ඒ පිළිබඳ වැඩි මාධ්‍ය උනන්දුවක් තිබුණේ නැති බවටත් ඕෂල් වැඩි දුරටත් පවසා සිටියේය. තමන්ගේ තුර්කි පසුබිම නිසා මෙසේ වෙනස්කම්වලට ලක්වීමට සිදු වූ බව ඕෂිල් තවදුරටත් අනාවරණය කළේය.

ඕෂිල් සහ ජර්මන් පාපන්දු බලධාරින් අතර ගැටළු ඇති වීමට ප්‍රධාන හේතුවක් තිබුණි. එනම් දැඩි ලෙස ජර්මන් ක්‍රීඩකයන් දෙදෙනා විවේචනයට ලක්වන විට ජර්මන් පාපන්දු සංගමය මුනිවත රැ‍කීමයි.

“මම මේ ඡායාරූපය ගැන ග්‍රයින්ඩෙල්ට කරුණු දැක්වීමට උත්සාහ කළා. නමුත් ඔහු මගේ මතය ගණන් ගත්තේ නැහැ. ඔහුගේ දේශපාලන අදහස් ගැන පමණයි උනන්දු වුයේ.” ඕ‍ෂිල් පැහැදිලි කළේය.

ඕෂිල්ට පිළිතුරු දීමට ග්‍රයින්ඩෙල් පසුව විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහි දී ඕෂිල්ගේ ඡායාරූපය ගැන නිශ්ශබ්දව සිටීමෙන් අතපසු වීමක් සිදු වූ බව ග්‍රයින්ඩෙල් පිළිගත්තේය. නමුත් ඕෂිල්ගේ වර්ගවාදී චෝදනා ප්‍රතික්ෂේප කළේය. මේ අතර ජර්මනියට පාපන්දු ක්‍රීඩාවෙන් තවත් සටනකට මුහුණ දීමට මේ වන විට සිදු වී තිබේ. ඒ 2024 යු‍රෝපීය පාපන්දු ශූරතාවලියේ සත්කාරකත්වය ලබා ගැනීමටයි. එයටත් තරගකරුවෙක් සිටියි. ඒ අන්කවරෙක් හෝ නොව තුර්කියමයි.

Comments