තිස්සපුර වොලිබෝල් ශූරියන්ට විකිණීමට ඇත්තේ හදවත පමණී | සිළුමිණ

තිස්සපුර වොලිබෝල් ශූරියන්ට විකිණීමට ඇත්තේ හදවත පමණී

ඒ මීට දශකයකට පමණ පෙරය. යුද්ධයේ මර බියට සැඟව දිවිය ගෙවූ ඔවුහු අද සිය දුවා දරුවන්ගේ ජයග්‍රහණ අභියස ‍ජය ඝෝෂා නඟන්නන් බවට පත්ව සිටිති. මේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන තිස්සපුර ජනතාවගේ දශකයක කාලයේ ජීවිතය වෙනස් වී ඇති ආකාරයයි. වපුරන වපුරන බීජවලින් සරු ඵල ලබා ගැනීමට නම් එකී බීජ ද වඩ වඩාත් සාරවත් විය යුතුය. නිමා වූ දහ අටවැනි ඩී.එස්.අයි. පාසල් වොලිබෝල් ශූරතාවලියේ වයස අවුරුදු 11,13,15, න් පහළ බාලිකා ශුරතා ත්‍රිත්වයම මෙවර හිමි කර ගැනීමට සමත් වූයේ අම්පාර උහන තිස්සපුර මහා විද්‍යාලයයි.

දුෂ්කරතාවේ කිරුළ

ලාංකේය පාසල් වොලිබෝල් පිටියේ ශූරතා තුනක හිමිකරුවන් වුවද, තරග නිම වී විවේකය ගෙන පසු දා සිය ගම්බිම් බලා යාමට තරම් ඒකී ඇති දරුවන්ට ආර්ථික වත්කමක් නොවීය. පසුගිය තෙවැනි දා උහන තිස්සපුර විදුහලට ස්වර්ණමය දිනයක් බව නොරහසකි. ඊට පසුගිය උදෑසන අට පමණ වන විට ඔවුහු අම්පාර නගරයට ලංවී සිටියහ. ඔවුන් එතැන් සිට තවත් කිලෝ මීටර් හතක් පමණ මඟ ගෙවා තිස්සපුරට ළඟ‍ා විය යුතුය.

අම්පාර දිස්ත්‍රික්කයේ අති දුෂ්කර පාසලක් වන උහන තිස්සපුර විද්‍යාලයට ම සිටින්නේ දුවා දරුවන් 263 කි. පළමු වසරේ සිට එකොලොස් වසර දක්වා පන්ති ක්‍රියාත්මක වන පාසලකි. එකී ගම් වැසියන් ද ආර්ථිකයේ පතුලටම වැටී ඇති පිරිසකි. වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපායවන විට කුලී වැඩ සහ ගල් කොරිවලින් ජීවිකාව සරිකර ගන්නා පිරිස්වලින් ද අඩුවක් නැත. මෙවැනි ජීව‍නෝපායකට හුරු වී සිටින නිසාම ඉගෙනුම පිළිබඳ අගයක් හෝ වටිනාකමක් ද ඔවුන්ට නැත. ඒ නිසාම ඉගැනුම් පරිසරයක්ද අවට නැත. අධ්‍යාපන සුදුසුකම් තුළින් රජයේ රැකි‍යාවක් කිරීමේ මානසිකත්වයක්, උනන්දුවක් හෝ උත්සාහයක් ද ඔවුනට ‍නොවීය. මේ නිසාම උහන තිස්සපුර නොයෙකුත් ගැටලු වලින් ගහන ප්‍රදේශයක් විය.

වෙනසක්

වත්මන් විදුහල්පති එම්.සී. උදය කුමාර තිස්සපුර විදුහලට පැමිණෙන විට අවට පැවැති පරිසරය එලෙස ගොඩනැඟී තිබුණි. 2014 දි මෙකී විදුහලේ වැඩ බාර ගන්නා උදය කුමාර එතැන් පටන් වසර එකහමාරක පමණ කාලයක් මෙකී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යම් තැනකට ගන්නට වෙර දැරුවද එය හිතන තරම් ලෙහෙසි පහසු කරුණක් නොවිය. නමුත් සිය උත්සාහය මොහොතකවත් අඩු නොකළ විදුහල්පතිවරයා සියලු පාරිසරික සාධකයන් ය‍ටතේ ගැටෙමින් පහල පන්තිවල දරුවන් අධ්‍යාපනය පැත්තට යොමු කරවා ගැනීමට ද සමත් වුවද, ඉහළ පන්තිවල දරුවන් එසේ එතැනට ගැනීම පහසු නොවීය.

වොලිබෝලයේ උපත

9,10,11 වසරවල ළමයින් නිකම්ම නිකන් පාසල් භූමියෙන් එළියට යනවිට එකී ගමනට ද මොන යම් හෝ වටිනාකමක් එක් කළ යුතු බව සිතු විදුහල්පතිවරයා පාසලේ කුණු මුල්ලට විසිකර දමූ නෙට් එක සහ හුළං ගිය බෝලය ගෙන වොලිබෝල් ක්‍රීඩාවට ඇවැසි පාරිසරික අඩිතාලම දැමීය.

එකී ගමන් මඟ 2014 ජුනි මාසයෙන් ආරම්භ වී ඇති අතර, 2015 සමස්ත ලංකා පාසල් හොඳම කණ්ඩායම් අට අතරට උහන තිස්සපුර විද්‍යාලය එක් කර ගැනීමට එකි උත්සාහයට හැකිවී තිබේ. 2016 සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරගාව‍ලියේ තෙවැනි ස්ථානයක් උහන තිස්සපුරට හිමි වන අතර හාපුරා කියා ශූරතාවක හිමිකරු වන්නේ 14 පහල බාලිකා ඩි.එස්.අයි. තරගාවලියේ ශූරතාව දිනා ගනිමිනි.

මේ ජයග්‍රහණයක් සමඟ මතුව එන සවිය 2017 වන විට වඩ වඩාත් ඉස්මතු විය. තිස්සපුර ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂ ලෙස ක්‍රීඩා කිරීමට මෙන්ම අරමුණක් ඇතුව ක්‍රීඩා කිරීමට යොමුවිය. තවත් ඉලක්ක කරා යාමට පහසුවක් බව ඒ වන විට බොහෝ දෙනකුට අවබෝධ වී තිබුණි.

යෝධ සෙවණැල්ල

2015 දී විදුහල්පතිවරයාගේ ආරාධනාවකට ඉන්දික පුෂ්පකුමාර තිස්සපුර වොලිබෝලය සුරතට ගත්තේ මේ දරුවන්ට සවියක් වන්නටය. සිවිල් ආරක්ෂක බලකායේ වොලිබෝල් පුහුණුකරුවා වන ඉන්දික සිය දැනුම මේ ක්‍රිඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් නිර්ලෝභිවම ලබාදීමට තිරණය කිරීම තිස්සපුර විදුහලේ වොලිබෝලය මේ තරම් දුර ගමනක් යාමට හේතුවේ යැයි ඔහුවත් නොසිතන්නට ඇත.

උහන කුමාරිගම විදුහලේ අධ්‍යාපනය හදාරා ඇති ඉන්දික දාහහතෙන් පහල වයස් කාණ්ඩයේ දි වොලිබෝල් ක්‍රීඩාවට පිවිස තිබේ. ඊ‍ට පෙර ඉන්දික කරාතේ සහ ජිම්නාස්ටික් ක්‍රීඩාවට ද යොමු වී තිබේ. ජාතික ක්‍රීඩා උළලේ නැගෙනහිර පලාත නියෝජනය කරමින් වසර දහයක කාලයක් නායකත්වය ද දරා තිබෙන ඉන්දිකගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ පුහුණුකරුවකු ලෙස ඉදිරියට පැමිණීමටය. මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතු වන්නේ සිවිල් ආරක්ෂක බලක‍ායේ අණ දෙන නිලධාරිවරයායි. විශේෂයෙන් ඉන්දිකගේ ‍පුහුණු කටයුතු වලට වඩාත් පහසුවක් වී තිබෙන්නේ මේ ලැබෙන සහයෝගයයි.

 

පුහුණුව පෙරට

ගෙවී ගිය වසරේ තිස්සපුර ක්‍රීඩක ක්‍රීඩිකාවන් යම් යම් ජයග්‍රහණ ලබා ගනිමින් ඉදිරියට එන විට ඔවුන් සිය හවස්වරුම නිරන්තරයෙන්ම පුහුණුවීම් වලට වෙන් කර තිබේ. එහි ඵල ඔවුන් නෙලා ගන්නේ ඩී.එස්. අයි. තරගාවලියේ 13- 15 න් පහල බාලිකා ශූරතා දෙකම තිස්සපුරට හිමිකර දෙමින්ය. ඒ අතර ම 16 න් පහල බාලිකා තෙවැනි ස්ථානය ද සමස්ත ලංකා තරගාවලියේදී දිනා ගැනීමට සමත් විය. මේ ජයග්‍රහණ සියල්ල තිස්සපුර දරුවන්ට යෝධ ජයග්‍රහණ විය.

දෙමාපියන්ගේ උනන්දුව

මේ වන විට‍ දෙමාපියන්ගේ උනන්දුව ද බෙහෙවින් ඉස්මතු වෙමින් පැවැති කාලයයි. ඔවුන් කොතරම් ආර්ථික අතින් පතුලේ ගිලෙමින් සිටියද සිය දරුවන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් සියලු දේ කැප කරන තැනට ම ඔවුන් පෙළ ගැසී සිටියහ.

මේ වසරේ සිට වයස අවුරුදු 11 න් පහල තරගාවලිය හඳුන්වා දීමත් සමඟ ඒ ගැන ද අවධානය යොමු කළ ඔවුන් බාලිකා කණ්ඩායමක් ඉදිරිපත් කරමින් පළමු තරගාවලිය ජය ගැනීමට ද සමත් විය. තිස්සපුර වොලිබෝල් ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ පුහුණුවේ විශේෂත්වයක් තිබේ. එනම් ‍මොවුන් පුහුණු වීම් කරන්නේ සම වයස ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ නොවීමයි. සිවිල් ආරක්ෂක සේවා කණ්ඩායම මොවුන් සමඟ පුහුණුවීම් වලට එකතු වීම මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතර වාසියක් ද ගෙන දී තිබේ. ඒ තරගයක දී හමුවන සිය ප්‍රතිවාදීන් පිළිබඳ බිය සම්පුර්ණයෙන් ම පහව යාමයි.

වයස අවුරුදු 11න් පහල බාලිකාවන්ට ද අනෙක් අයගේ ආභාසය බෙහෙවින් ම බලපා තිබේ. සිය අක්කලා - අයියලා ක්‍රීඩා කරන පුහුණු වීම් කරන අවස්ථාවල දී නිරන්තරයෙන් ම ඔවුන් සමඟ ගැටෙමින් පන්දු උඩ දමමින් සිටි කිහිප දෙනා අතරින් 5-6 දෙනකුට බෝලයට බය නැතිව පහර දෙන්නට මෙන්ම එයට හුරු වන්නට සමත්ව තිබේ. ඒ නිසා ම තිස්සපුර විද්‍යාලයට මෙවර හාපුරා කියා කණ්ඩායමක් ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබුණු අතර ඔවුන් එයින් විපුල ඵල නෙලා ගැනීමට ද සමත් වුහ.

ගෙයින් ගෙට

මොවුන්ගේ මේ ගමනට උදව් උපකාර කරන සුවිශේෂි පිරිසක් වන අතර තිස්සපුර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය ගමන මොන අඩු පාඩු අඟහිගකම් මැද වුවද පෙරට යන්නේ මේ පිරිස ශක්තියක් වන නිසාවෙනි. එමෙන්ම දෙමාපියන් ද ගෙයින් ගෙට යමින් මුදල් එකතු කර ගනිමින් අඩුපාඩු පිරිමසා ගෙන තිබේ. අවසන් තරග මහරගම සහ අර්ධ අවසන් පුර්ව සහ අවසන් පුර්ව තරග මාදම්පේ සේනානායක විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ පැවැති අතර එහි ගමන් වාර දෙකකට මාදම්පේ එන්නට සිදු වී තිබේ. බස් ගාස්තුව අවම රුපියල් 55,000 ක් පමණ එක් ගමන් දිනකට වැය කරන්නට සිදුව තිබේ. හිතවතුන් උදව් පදව් නිසා ම තිස්සපුර දරුවන්ට මේ තරගාවලියේ මෙතරම් දුර පැමිණිමට හැකි වූ අතර, එයට ශූරතා තුනක්, තෙවැනි ස්ථානයක් දිනා ගනිමින් සාධාරණයක් ඉෂ්ට කිරීමට ද හැකිවිය.

දිස්ත්‍රික් ශූරතා

මෙවර ඩී:එස්:අයි: වොලිබෝල් තරගාවලියේ දිස්ත්‍රික්ක ශූරතා හයක් දිනා ගැනීමට තිස්සපුර විද්‍යාලය සමත්ව තිබේ. මෙකී ශූරතා හයෙන් තුනකදීම සමස්ත ලංකා ශූරියන් වීමට ද ඔවුනට හැකිවිය. මේ අතර වයස අවුරුදු 17 න් පහල බාලිකා තෙවැනි ස්ථානයන්, ප්‍රථම වරට බාලක කණ්ඩායමක් වයස අවුරුදු 15 න් පහල සිවුවැනි ස්ථානය දිනා ගැනීමට ද සමත්විය.

සමස්ත ලංකා පාසල් වොලිබෝල් තරගාවලියේ නැගෙනහිර පලාතේ ශූරතා තුනක් ද දිනා ගෙන ඇති අතර, ලබන මාසයේ පැවැත්වෙන සමස්ත ලංකා පාසල් තරගාවලියේ ශූරතා කිහිපයක් ම දිනා ගැනීමට ද තිස්සපුර ක්‍රීඩිකාවන් බලාපොරොත්තු තබා ගෙන සිටිති. ජාතික සහ ක්‍රීඩා පාසල් බොහෝමයක් අතර කිසිම පහසුකමක් වරප්‍රසාදයක් නැතුව තිස්සපුර විද්‍යාලයේ ගමන ගැන ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. මේ පාසලේ ශක්තියෙන් සහ හිතවතුන්ගේ ශක්තියෙන් යන ගමනක් බව ද අමතක කළ යුතු නොවේ.

රංචුවට තිත

තිස්සපුර විද්‍යාලයේ වොලිබෝල් ක්‍රීඩාව ආරම්භ කිරීමේ මුලිකම අරමුණ වී ඇත්තේ හවස් යාමයේ රංචු ගැසි කටයුතු කරන ළමයින් ඉන් මුදවා ගෙන අර්ථවත් දෙයකට යොමු කිරීමටය. ඒ නිසා ම විදුහල්පතිවරයා හය වසරෙන් ඉහළ වොලිබෝල් ක්‍රීඩාව අනිවාර්යය කිරීමට කටයුතු කර තිබේ. එසේ පෙළ ගැස්සු ළමුන් අද රටක් කතා බහ කරන තැනකට ගෙන ඒමට විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට හැකිව තිබේ.

1956 ගල්ඔය ව්‍යාපාරය හරහා ඩී: එස්: සේනානායකයන් ජනපද ඇති කිරීමේදී අංක 21 ජනපදය ලෙස නම්කර ඇත්තේ අම්පාර උහන තිස්සපුරයි. රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් මෙහි පදිංචි කරුවන් වන අතර, ගල්ඔය වම්ඇළ පදනම් කරගෙන ඔවුහු ගොවිතැන් කටයුතු කරති.

මවක වූ ක්‍රීඩා ගුරුවරිය

විද්‍යාපීඨ ගුරුවරියකු වන වරුණි පාසලේ ක්‍රීඩාව භාරව කටයුතු කරන්නීය. මේ දරුවන් සමඟ ඉතා සමීපව කටයුතු කරන ක්‍රීඩා භාර ගුරුවරිය මවක මෙන් මොවුන්ගේ ඕනෑ එපාකම් සියල්ල සොයා බලමින් කටයුතු කිරීම ද මේ සියලු ජයග්‍රහණ වලට විශාල රුකුලක් වී තිබේ. මේ සියල්ල පිටුපස හිඳ කකුලෙන් අදින පිරිස් ද අඩු නැත. නමුත් ඒ සියලුම බාධක මැඩ ගෙන ඉදිරියට යන තිස්සපුර දරුවන්ට බලධාරින්ගේ, වගකිව යුත්තන්ගේ අවධානය නොඅඩුව හිමි විය යුතුය.

Comments