
ඉම්රාන් ප්‍රකාශ කොට ඇත්තේ තමන් ඉස්ලාමීය සුබසාධන රාජ්‍යයක් නිර්මාණය කරන බව ය. නමුත් එය කෙසේ සිදු කරන්නේද යන්න පැහැදිලි නැත. එක් පැහැදිලි කරුණක් වන්නේ පාකිස්තානයට මේ අවස්ථාවේ විදේශ ණය ආධාරයක අවශ්‍යතාව තදින් ම පවතින බව ය. මේ සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙහි සහය ඉල්ලා සිටියහොත් එහි ආර්ථික න්‍යායපත්‍රයන්ට අනුකූල වෙමින් සුබසාධන කටයුතු සීමා කිරීමට ඉම්රාන්ට සිදු වනු ඇත.
එක් අතකින් කඩා වැටුණ ආර්ථිකය අනෙක් අතින් අති විශාල තරුණ ජනගහනය ය. තවත් පසෙකින් ත්‍රස්තවාදී තර්ජන ය; ඒ අතර ම බහුතර බලයක් නොමැති පාර්ලිමේන්තුව ය. මැතිවරණය දූෂිත වූ බව විපක්ෂයෙන් කෙරෙන ප්‍රකාශයන් ය. මේ, පාකිස්තානයේ අගමැති ලෙස දිව්රුම් දීමට සැරසෙන ඉම්රාන් ඛාන්ගේ ප්‍රධාන අභියෝග ය.
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස විශාල කීර්තියක් දිනාගත් ඉම්රාන් ඛාන් ජාත්‍යන්තර තරග බිමට බට මුල් ම අවස්ථාවේ අසාර්ථක වූයේ ය. නමුත් පසු කලෙක ඔහු පන්දු යවන්නකු මෙන්ම යම් තරමකට පිතිකරුවකු ලෙසත්, නායකයකු ලෙසත් අත් කරගත් කීර්තිය හේතුවෙන්, පසු කාලීනව හැරී බලද්දී මුල් කාලීන අසාර්ථකත්වය එතරම් වැදගත් සේ නොපෙනේ.
දේශපාලනයේදී ද ඉම්රාන් මුල් කාලීනව සාර්ථක වූයේ නොවේ. ඔහු පාකිස්තාන් තහ්රීක්-ඉ-ඉන්සාෆ් ( PTI) පක්ෂය පිහිටුවා ගත්තේ රටේ දූෂිත දේශපාලන ක්‍රමය අභියෝගයට ලක් කිරීමට ය'. නමුත් සාම්ප්‍රදායික පක්ෂ සමඟ රැඳුණ ජනතාව ඔහුව දේශපාලන බිමට පිළිගත්තේ අන්ත පරාජයක් අත්කර දෙමිනි. ඔහුගේ පක්ෂය 1997 මහ මැතිවරණයේදී ආසන 9 කට තරග කොට ඒ සියල්ලෙන්ම පරාජය වූයේ ය.
සාමාන්‍යයෙන් සිදු වන පරිද්දෙන් ඉම්රාන් සටන අත හැරියේ නැත. තුන්වන බලවේගයක් ලෙස ඔහු දිගටම සටනෙහි රැඳී සිටියේ ය. ඔහු බලාපොරොත්තු තැබුවේ එතෙක් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පිළිබඳ බලාපොරොත්තු තබා තිබුණු පරම්පරාව කෙරෙහි නොව ඊළඟ පරපුර කෙරෙහි ය. එනම්, වෙනසක් අපේක්ෂා කරන තරුණයන් කෙරෙහි ය. වෙනත් තුන්වන බලවේගයක් කරන පරිද්දෙන් ඔහු සැමදා තුන්වෙනි බලවේගයක් ලෙස සිටීමට අදහස් නොකළේ ය. ඔහුගේ අභිප්‍රාය වූයේ පාකිස්තාන අගමැති ධුරයට පත් වීම යග නමුත් ඒ සඳහා ඔහු අනෙකුත් පක්ෂ සමඟ සන්ධානගත වීමට උත්සාහ නොකළේ ය. ඔහු සිය දූෂණ විරෝධී, ඇතැම් විට ජනප්‍රියවාදී සටන් පාඨ තේමාව කරගෙන සිය දේශපාලන ව්‍යාපාරය ගෙන ගියේ ය. 2002 දී ඔහු නැවතත් අසාර්ථක වූයේ ය. එවර ඔහුගේ පක්ෂයට ලැබුණේ එක් ආසනයක් පමණි. 2008 දී ඔහු මැතිවරණය වර්ජනය කළේ ය. 2013 දී ජයග්‍රහණය බලාපොරොත්තු වුව ද ඉම්රාන් එවර ද පරාජය විය. කෙසේ නමුත් එවර කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ බලය ඔහුගේ පක්ෂයට ලැබුණි.
එ් මහ මැතිවරණයෙන් පසු ඔහු කියා සිටියේ ජයග්‍රාහී පකිස්තාන මුස්ලිම් ලීගය - නවාස් පක්ෂය සංවිධානාත්මක මැතිවරණ අක්‍රමිකතාවන් හි ප්‍රතිඵලයක් ලෙස ජයග්‍රහණය කළ බව ය. ඒ පිළිබඳ අධිකරණය හමුවට යන බව සඳහන් කළ ඔහු එ් පියවර අසාර්ථක වීමෙන් පසුව 2014 අගෝස්තුවේදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළේ ය. මේ අර්බුදය විසඳුමක් නොමැති මතභේදයක් ලෙස දිගටම ඇදී ගියේ ය. එම වසරේ ම දෙසැම්බරයේදී පෙශාවර් හි යුද හමුදා පාසැලකට එල්ල වූ ප්‍රහාරයෙන් පසු මේ උද්ඝෝෂණ ව්‍යාපාරය අතැර දමන ලදී.
එයින් සිව් වසරකට පසු ඉම්රාන් බලයට පත් වන්නේ කලින් බලාපොරොත්තු නොවූ විශාල වෙනස්කම් සිදු වීමෙන් අනතුරුව ය. පැනමා පත්‍රිකා පිළිබඳ හෙළිදරව්වෙන් පසු අගමැති නවාස් ෂරීෆ් සම්බන්ධ මූල්‍ය වංචා පිළිබඳ කරුණු මතු වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු රජයේ තනතුරු දැරීමට නුසුදුසු අයකු සේ නම් කරන ලදී. මෑතකදී ඔහු සිරගත කරන ලද්දේ ද මූල්‍ය වංචා චෝදනා මත ය. මේ අතර තවත් දේශපාලකයන් පිරිසක් ද මෙසේ පොදු තනතුරු සඳහා නුසුදුසු බව ප්‍රකාශ කරන ලද අතර ඒ බොහෝ දෙනා ප්‍රධාන පක්ෂ දෙකෙහි සමාජිකයෝ වෙති
.නවාස් ෂරීෆ්ගේ පක්ෂය වන පාකිස්තාන මුස්ලිම් ලීගය - නවාස් (PML-N) පක්ෂය මේ වනවිට මෙහෙයවනු ලබන්නේ ඔහුගේ සහෝදර ශෙබාබ් ෂරීෆ් ය. එහි ප්‍රබල සාමාජිකයන් කිහිප දෙනකු ම පසුගිය සමයේදී පක්ෂය හැර දමා PTI සමග එක් විය. PML-N පක්ෂය සඳහන් කරන්නේ පාකිස්තාන යුද හමුදාව ඒ දේශපාලකයන් බියවද්දා ඉම්රාන් සමඟ එක්වීමට බල කරන ලද බව ය.
පොදුවේ ගත් කල, නවාස්ට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලද්දේ ද, ඒ පක්ෂ සාමාජිකයන් බිය වද්දන ලද්දේ ද හමුදාවේ අවශ්‍යතාව මත බවට චෝදනා මතු වේ. මැතිවරණ ව්‍යාපාරය නිදහස් සහ සාධාරණ නොවූ බව PML-N සහ බිලාවල් බූතෝ සර්දාරිගේ පාකිස්තාන මහජන පක්ෂය PPP පවසයි. එ් පක්ෂ දෙක ම අවධාරණය කරන්නේ මැතිවරණයට පෙර, එ් දිනය තුළ සහ ගණන් කිරීමේදී ද අක්‍රමිකතා සිදු වූ බව ය. විශේෂයෙන්ම මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම ප්‍රමාද වීමත් සමඟ මේ තත්ත්වය මතු විය.
මේ අනුව PML-N සහ PPP පක්ෂ මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළේ අවසන් ප්‍රතිඵලය නිකුත් වීමට ද පෙර ය. එමෙන්ම PML-N පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට ද සූදානම් විය. නමුත් ඉම්රාන් සිය ජයග්‍රහණය ප්‍රකාශ කිරීම සඳහා ජාතිය අමතා කළ කතාවෙන් පසු එ් පක්ෂය එකී අදහස ඉවත් කරගත්තේ ය.
මේ කතාවේදී ඉම්රාන් මැතිවරණ අක්‍රමිකතා පිළිබඳ සඳහන් කරමින්, එවැන්නක් සිදුවීද යන්න පරික්ෂා කිරීමට තමන් සූදානම් බවත් විපක්ෂයට ද ඒ සඳහා එක්වීමට හැකි බවත් කියා සිටියේ ය.
කෙසේ වෙතත් පාකිස්තාන දේශපාලනය තුළ එරට හමුදාව සතු බලය පිළිබඳ සැකයක් නොමැත. නිදහස් පාකිස්තානයේ වසර 71 ක ඉතිහාසයෙන් අඩක පමණ කාලයක් පාකිස්තානය පාලනය කළේ හමුදාව ය. එසේ පාලනය නොකරන කාලයෙදී පවා බොහෝ විට පවතින රජයයන්ට පිටිපසින් සිට කටයුතු පාලනය කරන්නේ හමුදාව බව චෝදනා පවතී. විශේෂයෙන් ම ඉන්දියාව සමඟ පවතින එදිරිවාදිකම හේතුවෙන් විශාල හමුදාවක් පවත්වා ගැනීමට පාකිස්තානයට සිදුව ඇති අතර එය රටේ ආර්ථිකයට ද විශාල බරකි.
ආර්ථිකය ඉම්රාන්ගේ මූලිකම අභියෝගය වේ. අධික ණය බර සහ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් පාකිස්තානයට විශාල ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුව තිබේ. මේ අතර රටේ අධ්‍යාපන, සෞඛ්‍යය ආදී ක්ෂේත්‍රයන් ඉතා දුර්වල අඩියක පවතී.
ඉම්රාන් ප්‍රකාශ කොට ඇත්තේ තමන් ඉස්ලාමීය සුබසාධන රාජ්‍යයක් නිර්මාණය කරන බව ය. නමුත් එය කෙසේ සිදු කරන්නේද යන්න පැහැදිලි නැත. එක් පැහැදිලි කරුණක් වන්නේ පාකිස්තානයට මේ අවස්ථාවේ විදේශ ණය ආධාරයක අවශ්‍යතාව තදින් ම පවතින බව ය. මේ සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙහි සහය ඉල්ලා සිටියහොත් එහි ආර්ථික න්‍යායපත්‍රයන්ට අනුකූල වෙමින් සුබසාධන කටයුතු සීමා කිරීමට ඉම්රාන්ට සිදු වනු ඇත.
ඊට විකල්ප වශයෙන් ඔහුට චීනය වෙත නැඹුරු විය හැකි නමුත් චීනය තවදුරටත් පාකිස්තානය තුළ පැළපදියම් වීම එහි ප්‍රතිඵලය වනු ඇත. චීනයේ තීරයක් සහ මාවතක් මූලාරම්භය Belt Road Initiative සඳහා පාකිස්තානය ඉතාම වැදගත් කේන්ද්‍රස්ථානයකි. එමෙන්ම පාකිස්තානය සහ චීනය අතර හමුදාමය අතින්ද සමීප සබඳතා පවතීග එහෙයින් චීනය තවදුරටත් පාකිස්තානය තුළ සිය බලය තහවුරු කරගැනීම පිළිබඳ විශේෂයෙන් ම ඉන්දියාව එතරම් ප්‍රසාදයට පත් නොවනු ඇත.
ඉම්රාන් ඛාන් සිය විජයග්‍රාහී කතාවේදී සඳහන් කළේ දරිද්‍රතාවය පිටුදැකීම පිළිබඳ චීනයෙන් බොහෝ දේ උගත හැකි බව ය. දිගු කලක් ඇමරිකානු විරෝධී නායකයකු ලෙස ප්‍රකට ව සිටි ඔහු සිය කතාවේදී ඇමරිකාව පිළිබඳ වැඩි යමක් සඳහන් නොකිරීම ද විශේෂත්වයකි.
මුල් කාලයේදී පාකිස්තානයේ දේවාපහාස නීතිය Blasphemy Laws වැනි ආගමික නීතීන්ට එරෙහිව හඬ නැඟූවකු ලෙස ප්‍රකට ව සිටි ඉම්රාන් මෑත වසර කිහිපයක් තුළ වඩා සාම්ප්‍රදායික කඳවුරට නැඹුරුවීමක් පෙන්නුම් කරයි. මෑත කාලීනව ඔහු දේවාපහාස නීති ආරක්ෂා කළ යුතු බවට අදහස් දැක්වීය. එමෙන්ම ඔහුගේ පක්ෂය සමග මෑතකදී එක්වූ ඇතැම් දේශපාලකයන් ද ආගමික නැඹුරුවකින් යුතු අය ය.
මේ අතර ඉම්රාන් ඛාන්ට පැහැදිලි ලෙස ම රජයක් පිහිටුවීමේ බහුතර බලය හිමිව නැති හෙයින් ඒ සඳහා වෙනත් කණ්ඩායම්වල සහය ලබාගත යුතු වේ. PML-N සහ PPP පක්ෂවලින් ඔහුට සහය බලාපොරොත්තු විය නොහැකි බැවින් වෙනත් කුඩා පක්ෂ සහ ස්වාධීන මන්ත්‍රීන් සමඟ සාකච්ඡා කිරීමට සිදුවනු ඇත. මේ අනුව ඉම්රාන් ඛාන් යටතේ බලාපොරොත්තු වූ ආකාරයේ ලිබරල්වාදී වෙනසක් පාකිස්තානය තුළ සිදු නොවනු ඇත.
කෙසේ නමුත් PTI පක්ෂයේ මැතිවරණ ප්‍රතිඵල අනුව එක් කරුණක් පැහැදිලි ය. රටේ ප්‍රධාන පක්ෂ අතුරින් සියලු ප්‍රදේශයන් හි කිසියම් හෝ ජන පදනමක් ගොඩ නඟා ගැනීමට සමත් ව ඇති එක ම පක්ෂය PTI පක්ෂය ය. PML-N පක්ෂය සිය පන්ජාබ බලකොටුව තුළ හොඳින් ප්‍රතිඵල පෙන්නුම් කළ ද අනෙකුත් ප්‍රදේශයන් හි අසාර්ථක ය. PPP පක්ෂය ද සාර්ථක වූයේ සින්ධ් ප්‍රදේශයේදී පමණි. PTI පක්ෂය එතරම්ම හොඳ ජන පදනමක් පෙන්නුම් නොකළේ බලොචිස්ථානයේදී පමණි. නමුත් සිය විජයග්‍රාහී කතාවේදී ඉම්රාන් බලොචිවරුන්ට විශේෂ ස්තුතියක් කළේ ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට ද මුහුණ දෙමින් ප්‍රජාතන්ත්‍රික මැතිවරණයට සහභාගී වීම පිළිබඳ ව ය. මෙය එ් ප්‍රදේශයේ ජනයාගේ සිත් දිනාගැනීමේ උත්සාහයක නව පිටුවක් වීමට ඉඩ තිබේ.
පාකිස්තානය වැනි රටක සියලු ජනතාවන් එක්සත් කරගනිමින් රජයක් ගෙන යාමට සුදුසු වන්නේ PTI වැනි පක්ෂයක් බව පැහැදිලි ය. නමුත් පරිපාලන පළපුරුද්දක් නොමැති ඉම්රාන්, අස්ථාවර දේශපාලන තත්ත්වයන් කෙසේ කළමණාකරණය කරනු ඇත්ද යන්න ගැටලුවකි.
චාමර සුමනපාල