මාලිංගට ගෞරවනීය සමුගැනීමක් දෙමු | Page 2 | සිළුමිණ

මාලිංගට ගෞරවනීය සමුගැනීමක් දෙමු

ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ලොකු රාමුවේ සිටින බව පවසන වැඩබලන පුහුණුකරු තිලාන් සමරවීර එකී ලොකු රාමුව මීළඟ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය බවද පවසයි.

තිලාන් සමරවීර මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පල්ලෙකැලේ පැවැති තෙවැනි එක්දින පරාජයෙන් පසුවය. එමෙන්ම දෙරට අතර පැවැත්වෙන විස්සයි 20 තරගයට මාලිංග ක්‍රීඩා කරන බවට ද එහිදී තිලාන් සමරවීර ඉඟි කළේය.

මේ අතර කියැවුණේ එකී තරගය බොහෝ විට මාලිංගගේ සමුගැනීමේ තරගය විය හැකි බවයි. කෙසේ වෙතත් ලසිත් මාලිංගට ගෞරවණීය සමුගැනීමට ඉඩකඩ සකසාදීමට ද බලධාරින් වගබලා ගත යුතුය.

මාලිංග අවසන්වරට එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ පසුගිය වසරේ ඉන්දියාවට එරෙහිව ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේදීය. එම තරගය ශ්‍රී ලංකාව කඩුලු හයකින් පරාජය වූ අතර, මාලිංගට එහිදී එක් කඩුල්ලක් හිමි විය. මාලිංග අවසන් වරට විස්සයි 20 තරගයකට ක්‍රීඩා කළේද ඉන්දියාවට එරෙහිව පසුගිය වසරේ සැප්තැම්බර් 06 දායි. එම තරගයෙන්ද ඉන්දියාව කඩුලු හයකින් ජය හිමිකර ගැනීමට සමත් විය. එහිදී ද මාලිංගට හිමි වූයේ එක් කඩුල්ලකි.

මාලිංගට වැරදුණේ කොතැනද?

අපට පුහුණුකරුවන් කියලා ගොඩ දෙනෙක් ඉන්නවා. ඒත් ඉතින් අහන්න තියෙන්නේ ඒ අයට හරි සුදුසුකම් තියෙන පුහුණුකරුවන්ද කියලා තමයි. තරුණ ක්‍රීඩකයන්ව ඉදිරියට හැඩ ගස්වන්න ඇත්තටම ඔවුන්ට තිබෙන සුදුසුකම් මොනවාද?

ලසිත් මාලිංග මේ අදහස් පළ කළේ ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම නවතා ගැනීමට හා ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කිරීමේ අටියෙන් දයාසිරි ජයසේකර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටුවක් හමුවේ අදහස් දක්වමින්ය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ මාලිංග, “ක්‍රීඩකයකු අසාර්ථකවන කාල සමයක පුහුණුකරුවකුට හැකියාව තියෙන්න ඕනා, ඔහුගේ මානසිකත්වය වර්ධනය කරන ගමන්ම නැවතත් දස්කම් අතරට ගෙන ඒමේ හැකියාවක්. පළමුපෙළ තරග 16 ක් ක්‍රීඩා කර ඇති සයිමන් විල්ස් උසස් දස්කම් කළමනාකරු වශයෙන් පත්කර තිබෙනවා. අපි අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය බාරදී තියෙන්නේ හරි හමන් පළමු පෙළ තරග අත්දැකීමක්වත් නැති කෙනෙකුටයි.

ඒ වගේ තනතුරකට අපි කෙනෙක්ව තෝර ගන්නකොට අඩුම තරමේ ක්‍රිකට් ක්‍රීඩාවේ අත්දැකීම් තියෙන කෙනෙක්වත් තෝරා ගන්න බැරි තැනකට වැටිලා තියෙනවා. තමන්ගේ තරග ජීවිතයේ ලකුණු 100 ක්වත් නොගහපු කෙනෙක් රටක ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගන්නේ කොහොමද? මේක බරපතල කාරණාවක්.

ගෙවීගියාවූ දශක පමණ කාලය තුළ තේරීම්කමිටු නිලධාරින්ගේ හිතුවක්කාරි තීන්දු තීරණ නිසා ක්‍රීඩකයන් ගණනාවක්ම අපට අහිමි වූ බවත්, ඉදිරියේදී මෙවැනි වැරැදි යළි ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවද මාලිංග එහිදී පැවසීය.

සියලු දෙනා අහිමි වෙලා

මීට කාලයකට ඉස්සර වෙලා සමහර තේරීම් කමිටු නිලධාරින්ගේ මතයක් තිබුණා පාසල් ක්‍රීඩා පිටියෙන් කෙළින්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් ගන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම කරන්න බෑ. එහෙම කරන්න ගිහින් අසාධාරණයට ලක්වූ පළමු පෙළ ක්‍රීඩකයන් ඕනා තරම් ඉන්නවා. අද ඒ සියලුම දෙනා අපට අහිමි වෙලා තියෙනවා.

මේ වගේ වැරැදි වෙන්න දෙන්න හොඳ නෑ. එහෙම වුණොත් අපි අද ඉන්න තත්ත්වයෙනුත් තව අවුරුදු ගණනාවක් පස්සට යනවා.

ලාංකේය පළමු පෙළ තරග පිළිබඳ මීට වඩා අවධානයක්ද යොමු කළ යුතු බවද මාලිංග පවසයි.

විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් සොයා ගැනීමට නම් අපේ පළමු පෙළ තරගාවලිය සම්පූර්ණයෙන්ම ටෙස්ට් ක්‍රීඩාංගණවල, ඒ තණතීරුවලම පවත්වන්න වෙනවා.

ඉන්දු - ලංකා ක්‍රිකට් තරගාවලියේදී තණ තීරු සැකසිමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණුවලට පටහැනිව තණතීරු සැකසූ බවද මාලිංග චෝදනා කරයි.

අපි තණකොළ තියෙන තණතීරුවක් ඉල්ලනකොට ඔවුන් අපට දුන්නේ තට්ටයක් වගේ ගාපු තණතීරු. ඇයි එහෙම කළේ අහනකොට ඒක මැෂිමේ වැරැද්දක් කියලා මඟහැරියා. මේ දේ වුණේ එක පාරක් නෙවෙයි. මේවා බලධාරින්ට කියන කොට ගණන් ගන්නේ නෑ. අපි පැරදුණේ මේ නිසාම කියනවා නෙවෙයි. මෙහෙම දේවල් වෙනකොට අපි මානසිකව වැටෙනවා කියන එක මේ අයට තේරෙන්නේ නැති එක තමයි පුදුමේ කියන්නේ.

තරග 21ක් ක්‍රීඩකයෝ 34ක්

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම 2017 වසර ආරම්භ කළේ දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියෙන්ය. අවසන් වූයේ ඉන්දීය එක්දින තරගාවලියෙන්ය. එහිදී ශ්‍රී ලංකාව එක්දින තරග 21 කට එක්වී 4 ක් ජයගත් අතර පරාජය වූ තරග සංඛ්‍යාව 16 කි. විසඳුමක් රහිත තරගයකි. මේ තරග 21 දී ක්‍රීඩකයන් 34 දෙනෙකු ක්‍රීඩා කර තිබේ.

මෙහි ප්‍රතිවාදීන් ශතක 15 ක් රැස්කර ඇති අතර ශ්‍රී ලංකා පිතිකරුවන් රැස්කර ඇත්තේ ශතක හයක් සහ අර්ධ ශතක 28 කි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් එහිදී කඩුලු 107 ක් බිඳ දමා ඇති අතර ප්‍රතිවාදින් එහිදී ලකුණු 5211 ක් රැස්කර තිබේ. කඩුල්ලක සාමාන්‍යය 48.70 කි.

සුප් එකට කුක්ලා වැඩියි

වැටී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උත්සාහය නැගිටීම නම්, ඇත්තටම එවැන්නක් තිබේ නම් සෑම දෙනාගේම ඇඟිලි ගැසීම්වලින් එය අවුල් වී යන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු නික් පෝතාස් ප්‍රකාශ කළේ 2017 දඹුල්ලේ පැවැති ඉන්දු - ලංකා පළමු එක්දින තරගයෙන් නින්දාසහගත පරාජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට උරුම වූ පසුවය.

වෙලාවකට තරහත් යනවා, පෝතාස් වැඩිදුරටත් කියන්නේ මේ සුප් එකට සූපවේදියෝ වැඩියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් තම රාජකාරිය හරි හැටි කිරීමට ඉඩ නොදී නොයෙක් ආකාරයෙන් ඇඟිලි ගසන බව පැවැසූ පෝතාස් ග්‍රැහැම් පෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරන විට පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ අතර පෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායම හැරයාමෙන් පසු ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, තේරුම් කමිටු සභාපති සහ ක්‍රිකට් කළමනාකරු ගැන කිසිදු සඳහනක් නොකළ පෝතාස් ක්‍රීඩකයන් මහන්සි විය යුතු තරම් මහන්සි වෙනවා. ඔවුන් සුපිරියි. කාර්ය මණ්ඩලයත් අති දක්ෂ යැයි පවසන පොතාස් ක්‍රිකට් පරිපාලකයන් ගැන අදහස් පළ කිරීමෙන් වැළැකී සිටියේය.

පසුගිය දකුණු අප්‍රිකානු තරගාවලියේ පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් දිගින් දිගටම පරාජය වූවා මිසක් එහෙන් මෙහෙන් ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට සමත් විය. ජුනි මස ප්‍රධාන පුහුණුකාර තනතුර බාර ගත් පෝතාස්.

මට වැඩක් පැවැරුණා. එහි පාලනය මා යටතේ තිබුණා. අපට සාර්ථකත්වය ගැන දින වකවානු කීමේ හැකියාව තිබුණා. නමුත් පෝතාස් පවා යම් දෙයක් ගිලගන්නා තැනක් තිබෙන බව පැහැදැලි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් නිතරම ප්‍රකාශ කරන්නේ ද අප නැඟිටින තැනක සිටින බවය. මේ නැඟිටීම ද සීමාවක් - කාලයක් තිබිය යුතුය. එසේ නොවුණහොත් මෙය නිම නොවන එකක් විය හැකිය. පරාජයන් වැලක මුල විය හැකිය.

Comments