ගයාන්-අශාන්ට අභියෝගයක් නොවූ කමාන්ඩෝ චැලේන්ජ් | සිළුමිණ

ගයාන්-අශාන්ට අභියෝගයක් නොවූ කමාන්ඩෝ චැලේන්ජ්

ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) හා ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රිඩා සමාජය (AMRC) එක්ව හච් ටෙලිකොමිනිකේෂන් පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇතිව සංවිධානය කළ “හච් ශ්‍රී ලංකා සුපර්සීරීස්” මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ සිව්වන අදියර ලෙස සංවිධානය වූ ‘කමාන්ඩෝ  චැලෙන්ජ් සුපර්ක්‍රොස් 2018’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය පසුගියදා ඌව කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පාසලේදී  අවසන් විය. ශ්‍රී ලංකා යුදහමුදා කමාන්ඩෝ බලකායේ පූර්ණ දායක්වය ඇතිව සංවිධානය වු මෙම තරගාවලියට යතුරුපැදි තරග ඉසව් 12ක් හා මෝටර් රථ තරග ඉසව් 10ක් ඇතුලත් විය.

එහිදී ගයාන් සඳරුවන් දක්ෂතම ධාවකයා ලෙස 2018 වසරේ පළමු ජය වාර්තා කරමින් අභියෝගාත්ම කමාන්ඩෝ චැලේන්ජ් ධාවකයාට හිමි යතුරුපැදි කිරුළ තමන් සතු කරගත් අතර, අශාන් සිල්වා සුපුරුදු ලෙස කිසිඳු අභියෝගයකින් තොරව දක්ෂතම රියදුරාට හිමි මෝටර් රථ කමාන්ඩෝ චැලේන්ජ් කිරුළ දැරිමට සමත් වුහ.

කමාන්ඩෝ චැලේන්ජ් සුපර්ක්‍රොස් ධාවන පථය ජාත්‍යන්තර ප්‍රමිතිගත ධාවන පථයක් ලෙස නිර්මාණය කර ඇති අතර මෙරට ඇති වේගවත්ම ධාවන පථය ලෙසද නම් දරා ඇත. කිලෝ මිටර් 1.8 කින් සමන් විත දිර්ඝතම මෝටර් රථ ධාවන පථය වන අතර යතුරුපැදි ධාවන පථයද ඒ හා සමානම උද්වේගකර කිලෝ මීටර් 1.5කින් සමන්විත අභියෝගාත්මක ධාවන පථයක් වෙයි.

එම්.එස්.කාණ්ඩයේ 175 - 250සී.සී.(4ටී.)/100 – 125 සී.සී.(2ටී.) පළමු ශූරතා තරගයෙන් දෙවැන්නා වෙමින් එම ඉසව්වේම දෙවන තරගයෙන් ප්‍රථමයා වෙමින් දක්ෂයන් අතර තවමත් තමා දක්ෂයකු යැයි සනිටුහන් කළ ගයාන් ‍සඳරුවන් ක්‍රීඩා ලෝලීන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද කමාන්ඩෝ චැලේන්ජ් අභියෝගය ජයගත්තේය.

ගයාන් සමග සමීපතම තරගයක නියැ‍ලුණු ඉවෝන් බියාජී ගුරුසිංහ පළමු තරගයෙන් ප්‍රථමයා වෙමින් හා දෙවන තරගයෙන් දෙවැන්නා වෙමින් ගයාන් හා සම විය. නමුත් තරග නිති රීති ප්‍රකාරව දෙවන තරගයෙන් ජයග‍ත් ගයාන් දක්ෂතම යතුරුපැදි ධාවකයාට හිමි ශූරතා කුසලානය දිනා ගත් අතර ඉවෝන් දෙවන තරගයේදී හයවන වටයේදී ධාවන පතයේ සමබරතාවය ගිලිහි ගොස් නොවැටෙන්නට ගයාන්ට ජයග්‍රහණය අභියෝගයක්ම වනවාට කිසිඳු සැකයක් නැත. නමුත් දිනයේ වාසනා වන්තයා ලෙස ගයාන් තරගාවලිය ජයගත්තේය.

එම්.එස්.කාණ්ඩයේ 175 - 250සී.සී.(4ටී.)/100 – 125 සී.සී.(2ටී.) පළමු ශූරතා තරගයෙන් ඉවෝන් ජයගත් අතර ගයාන් දෙවැන්නා විය. විනුෂ්ක ද සිල්වා තුන්වැන්නා ලෙස තරගය නිමා කළ අතර රූමේෂ් බුල්ජන්ස් සිව්වැන්නා ලෙසද ස්ටෙෆාන් ප්‍රනාන්දු පස්වැන්නා ලෙසද තරගය නිමා ‍කළේය.

“හච් ශ්‍රී ලංකා සුපර්සීරීස්” තරග මාලාව නියෝජනය කරමින් එම්.එස්.කාණ්ඩයේ 175 - 250සී.සී.(4ටී.)/100 – 125 සී.සී.(2ටී.) ශූරතා තරග ඉසව්වෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වු බුද්ධික කසුන් සිල්වාගේ යතුරුපැදියේ කාර්මික දෝෂය බුද්ධිකව පලමු තරගයේ සිව්වන වටයේදී නවතා ලූ අතර සමිර‍ ප්‍රේමරත්න ද දෙවන වටයෙන් තරගයෙන් ඉවත් විය. එම ඉසව්වේ දෙව තරගය ආරම්භයට ධාවන පථයට පිවිසුනත් බුද්ධිකට තම යතුරුපැදිය නිසි ලෙස හසුරුවා ගැනීමට නොහැකි විය. ගයාන් ජයගත් දෙවන තරගයෙන් ඉවෝන් දෙවැන්නා වු අතර විනුෂ්ක ද සිල්වා තුන්වැන්නා ලෙස තරගය නිමා කළේය. බුද්ධිකට හිමි වුයේ සිව්වන ස්ථානයයි. රූමේෂ් බුල්ජන්ස් පස් වැන්නා ලෙස තරගය නිමා කළේය.

සුපර් මෝටාඩ් ඉසව්වෙන් “හච් ශ්‍රී ලංකා සුපර්සීරීස්”සමස්ත තරගමාලාව පුරාවටම ඉදිරියෙන් සිටින ඉමල් මංචනායක සුපුරුදු ලෙස එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් 250 – 750සී.සී.(4ටී.)/ 125 – 500 සී.සී.(2ටී) මෝනෝ සිලින්ඩර් දෙක පළමු තරගයෙන් ජයගත්තේය. දෙවන තරගයෙන් ජයහිමි වුයේ දේශාන් සොලංකීටයි. අවාසනාවන්ත ලෙස දෙවන තරගයේදී ධාවන පථයේදී සිදුවු අනතුර නිසා ධාවන පථයෙන් ඉවත් විමට ඉමල්ට සිදුවිය. ඔහුගේ පාදයකට සැලැකිය යුතු ආබාධයක් සිදුවු නිසා නැවත තරගයට ප්‍රවිශ්ට විමට බාධාවක් විය. ඉමල් ජයගත් පළමු තරගයෙන් දේශාන් දෙවැන්නා වු අතර දේශාන් ජයගත් දෙවන තරගයෙන් බුද්ධික දිනේෂ් දෙවැන්නා විය.

ඉවෝන් බියාජී ගුරුසිංහ එම්. කාණ්ඩයේ එස්.ටී.ඩී/එම්.ඕ.ඩී. 175 - 250සී.සී.(4ටී.)/ 100 – 125සී.සී.(2ටී.) තරග දෙකෙන්ම ජයගත් අතර සානුක ජයනා සඳරුවන් ඉසව් දෙකෙන්ම දෙවැන්නා විය. ලහිරු ජිවන්ත තරග දෙකෙන්ම තෙවැන්නා විය. ඉවෝන් තරග තුනකදී ප්‍රථමයා වෙමින් සමස්ත තරගාවලියේම වැඩිම කුසලාන ලාභියා විය.

ජයග්‍රණය හමුවේ හබායමින් වේගවත් ධාවන පථයක තරග වැදුනු මෝටර් රථ ධාවකයන්ට නම් කමාන්ඩෝ චැලේන්ජ් 2018 උණුසුම් තරගාවලියක් විය. දිනය ආරම්භයේදීම ආරම්භ වු එස්.එල්.ඊ. කාණ්ඩයේ 1000 සී.සී. නිසාන් මාච් තරග ඉසව්ව නිමා වුයේ දෙවින් සේරසිංහ‍ට ජය හිමිකර දෙමින්ය.

මෝටර් රථ අනතුරු සිදු වුවත් 2018 වසරේ හයවන ජයත් හිමිකරගනිමින් අශාන් සිල්වා එස්.එල්./ ජී.ටී. කාණ්ඩයේ 3500 සී.සී.මෝටර් රථ ශූරතා තරග ඉසව් දෙකෙන්ම කිසිඳු අභියෝගයකින් තොරව ජය වාර්තා කළේය. තරග ඉසව් දෙකෙන්ම කුෂාන් දෙවැන්නා වු අතර උෂාන් පෙරේරා තරග ඉසව් දෙකෙන්ම තෙවැන්නා විය. මෝටර් රථ තරග කාණ්ඩයේ කණ්ඩායම් ජය සියැට් කණ්ඩායම විසින් දිනා ගත් අතර යතුරුපැදි කාණ්ඩයේ කණ්ඩායම් ජය හිමි වුයේ හොන්ඩා කණ්ඩායමටයි.

“හච් ශ්‍රී ලංකා සුපර්සීරීස්” තරග මාලාවේ ග්‍රැවල් තරග කාණ්ඩයේ අවසන් තරගාවලිය ලෙස කමාන්ඩෝ චැලේන්ජ් සුපර්ක්‍රොස් අවසන් විය. කටුකුරුන්ද මාණ්ඩලික තරගාවලිය හා පන්නල රාත්‍රී තරගාවලිය ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

 

 

Comments